IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


අහිංසක රියැදුරකු මිනීමැරුමකට පැටල වූ තුඩාරම්

පිච්චැර් පිස්සා

 

 

ඉන්දියානු මලයාලම් සිනමාව මේ කාලයේ සිනමාලෝලීන් අතර ඉතා ජනප්‍රිය සිනමාවක්  බවට පත්ව ඇති බැව්  දකින්න ලැබෙනවා. ඉන්දියාවේ පමණක් නොව ලෝකයේ තවත් බොහෝ රටවල සිනමා ප්‍රේක්ෂකයන් වසඟයට ගැනීමට මලයාලම් චිත්‍රපටවලට හැකියාව ලැබී තිබෙනවා. ලංකාවේත් මලයාලම් චිත්‍රපට රස විඳින සිනමා රසිකයන් රැසක් සිටින බව රහසක් නොවෙයි.

ඉන්දියානු සිනමාවේ දැවැන්තයකු වන මනි රත්නම් ද පසුගිය දිනෙක මොලිවුඩ් හෙවත් මලයාලම් සිනමාව ඉහළින්ම වර්ණනා කරමින් ප්‍රකාශයක් කර තිබුණා. ඔහු සඳහන් කර තිබුණේ මලයාලම් චිත්‍රපට කර්මාන්තය අද ඉන්දියාවේ හොඳම චිත්‍රපට බිහිකරන සිනමා කර්මාන්තය බවට පත්ව ඇති බව යි.
ඉන්දියාවේ සෙසු සිනමා කර්මාන්තයන් ද ළඟා විය යුතු ඉහළ ප්‍රමිති මට්ටමක් සලකුණු කිරීමට මලයාලම් සිනමාවට හැකි වී ඇති බවත් මනි රත්නම් සඳහන් කරනවා.
"ඔවුන්ගේ තිරකතා රචකයන් අති විශිෂ්ටයි. කුසලතා පිරි අලුත් නිර්මාණකරුවන් අලුත් අපූරු චිත්‍රපට ද සමග මතුවෙමින් සිටිනවා" මනි රත්නම්  තවදුරටත් එලෙස සඳහන් කර තිබුණා. ඔහු ගේ මේ ප්‍රකාශය මා සිතන්නේ මලයාලම් චිත්‍රපට නරඹන  බොහෝ දෙනෙකුට විවාදයකින් තොරව එකඟ විය හැක්කක්.
මේ පූර්විකාව ලීවේ පසුගිය දිනෙක නැරඹූ අලුත්ම මලයාලම් චිත්‍රපටයක් ගැන සටහනක් ලිවීම සඳහා යි.
මේ සිනමාපටයේ නම ඉංග්‍රීසියෙන් ලියා තිබෙන්නේ "Thudarum" යනුවෙන්. එය සිංහලෙන් ශබ්ද කරන්නේ "තුඩාරම්" කියා විය යුතුයි. Crime Thriller ශානරයට අයත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ මලයාලම් සිනමාවේ ජනප්‍රියම නළුවකු වන මෝහන්ලාල්. ඔහු රඟ පෑ "දෘශ්යම්" වැනි චිත්‍රපට ද ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වුණා. "තුඩාරම්" අධ්‍යක්ෂණය කර තිබෙන්නේ   දක්ෂ, සම්මානනීය අධ්‍යක්ෂවරයකු වන තරුන් මූර්ති.
මෝහන්ලාල් මෙහි රඟපාන්නේ ෂන්මුගම් නමැති ටැක්සි රියදුරෙකුගේ චරිතයක්. ඔහු ගමේ කාගේත් ආදරය දිනාගත් ජනප්‍රිය පුද්ගලයෙක්. ඔහුගේ නම ෂන්මුගම් වුවත් ගමේ බොහෝ දෙනා ඔහු අමතන්නේ "බෙන්ස්" යන නමින්.
ෂන්මුගම්ට තිබෙන්නේ ඇම්බසඩර් වර්ගයේ මෝටර් රථයක්. ඔහු එයට පණටත් වඩා ආදරෙයි. එම ආදරය දෙවැනි වන්නේ ඔහු තම පවුලට දක්වන ආදරයට පමණ යි.
චිත්‍රපටය ආරම්භ වන්නේ ෂන්මුගම් ඔහුගේ බිරිඳ වන ලලිතා ද, දරුවන් වන පාවි සහ පවිත්‍රා ද සමග ඉතා සතුටින්, විනෝදයෙන්, සැහැල්ලුවෙන් කල් ගෙවන ආකාරය දැක්වෙන ජවනිකා පෙළකින්.
කෙසේ හෝ වේවා, එක්තරා අනපේක්ෂිත සිද්ධියකින් පසු ඔහුගේත්, මේ පවුලේත් සන්සුන් ජීවිතය මහත් සුළි කුණාටුවකට හසු වීමට පටන් ගන්නවා.
