IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


පොහොට්ටුව ඇමැතිකම් ගැන කතා නවත්වයි

රනිල් නැතිව සාගල බරට වැඩ 

සාගල සෙනසුරාදා ගියේ ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට එක්වීමටය. එහිදී කථිකා කරගත් වැඩකටයුතු ගැන සාකච්ඡාව පැවතුණේ සඳුදාය. මෙරට සුන්දරත්වය වෙනුවෙන් හා ස්වාභාවික පරිසර පද්ධතිය ආරක්ෂාව වෙනුවෙන් පවතින මුහුදු වෙරළ හා ගංගා ඇතුළු ජලාශ මෙන්ම වන සම්පත විනාශවීම ගැන ද එහිදී කතා බහ කෙරිණ. කැළි කසළ ගැටලුව ගැනද මෙහිදී අදහස් හුවමාරු විය.


පරිසර කමිටුවක් සකස් කරමින් මහා වනාන්තර විනාශ කිරීම හා අනවසර වැලි කැපීම් වළක්වා ගැනීමට ද තීන්දු කළේ එම හමුවේදීය. ඉරිදා සවස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මීතොටමුල්ල ක්ෂේත්‍රාරාම විහාරස්ථානය වෙත ගියේ එහි අභිනවයෙන් ඉදිකළ චෛත්‍යය විවෘත කිරීමටය.


පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක ද එම අවස්ථාවට එක්ව සිටියේය. එහිදී චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමට ආරාධනා ලැබුවේ සාගලය. සාගල පාඨලීට ආරාධනා කළේ කොත නිරාවරණය කිරීමටය. ඒ අනුව දෙදෙනාම එක්වී කොත නිරාවරණය කළහ. ආගිය දේශපාලන තොරතුරු සේම වර්තමාන දේශපාලනය ගැන ද ඔවුන් විසින් කතා බහ කරනු ලැබීය.


සාගල බ්‍රහස්පතින්දා පෙරවරුවේ මහරගමට ගියේ පිළිකා රෝහලේ දරුවන් වෙනුවෙන් ඉදිකෙරෙන නව ගොඩනැගිල්ලට මුල්ගල තැබීමටය. කතරගම දේවාලයේ මූල්‍ය දායකත්වයෙන් හා ගුවන් හමුදා නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකෙරෙන්නේ සාගල රත්නායකගේ මැදිහත්වීමෙනි.
රුපියල් මිලියන 150 ක වියදමෙන් මෙය වසරක් තුළ ඉදිකිරීමට ඇස්තමේන්තු ගත වුවද ගුවන් හමුදා ශ්‍රම දායකත්වය ලැබීම නිසා එය මාස 6 කින් ඉදිවන අතර අමතර තට්ටුවක් ද මේ නිසා ගොඩනැගිල්ලට එකතුවන්නේය.

සමාජ මාධ්‍ය කෙටුම්පතට පාඨලීගේ විරෝධය

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති සමාජ මාධ්‍ය පිළිබඳ කෙටුම්පත සම්බන්ධයෙන් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පසුගියදා අදහස් දැක්වීය. මේ කෙටුම්පත් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ පාඨලී මෙසේ කිව්වේය. 


“සමාජ මාධ්‍ය හා පොදුවේ අන්තර්ජාලය භාවිතා කොට සිදුකරගෙන යන සමාජයීය ප්‍රචාරණ නියාමනය කිරීමේ මුවාවෙන් නව පනත් කෙටුම්පතක් ගැසට් කරලා තියෙනවා. මෙහි මුඛ්‍ය අභිමතාර්ථය හැටියට පෙන්නලා දීලා තියෙන්නේ රට තුළ වැරදි තොරතුරු ජනගත කිරීම වැළැක්වීම. ඒ වගේම වැරදි තොරතුරු මත පදනම් වෙලා රට තුළ යම් යම් කලකෝලාහල ඇතිවීම වැළැක්වීම. ඒ වගේම සම්පූර්ණ අසත්‍ය තොරතුරු, එහෙම නැත්නම් තොරතුරක් විකෘති කොට පළකිරීම මගින් සිදුකරන අයුක්තිසහගතව යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට, රටකට, රාජ්‍ය යාන්ත්‍රයට සිද්ධවෙන දෑ වැළැක්වීම වැනි අදහස් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ.”
“නමුත් මේ සඳහා පත්කරන කොමිෂන් සභාව, ජනාධිපතිවරයා පත්කරන සම්පූර්ණ දේශපාලන කොමිෂන් සභාවක්. එතකොට එම දේශපාලන කොමිෂන් සභාවේ පූර්ව විනිශ්චයට මේ සියලු‍ දෑ ලක්වෙනවා. අපිත් පිළිගන්න දන්නවා අසත්‍ය දෑ, මඩ ප්‍රචාර, ඒ වගේම ජනවාර්ගික සමාජ කලකෝලාහල ඇතිවීමට තුඩු දෙන ආකාරයේ සමාජ මාධ්‍ය ප්‍රචාරණ සිද්ධ වෙනවා.  මේ රට තුළ සිදුවෙන දෑ විතරයි මේකෙන් නියාමනය හෝ මර්දනය කරන්න පුළුවන් වෙන්නේ. විදේශ රටවල ඉඳන් කරන ලාංකිකයන්ගේ දෑ මර්දනය කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නෑ.”


