IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මාලන්ගේ නටු කවිකමට තටු

පුස්තක මස්තක

මාලන් බණ්ඩාර කවියා ගේ "නටු" නමැති සංක්ෂිප්ත කාව්‍යාවලිය කියැවීමෙන් අනතුරු ව ඉතා ලුහුඬින් අදහස් ස්වල්පයක් ලියා දැක්වීම සඳහා නිසග පෙලැඹුමක් ඇති විය.ඒ වූකලි මාලන් සිය නිමැවුම් සඳහා අනුප්‍රාණය ලබා ඇත්තේ හයිකු කාව්‍යයෙන් වීම හේතු කොටගෙන ය. හයිකු සම්ප්‍රදායයෙන් අනුභාවයක් ලබා තිබීම යමකු හට මුළු මහත් කාව්‍යයට ම අදාළ විය හැකි කෞශල්‍යයක් සඳහා හේතුකාරක වන බව ගැරී ස්නයිඩර් නම් ඇමරිකා කවියා පවසා ඇත.හයිකු අවබෝධය සහිත කවියාට, තමා හාත්පස සුලබ සංසිද්ධීන් කෙරෙන්  හා,ඒක්ෂණ දර්ශන මාත්‍රයන් ගෙන් පවා අභිනව පහළ කිරීමක් සිදු කළ හැකි ය; සුලබ දෑ ඇසුරෙහි ම, මෙතෙක් අනාවරණය නො වූ අභිනව යමක් පාදාගත හැකි ය.

ආර්. එච්.බ්ලයිත් පැවැසූයේ, මේ ඉර යට අලුත් යමක් ස්පර්ශ කරන්නට නැතැ යි කියා සිතීමේ උගුලට යම් කවියකු නොහසු විය යුතු බව යි.ප්‍රපඤ්ච ලෝකයෙන් ම නව යමක් හසු කරගත හැකි ය.එහෙත් එමඟින් යම් ආභ්‍යන්තරික ප්‍රතිවේදයක් ගම්‍ය විය යුතු ය.

             " පෙති හැළුණ 
             මල් නටුව අහන්නෙ
             දැන් මං කවුද කියල ද"

මාලන් ගේ මේ කුදු කව අති සරල පැවැසුමකි.එහෙත් එහි යම් දාර්ශනික ආලේපයක් ද නැතුවා නො වේ.මලක් ලෙස මෙතෙක් පැවැති ස්වභාවය,පෙති හැලී යෑමෙන් වෙනස් ආකාරයක් ගනියි.නටුව යනු මලට ම අයත් අංගයකි.එහෙයින් පෙතිවලින් තොර ව ඊට ඓන්ද්‍රීය පැවැත්මක් නැත.අන්‍යෝන්‍ය සහසම්බන්ධයෙන් තොර වූ විට නටුවට ඒකීය අනන්‍යතාවක් නැත.එහෙයිනි "දැන් මං කවුද " යන පැනය නැඟෙනුයේ. බ්ලයිත් කී ලෙස,මේ ඉර යට නව යමක් ස්පර්ශ කිරීමට දැරූ තැතකි.

            " හැලෙන පත් සමඟ ම
             අතුරුදන් වන
             රෙඩ්ගම් තුරේ
             සෙවණැල්ල "

විපරිවර්තනය පිළිබඳ ව දනවනු සඳහා,ඈත පෙරදිග කවීන් ගේ මඟ අනුයෑමක් මේ නිමැවුමින් ප්‍රකට වෙයි.සෙවණැල්ලට හේතු වූයේ පත් රැසයි.ඒවා පතිත වීමෙනි සෙවණැල්ල අතුරුදහන් වනුයේ.පැවැතුම් යනු යම් තනි, ඒකීය තත්ත්වයක් නො ව,සහසම්බන්ධයක ඵලයකි.එහෙයින් ම පැවැතුම් සියල්ල අල්පකාලික ද වෙයි.සෞන්දර්යය යනු ද එය ය.ප්‍රපඤ්ච ලෝකයට සැලැකිය යුතු බුද්ධියක් ලබා දෙන හයිකු කවියෙන්, මාලන් යම් ජීවනයක් ලබා ඇති බව දනවන තවත් මෙබඳු නිමැවුම් රැසක් ම නටු කෘතියේ වෙයි.හයිකු පිළිබඳ අද්විතීය විචාරකයන් පවසන්නේ,ඒවා තාවකාලික ඥානාලෝකයේ ප්‍රකාශන බව යි.