ෂන්මුගම් එක් අවස්ථාවක ඔහුගේ මෝටර් රිය අලුත්වැඩියාවක් සඳහා දින කිහිපයකට එක්තරා ගරාජයකට භාර දෙන අතර එහි සිටින කාර්මිකයකු මත්ද්‍රව්‍ය වාගයක් ප්‍රවාහනය කිරීමට, ෂන්මුගම් ගේ කිසිදු අනුදැනුමකින් තොරව ඔහුගේ වාහනය යොදා ගන්නවා. එහිදී මෝටර් රිය පොලිසියේ අත්අඩංගුවට පත් වෙනවා.
තම ආදරණීය මෝටර් රිය නැවත ලබා ගැනීමට ෂන්මුගම් දැඩි ලෙස පින්සෙන්ඩු වෙමින් විශාල උත්සාහයක් ගත්තත් බෙනී නමැති උප පොලිස් පරීක්ෂකවරයා රථය නිදහස් කරන්නේම නැහැ.
ඒ වනවිට පොලිස් ස්ථානයේ නොසිටින  ප්‍රධාන පොලිස් පරීක්ෂක ජෝර්ජ් පසුව එහි පැමිණෙන අතර ෂන්මුගම්ගේ දුක්ගැනවිල්ල අසන ඔහු රථය නිදහස් කිරීමට එකඟ වෙනවා. නමුත් ඒ එක කොන්දේසියක් උඩ යි. එම පොලිස් ස්ථානයේ සේවය කරන තවත් පොලිස් කොස්තාපල්වරයකු ගේ විවාහ උත්සවයක් එදින රාත්‍රියේ පැවැත්වෙන අතර තමා සහ බෙනී එම විවාහ උත්සවය පැවැත්වෙන නිවසට රැගෙන යන ලෙස   ජෝර්ජ් ෂන්මුගම්ගෙන් ඉල්ලා සිටිනවා.
බොහෝ රෑ බෝ වී ඇති නිසා ෂන්මුගම් එම ඉල්ලීමට එකඟ වන්නේ ඉතා අකැමැත්තෙනු යි.
කෙසේ හෝ වේවා, අවසානයේ ඔවුන් විවාහය පැවැත්වෙන නිවෙසට යනවා. එහි ටික වේලාවක් ගත කිරීමෙන් පසු ජෝර්ජ්ට තවත් තැනකට යාමට අවශ්‍ය වෙනවා. ඔහු පවසන ආකාරයට එය පාළු වනගත පෙදෙසක ඇති ගොවිපොළක්. එහි ගොස් කමින් බොමින් තව ටිකක් විනෝද වීමට අවශ්‍ය බවයි ජෝර්ජ් පවසන්නේ.
බලවත් අකැමැත්තෙන් වුවත් ෂන්මුගම්ට ඊට එකඟ වෙනවා හැර වෙන කරන්න දෙයක් නැහැ. ටික වේලාවක් ගමන් කිරීමෙන් පසු ඔවුන් පිවිසෙන්නේ මෝටර් රථයකට යාමට ඉතාම දුෂ්කර දුර්ග මාර්ගයකට යි.
මේ අතර ෂන්මුගන් හාංකවිසියක් හෝ නොදන්නා රහසක් ද තිබෙනවා. එනම් ඒ වනවිට  ඔහුගේ මෝටර් රථයේ ඩිකියේ මළ සිරුරක් ඇති බව යි.
මනි රත්නම් සඳහන් කළ ලෙසම දැඩි කුතුහලය තුළින් ප්‍රේක්ෂකයන් ග්‍රහණයට ගත හැකි තිර කතා ලිවීමට මෙකල මලයාලම් රචකයන් සුවිශේෂී සමත්කමක් දක්වනවා. "තුඩාරම්" ද ඒ බව මොනවට තහවුරු කරන නිර්මාණයක්. මෙහි කතාව ගොතා ඇත්තේ මොහොතකට හෝ ප්‍රේක්ෂකයාට එහි ග්‍රහණයෙන් මිදෙන්නට ඉඩක් නොතබන ආකාරයෙන්. තම මෝටර් රියේ ඩිකියේ මළ සිරුරක් ඇති බව ෂන්මුගම්  දැනගැනීමෙන් පසු දිග හැරෙන සිදුවීම් දාමය ඉහත කී ග්‍රහණය දෙගුණ තෙගුණ කිරීමට සමත් වෙනවා.
මලයාලම් ජනප්‍රිය සිනමාවේ නිර්මාණවල තවත් ලක්ෂණයක් වනුයේ ආකර්ශනීය කතන්දර තුළින් විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් වසඟයට   ගන්නා අතර විවිධ කාලීන සමාජ සංස්කෘතික කාරණා පිළිබඳව ප්‍රේක්ෂකයාගේ අවධානය යොමු කිරීමට ද සමත් වීම යි. මේ චිත්‍රපට  ප්‍රේක්ෂකයාට වඩාත් සමීප වීමට මේ කාරණයත් එක් හේතුවක්. මේ නිසා මෙම චිත්‍රපට "පොළොවේ පය ගසා" සිටින චිත්‍රපට හැටියටත් හැඳින්විය හැකියි.