මේ මාර්ගගත, එහෙම නැත්නම් අන්තර්ජාලය පදනම් කරගෙන යන සියලු‍ම දෑ ලංකාව තුළ ලියාපදිංචි වීමක් ඉල්ලා තිබෙනවා. මේකට  අන්තර්ජාතික ආයතන කොහොම ප්‍රතිචාර දක්වයිද කියන්න බෑ.”


“දත්ත සේවා එහෙම නැත්නම් ඩිජිටල් සර්විසස් සඳහා බදු අය කිරීමක් කෙරෙන්නේ නැහැ. ලෝකයේ එවැනි බදු අය කිරීමක් නොකරන රටවල් හයෙන් එකක් ලංකාව. අනෙක් සෑම රටක්ම මේ සඳහා බදු අය කරනවා. මම හිතනවා මේ රටේ සාමාන්‍ය ජනයා වැඩ කරන ජනයාගේ ඊ.පී.එෆ්.එක., ඊ.ටී.එෆ්. එකට ගහන්න හදන ආණ්ඩුව. මේ රටේ වෘත්තීයමය පඩි පතට ගහලා ඒ වෘත්තීයවේදීන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් රටෙන් පන්නා දමන ආණ්ඩුව. මේ මහා සමාගම්වලින් බදු අය නොකර ඉන්නේ ඇයි කියන එක අපිට ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේක පාර්ලිමේන්තුවේත් පැන නගලා, අපි මේ ගැන නිර්දේශත් කරලා තියෙනවා. හැබැයි ආණ්ඩුව තාම ගොළුවත රකිනවා. ඒ නිසා මහා භාණ්ඩාගාරය හා විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවට වගකීමක් තියෙනවා මේ පිළිබඳ ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මේ ඩිජිටල් සර්විසස්වලින් මේ රටට ලැබිය යුතු බද්ද, මේක ඉන්දියාව කරනවා නම්, ඇයි අපි කරන්නෙ නැත්තේ? අපට ලැබිය යුතුයි. ඒවා සඳහා ක්‍රියාත්මක වෙන්නේ නැතුව මේ සමාජ ජාලා ක්‍රියාකාරිකයන් හා සමාජ ජාලා මර්දනය කිරීමට තැත් කිරීම අපි තරයේම හෙළා දකිනවා.”‍

බැසිල් රනිල් හමුවී  කළ ඉල්ලීම් තුන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා ඉකුත්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ බවට පසුගිය දිනවල මාධ්‍ය මගින් ප්‍රචාරය විය. නෙළුම් මාවත පොහොට්ටු කාර්යාලයේ ගිය සතියේ පැවති සාකච්ඡාවක දී පොහොට්ටුවේ මැති ඇමැතිවරු පිරිසක් මේ ගැන බැසිල්ගෙන් විමසා සිටියහ. ඔවුන්  වැඩිදෙනෙකු ඇසුවේ පොහොට්ටුවට හිමි ඇමැතිධුර ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ද යන්න ගැන ය. ‘‘මම ඔය ඇමැතිකම් ගැන කතා කරන්න ගියේ නෑ. ඒ ගැන යළිත් කතා කරන්නෙත් නෑ. අපි  ඒ ගැන ලියලා තියෙනවා , කියලා තියෙනවා, දෙන නොදෙන එක ජනාධිපතිතුමාගේ වැඩක් ”‍ කී බැසිල් කතා කළේ කුමක් ගැනදැයි පැහැදිලි කළේය. “මම ජනාධිපතිතුමා එක්ක ප්‍රධාන කාරණා තුනක් ගැන කතා කළා. එකක් තමයි සතොස සහ මගනැගුම ආයතන වසා දැමීමෙන් රැකියා අහිමි වන පිරිස වෙනත් ආයතනයකට සම්බන්ධ කරවා ගැනීම. දෙවැන්න අස්වැසුමෙන් හැළිච්ච පිරිසට නැවත සහනයක් ලබාදීම. ඊළඟ කාරණය තමයි ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව දැන ගැනීම. මේ කරුණු තුන ගැන ජනාධිපතිතුමත් එක්ක කතා කළා” යැයි බැසිල් කීවේය.