         "රොබරෝසියා මලින්
         වැහි පිහිලි උතුරා යන
         වනගත පන්සලේ
         ගීතය   "
         
         ( The song of the 
           forest temple ,
           overflowing rain gutters
           with Robarosia flowers )

            
වනගත බවට නතු වූ පන්සලෙහි පවත්නා ධර්මය,සොබාදහම සමඟ වූවකි.ලබ්ධිගත ආගමික කෙළි කවට සන්දර්ශන කෙරෙන් බැහැර වූ මෙහි ඇත්තේ,රොබරෝසියා මල් පිරී යෑමෙන් උතුරා යන වැහි පිහිලි නඟන ප්‍රකෘතියේ ගී නාදයකි.ජීවන සන්තුෂ්ටියට හේතු වන  ආගමික ස්ථානය කවරක් ද යන්න ගැන වන සියුමු ඉඟියක් ද මෙහි වෙයි.වදනින් අරුත් කිය නොහෙන,එනම් යම් අවාච්‍ය සෞන්දර්යයක් ද මේ කවෙහි වෙයි.හයිකු විද්වතුන් පවසන ලෙස සවිඤ්ඤාණකත්වයේ මොහොත ( a movement of awareness ) මේ කවෙහි  දැක්ක හැකි යැ යි සිතමි.

              "පැළ ගොයමේ
              අම්මා සමඟ
              වල් උදුරන
              හේමලයා"

අම්මා තනියට තනියේ ගතකරන දිවිය ගැන අන් ලෙසකින් දැනැවීමට කවියා යත්න දැරූ සැටි එ සේ ය.අම්මා ගේ තනි දිවිය ගැන පුතකු තුළ ඇති හැඟීම්බර ස්වභාවය මැඬලමින් ( void sentimentality ) කැරෙන අන්‍යාලාපයක් මෙහි වෙයි. 

මාලන් හයිකු කවියෙන් එළියක් ලබන නමුදු,එහි අනුකාරකයකු නො වේ.හයිකු කවියේ මූල ලක්ෂණයක් වන සිද්ධි වාචකය මේ මොහොතට අයත් වීම (haiku takes place in the present ) මාලන් කවියා ද වෙසෙසින් අනුගමනය කරයි!

    "වතළ සඳරැස් මැදින්
     අඳුරට පියාඹා යන
     වවුල් කැල"

කවියා තත් මොහොතෙහි සඳරැසින් යුත් රැයෙහි අඳුරු ඉම් වෙත යන වවුල් කැල දකින ලෙසින් කව පබඳියි.අතීතයට නොයෑම හා අනාගතය ගැන සාවධාන නො වීම සෙන් චින්තනයේ ස්වභාවය යි.එහි හදවතින් පහළ වූ හයිකු ද දැන් මේ මොහොත,තත්ක්ෂණය කෙරෙහි ඒකාග්‍ර වෙයි.මාලන් ද ඉන් පල ලබයි.සඳරැස් මැදින්,අඳුරට පියාඹා යන,වවුල් කැල යන මේ චිත්ත රූප එක්තැන් කිරීමෙන් හෙතෙම වවුලන් අඳුරට රිසි බව කියනු පමණක් නො ව,ඉන් මිනිසත් බවට හිමි ගුණයක් ද .