"තුඩාරම්" තුළත් මේ ලක්ෂණය  දැකගන්නට පුළුවන්.
පොලිසිය තිබෙන්නේ නීතිය රැකීමට සහ ජනතාවගේ ආරක්ෂාවට වුවත් ඇතැම් අවස්ථාවල එහි කණපිට සිදුවන  අන්දම  අප බොහෝ දෙනා අත්දැක ඇති කාරණයක්. "තුඩාරම්" චිත්‍රපටයේත් මේ කාරණය ඉතා ප්‍රබල ආකාරයෙන් නිරූපණය වෙනවා. ඉතා බිහිසුණු අපරාධයක් සිදු කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එය වසන් කිරීම සඳහා  එක්තරා කතන්දරක් ගොඩ නගන ආකාරයත්, අහිංසකයකු ඔවුන්ගේ කතන්දරයේ ගොදුරක් බවට පත් වීමට යන ආකාරයත්, අවසානයේ එම අහිංසකයා බිහිසුණු පළිගැනීමකට පෙලඹෙන ආකාර‍යත් ඔස්සේ තමයි මෙහි කතා පුවත ගොඩනැගෙන්නේ.
යම් යම් අසාධාරණයන්ට ලක්වන පුද්ගලයන් ප්‍රචණ්ඩ ආකාරයෙන්  ඊට පළිගන්නා අන්දමත්, එහිදී ඔවුන් සම්මත නීතියට පිටින් කටයුතු කරන අන්දමත් මේ කාලයේ බොහෝ චිත්‍රපටවල දක්නට ලැබෙන ලක්ෂණයක්. "තුඩාරම්" චිත්‍රපටයේත් එය දකින්න ලැබෙනවා. ඉන්දියාව වැනි රටවල මෙවැනි චිත්‍රපට වැඩි වැඩියෙන් බිහිවන්නේ මන්ද යන්නත් අවධානයට ලක් විය යුතු කාරණයක්. නීතිය පිළිබඳ සමාජය තුළ  විශ්වාසය බිඳවැටීම මෙයින් පිළිබිඹු වෙනවා විය හැකියි. විශේෂයෙන් බලය, ධනය අහිමි පහළ ස්ථරවල ජන කොටස්වලට නීතියෙන් යුක්තිය, සාධාරණය ඉටු නොවීම, බලවතුන්ට ධනවතුන්ට වුවමනා ආකාරයට නීතිය "නවන්නට" හැකි වීම වැනි තත්වයන් නිසා සමාජය තුළ පවතින කෝපය මෙවැනි චිත්‍රපට බිහිවීමට බලපාන සාධකයක් වීමට පිළිවන්.
"තුඩාරම්" හි  කතා පුවතෙහි ඇති නාටකීය බව මෙන්ම, නළු නිළියන්ගේ අපූරු  රඟපෑම් ද, අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාව ද, සෙසු ශිල්පීය අංශවල ඉහළ දායකත්වය ද  චිත්‍රපටයේ සාර්ථකත්වයට බෙහෙවින් හේතු වී තිබෙනවා. මෙහි "දුෂ්ටයා" වන ජෝර්ජ් නමැති පොලිස් නිලධාරියාගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රකාශ් වර්මා නමැති රංගන ශිල්පියෙක්. මෙය ඔහුගේ කුළුඳුල් සිනමා රංගනය බව සඳහන්. නමුත් වර්මා ගේ රඟපෑම් බොහෝ අවස්ථාවල මෙහි ප්‍රධාන නළුවා වන මෝහන්ලාල් ගේ රංගනය ද  ඉක්මවා යන බව යි මට සිතුණේ. ඔහුගේ රංගනය දුෂ්ට චරිත නිරූපණය කිරීමේ කලාව අලුත් මානයකට ගෙන යනවා වැනියි.
වර්මා මෙයට පෙර කටයුතු කර තිබුණේ වෙළෙඳ දැන්වීම් අධ්‍යක්ෂණය කරන්නෙකු හැටියට යි.
ඔබත් crime thriller ශානරයේ චිත්‍රපට නැරඹීමට කැමැති සිනමාලෝලියකු නම් "තුඩාරම්" ඔබට හරියටම ගැළපෙන සිනමා කෘතියක්.

නිහාල් පීරිස් . 

 



අදහස් (0)

අහිංසක රියැදුරකු මිනීමැරුමකට පැටල වූ තුඩාරම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 409 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 856 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site