උත්තර සභාගය නිදහස සභාව එක් වෙයිද

උත්තර ලංකා සභාගය සහ නිදහස ජනතා සභාව අතර හමුවක් ඉකුත් බදාදා තලවතුගොඩ දී පැවැත්විණ. තලවතුගොඩ හෝටලයක පැවති මේ හමුවට උත්තර ලංකා සභාගයේ වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, අතුරලියේ රතන හිමි, වෛද්‍ය ජී. වීරසිංහ, ඩිව් ගුණසේකර ඇතුළු පිරිසක් සහභාගී වී සිටි අතර, නිදහස ජනතා සභාවෙන් මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ. ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස්, විමල් වීරවංශ ඇතුළු කිහිප දෙනකු හදිසි කටයුත්තක් හේතුවෙන් ඊට සහභාගි වී නොමැත. මේ හමුව සාකච්ඡාවකට වඩා වැඩමුළුවක ස්වරූපයක් ගෙන තිබිණ. පොදු ආර්ථික වැඩපිළිවෙළක් සකස් කරන්නේ කෙසේද?, ඒ සඳහා වන දායකත්වය කෙබඳු ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවති මේ හමුවේ දී මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන්නට මෙන්ම, ඒවා එකිනෙක කණ්ඩායම් අතර බෙදා හදාගන්නට ද අවස්ථාව ලැබිණ. ඉදිරියේ දී ආ හැකි මැතිවරණ සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡාවට ලක් වූ අතර, කලින් එන්නේ ජනාධිපතිවරණය ද? නැති නම් මහ මැතිවරණය ද? යන්න  නිශ්චිත නැති බව ඔවුහු කියා සිටියහ. ඒ කුමක් වුව ද ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට හැකි බලවේගයක් ගොඩනැගිය යුතු බව ඔවුන්ගේ අදහස විය.

මැච් එක පැරදුණේ  පොහොට්ටුවේ ඇඩ් එක නිසා ද?

ආසියානු කුසලාන අවසන් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම හමුවේ අන්ත පරාජයකට පත් වීම ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි කම්පනයකට හේතු විය. හිටපු ක්‍රීඩා ඇමැතිවරයකු ද වන පොහොට්ටුවේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගිය සතියේ පාර්ලිමේන්තුවට ගිය අවස්ථාවේ දී භෝජනාගාරයේ දී විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම නාමල්ට විහිළු කරමින් කිව්වේ මැච් එක පැරදුණේ මැච් එක අතරතුර රූපවාහිනියේ විකාශය වූ පොහොට්ටුවේ ප්‍රචාරක දැන්වීම හේතුවෙන් බව ය. දැන් මේ මැච් එක දිනුවා නම් ඔයගොල්ලෝ කියන්නේ නෑනේ, පොහොට්ටුවේ ඇඩ් එක නිසා දින්න කියලා. ඒ නිසා ඔයාලා  එළියෙ  ගිහින් බොරු බේගල් අතාරින්න එපා. අනෙක ලෝක කුසලානයටත් යන්න තියෙන වෙලාවේ ටීම් එකේ මොරාල් එක නං වට්ටන්න එපා යයි ”‍නාමල් මන්ත්‍රීවරුන්ට ක්‍රිකට් පාඩමක් කළේය.