කවියා පෙනී නොසිටින කවි රැසක් මෙහි වෙයි.තමා මූලික වෙමින් "මම" යන සර්වනාමය භාවිත කිරීමක් හයිකු කවියෙහි නැත.(therefor try not overuse the pronoun I) නිමැවුම් කිහිපයක දී හැරෙන්නට කවියා 'මම'යන්න තම කවියට නො ගෙනෙයි.එමඟින් බැහැරි ලොව හා වන නිරීක්ෂණයට වැඩි අවකාශයක් ලැබෙයි.

"දැමුව ද කටකලියාව

ඇතුළතින් ඇසෙයි

බලුරාල ගේ උඩුබිරුම"

දුර්ලභ නිරීක්ෂණයකි.කිසිදු බන්ධනයකින් කිසිවකු ගේ  ආභ්‍යන්තරික නාදය අවුරනු නොහැකි ය.එහෙයින් සියලු කටකලියාවන් අවසන නිෂ්ඵල වෙයි.

   "වන ගැඹරේ
    රැය බිඳිමින්
    ලෙන් බිතෙන් වැගිරෙන
    දියබිඳු නද"

රැයෙහි මහා නිශ්ශබ්දතාව මැද ඇසෙන,වැගිරෙන දියබිඳු නද වෙත යොමු වූ මේ කව,යම් නිශ්චිත අර්ථයක් නො දනවයි.ජපන් "යූගෙන්" සංකල්පය සිහිපත් කරවන  නිමැවුමකි.යූගෙන් යනු වටහාගැනීමට දුෂ්කර ,බුද්ධි විෂයක ගණනයන්ට ඔබ්බෙහි වූ තත්වයකි.සම්භාව්‍ය හයිකු කවි රැසෙක මේ ගුණය හඳුනාගත හැකි ය.එබඳු කවිවලින් කියැවෙන දෙය,සපුරා වටහාගත නොහැකි වේ.නිදසුනක් ලෙස මේ සම්භාව්‍ය හයිකු කව ගතහැකි ය.

    " ගන මීදුමෙහි
      ඔරුව හා කන්ද අතර
      කිම ඒ කෑගැසුම "

   මෙය නිශ්චිත අර්ථකථනයකට හසු කරගත නොහැකි ය.එ සේ ම අවිඥේය ( unknowability) වූවකි.මාලන් ද මෙබඳු කවියක් කෙරෙහි යුහුසුලු වූ බවට ඉඟි මේ කෘතියෙහි සොයනු හැකි වෙයි.

    " රඟහලේ
      පා ගිගිරි අතරින්
      මතු වන
      නිහඬ හඬ"

   නිශ්චිත අර්ථයක් නො දනවයි.මෙය ව්‍යංග්‍යය ද නො වේ.යූගෙන් යනු ව්‍යංග්‍යය ඉක්මවා සිටින තත්වයකි.ආචාර්ය  ඩී.ටී.සුසුzකි මේ යූගෙන් යන්න පහදනුයේ cloudy impenetrability ලෙසිනි.ගැඹුර නොදැක්ක හැකි සේ වැසීගිය යනුවෙන් අපට එය වටහාගත හැකි ය.මේ අනුව,මාලන් ගේ කෘතියෙහි එන නිමැවුම් රැසක් ම අප සිත් තුළ රැලිති නංවයි.සංඝටන නොහොත් associations උපදවයි.

මුඛරි වදන් ස්වල්පයක් කෙටි කවිය ලෙස හඳුනාගත් සමයෙක,චිත්ත රූප භාවිතය කෙරෙහි සාවධාන ව,හාත්පස ප්‍රාතිහාර්යයන් හසු කරගැනීමටත්,එමඟින් අභිනව ප්‍රාදුර්භාවයන් රසික මනැසෙහි ප්‍රක්ෂේපණය කරවන ක්ෂුද්‍ර නිර්මාණාවලියක් ගෙන ඒමටත් දක්වා ඇති කෞශල්‍යය අගය කළ යුතු ය.

  නන්දන වීරසිංහ



අදහස් (0)

මාලන්ගේ නටු කවිකමට තටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site