මෛත්‍රී අයියයි දයාසිරි මල්ලීයි

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ද ඉකුත් අඟහරුවාදා හැන්දෑවේ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී පැවැත් වූයේ පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ෂාන් විජයලාල් ද සිල්වා, සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, තිලංග සුමතිපාල ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ. ශ්‍රීලනිපයේ මෑතදී පැවැති මධ්‍යම කාරක සභාවට සහභාගි වූ වැඩිම  පිරිස සහභාගි වූයේ එදිනය. එදින මධ්‍යම කාරක සභාව ද පැය තුනකටත් අධික කාලයක් පැවැත්විණ.


පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ ආවරණය කිරීමට පත් කරන ලද, දුෂ්මන්ත මිත්‍රපාලගේ වැඩබලන මහලේකම් ලෙස පත්කිරීම ද සිදුවිය.
එසේම කාරක සභාවේ වැඩිම වේලාවක් වෙන් වූයේ හිටපු ජනාධිපතිවරයාගේ කතාව වෙනුවෙනි. දයාසිරි ජයසේකර ඉවත් කිරීම, ඊට පාදක වූ කාරණා මෙන්ම  ඉදිරි ක්‍රියාමාර්ග ගැන ද මෛත්‍රී පැහැදිලි කළේය. “දයාසිරි එළියට ගිහින් සමාජ මාධ්‍ය ඔස්සේ , රූපවාහිනි මාධ්‍ය ඔස්සේ ප්‍රහාර එල්ල කරනවා. මේ අය ඒවට උත්තර දෙන්න ඕන. එයා කියලා තියෙනවා මමයි එයයි තාත්තයි පුතයි වගේ හිටියේ කියලා. දැන් එයාටත් අවුරුදු පනස් ගණනක් වෙනවා. ඒ නිසා තාත්තයි පුතයි නෙවෙයි අයියයි මල්ලියි කියලා කිව්ව නම් තව හරි. මෛත්‍රී කීවේ හැමෝම හිනස්සමිනි.


තිලංග සුමතිපාල ද කතා කළේය. බොහෝ දෙනා සිතා සිටින්නේ තිලංග දයාසිරිගේ මිනිහෙකු ලෙසය. එහෙත්  ඔහු සිය කතාවේදී දයාසිරි ගැන කිසිවක් කතා නොකළේය. ඔහු කීවේ පක්ෂයේ සියලු‍ දෙනා සමගිව ඉදිරියට ගෙන යා යුතු බවය. දයාසිරි ගැන  වචනයක් හෝ කතා කළේ නම් කතා කළේ දැදිගම ආසන සංවිධායකවරයාය. ඔහු කීවේ දයාසිරි සමගත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර පක්ෂය සමගිවී ඉදිරියට යා යුතු බවය.


ජාතික සංවිධායක දුමින්ද දිසානායක කතාකරමින් කිව්වේ තමා ජාතික සංවිධායකවරයා ලෙස පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කර ඇති බවය. එය රට පුරා ගෙන යා යුතු ආකාරය ගැන ද ඔහු පැහැදිලි කළේය. දුමින්දගේ කතාව අනුමත කරමින් ෂාන් විජය ලාල් ද සිල්වා මන්ත්‍රීවරයා ද කතා කළේය.
සැලැස්මක් ඇතුව යන එක හොඳයි. හැබැයි ඒ වගේම මේ වැඩ කළා ද කියලා බලන්න පසු විපරමකුත් අවශ්‍යයි ෂාන් කීවේය. 

මාතර සජබ  ප්‍රවර්ධනය නතර වීම ගැන කසුකුසු

සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමට නියමිතව තිබුණේ පසුගිය සති අන්තයේය. මාතර දිස්ත්‍රික්කයේ ආසන හතම ආවරණය වන පරිදි මෙම කටයුතු සංවිධානය කිරීමට මූලිකත්වය ගත්තේ පක්ෂයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරයි. ඔහු කිහිප වරක්ම මාතරට ගොස් කටයුතු සොයා බලා තිබුණි. සියල්ල සූදානම් කර තිබිය දී සිකුරාදා දිනයේ දී මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සූම් තාක්ෂණයෙන් විශේෂ හමුවක් පවත්වා කියා ඇත්තේ පවතින කාලගුණ තත්ත්වය අනුව ප්‍රවර්ධන කටයුතු කිරීම අපහසු බවයි. ඒ අනුව මෙම කටයුත්ත නතර කර දැමීමට සිදුව තිබේ. 


කෙසේ වුවද මේ සම්බන්ධයෙන් පක්ෂය ඇතුළේ විවිධ කතා පැතිරෙන්නට විය. මාතර යන්නට සිටි බොහෝ දෙනාට සති අන්තයේ තමන්ගේ ආසනවල හෝ වැඩ දමා ගන්නට බැරි විය. මේ සම්බන්ධයෙන් රංජිත් මද්දුම බණ්ඩාර පසුගිය සඳුදා පැවති පාර්ලිමේන්තු කණ්ඩායමේ සාකච්ඡාවේදීත් අප්‍රසාදය පළ කළේය. සජිත් ප්‍රේමදාස මහතාගේ ද අප්‍රසාදයක් ඇති බවද පෙනුණි. පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී රංජිත් මද්දුම බණ්ඩාරගෙන් බුද්ධිකට දෝස් මුරයක් වැටුණි. මේ ගැන සජිත් සිටියේ ද අසතුටෙනි. 
කෙසේ වුවද මේ වනවිට පක්ෂයේ වැඩි දෙනාගේ අදහස වී තිබෙන්නේ ප්‍රවර්ධන කටයුත්ත අවලංගු කිරීමට කරුණු කියූ බුද්ධික පතිරණ සහ චතුර ගලප්පත්ති යන සංවිධායකවරුන් දෙදෙනාගේ ආසන හැර අනෙක් ආසන පහ තුළ ප්‍රවර්ධන කටයුතු සිදු කළ යුතු බවය. ඒ සඳහා දිනයක් යොදා ගැනීමට ද මේ වනවිට කරුණු සොයා බලමින් තිබේ. 

වහාම විදෙස් ප්‍රතිකාර  ගන්න හරීන්ට  වෛද්‍ය උපදෙස්

සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාසයකට ආසන්න කාලයක් දණහිසේ ආබාධ තත්ත්වයක් හේතුකොටගෙන  රෝහල්ගතව සිටි අතර අසනීප තත්ත්වය  බරපතළ  නිසා වෛද්‍යවරුන් නිර්දේශ කළේ විදෙස්ගතව අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසය.
ඒ අනුව අමාත්‍යවරයා පසුගියදා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත විය. මීට පෙර අමාත්‍යංශය විසින් සංවිධානය කළ යාල හිල්ටන් හෝටලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමට ප්‍රථම හෙතෙම සැත්කම් දෙකකට භාජනය වූ අතර ඔහු අදාළ උත්සවයට පැමිණියේ ද සම්පූර්ණයෙන් සුව වීමට පෙරය.
එහිදී නැවත ආබාධ තත්ත්වය සහ තුවාලය ඉස්මතු වූ අතර ඒ බව නොතකා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා රූපවාහිනි නාළිකාවක පැවති ප්‍රසිද්ධ වැඩසටහනකට ද සහභාගි විය.


“පාස්කු ප්‍රහාරය සම්බන්ධව පාර්ලිමේන්තුවේ වැඩියම කතා කළේ මම. සමහරු කියනවා හරි නිහඬ වෙලා කියලා දැන්. මේ චූදිතයෝ සහ මහා මොළකරුවන් අල්ලන්න කියලා මම ඊයේ කළ සටනම අදත් කරනවා. හෙටත් කරනවා.”‍ හරීන් එහි දී  කීවේය.


ඒ අතර හරීන් රූපවාහිනී වැඩසටහන අවසන් වී නැවත නිවසට පැමිණි අතර දණහිසේ මතුව තිබූ තුවාලය නැවත ඉස්මතු විය. වහාම ඒ දින ඔහු නැවතත් රෝහල්ගත වූ අතර කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නට වෛද්‍යවරු යුහුසුලු වූහ. කෙසේ වෙතත් තත්ත්වය තවදුරටත් එසේ පැවතිය දී වෛද්‍යවරුන් පවසා සිටියේ වහාම විදෙස්ගත වී ප්‍රතිකාර ගැනීම සුදුසු බව ය.


ඒ අනුව ඔහු මීට දින කීපයකට පෙර සිය පෞද්ගලික වියදමින් විදෙස් ගත වූයේ ප්‍රතිකාර ලබා ගැනීමටය.

■ ගජබා

 



අදහස් (0)

පොහොට්ටුව ඇමැතිකම් ගැන කතා නවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 3554 31

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 1058 12

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 2193 11

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 984 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1219 24

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1015 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1441 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 371 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site