උසස් පෙළින් පසු විශ්වවිද්‍යාල වරම් ලබාගන්නව කියන්නෙ හැමෝගෙම සිහිනයකි. එකී සිහිනය යාථාර්ථයක් කර ගැනීමට හැමෝම වෙහෙස මහන්සි වෙනවා. කෙනෙක් සාර්ථක වෙද්දී තවත් කෙනෙක් අසාර්ථක වෙන්නෙත්, කෙනෙක් විශ්වවිද්‍යාල වරම් ලබද්දී තවත් කෙනෙක් නොලබන්නෙත් එකිනෙකාගෙ විභවතාව අනුව බව නම් නොරහසක්. කෙනෙකුට සිතෙන්නට පුළුවන් උසස් පෙළ තමයි තමන්ගෙ මුළු ජීවිතයම තීරණය කරන්නෙ කියලා. නමුත් එයින් එහා ලෝකයක් දකින්න ඕනෑම කෙනෙකුට අවස්ථාව අද වෙනවිට හිමිව තියෙනවා. ලාංකීය අධ්‍යාපන භූමිකාව තුළ උසස් පෙළින් පසු විශ්වවිද්‍යාල වරම් ලබන සිසුවෙකුට මෙන්ම උසස් පෙළ අසමත් වූ සිසුවෙකුට පවා තමන්ගේ හැකියාව පදනම් කරගෙන ඕනෑම වෘත්තීය මාර්ගෝපදේශකයක් යටතේ උපාධියක් දක්වා ගමන් කිරීමට හෝ තමන් කැමති ක්ෂේත්‍රයක රැකියාවක් කිරීමට හෝ වරම් හිමිව තිබීම සතුටට කරුණකි.
උසස් පෙළ විභාගය අසමත් වීම යනු ජීවිතයම අසමත්වීම නොවෙයි. වර්තමානය වෙනවිට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මගින් සපයනු ලබන විකල්ප පාඨමාලා, වෘත්තීය පුහුණු වැඩසටහන් සහ තාක්ෂණික අධ්‍යාපන වැඩසටහන් මගින් දක්ෂයන්ට තමන්ට සුදුසු මාවත් සොයා ඉදිරියට යාමට විශාල අවස්ථා සපයා දී ඇත. එහි තවත් පැතිකඩක් වශයෙන්, මාර්ගෝපදේශකයක් නොමැතිව අන්තර්ජාලය මගින් අධ්‍යාපනය ලැබිය හැකි විකල්ප ද පවතී. එම පාඨමාලාවන් සඳහා යම්කිසි දැරිය හැකි සහන මුදලක් හෝ නොමිලේ මෙරට දරුවන්ට හැදෑරීමට අවස්ථාව සලසා දී ඇත.
ශ්‍රී ලංකාවේ උසස් පෙළ (A/L) අවසන් කිරීමෙන් පසු හෝ අසමත් ඕනෑම සිසුවෙකුට, ඉන් නොනැවතී අධ්‍යාපනික මාර්ගයක් තෝරා ගැනීමට මෙය කදිම අවස්ථාවකි. ඊට හේතුව, විශාල වශයෙන් රජයේ හා අර්ධ රාජ්‍ය ආයතන මඟින් නොමිලේ හෝ අඩු ගාස්තු යටතේ විශේෂිත වෘත්තිය හා තාක්ෂණික පාඨමාලා පිරිනමා තිබීමයි. එම ආයතන ලෙස වෘත්තීය පුහුණු අධිකාරිය (VTA), ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA), ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE), තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC), ජාතික තරුණ සේවා සභාව (NYSC), තාක්ෂණික අධ්‍යාපන සහ පුහුණු දෙපාර්තමේන්තුව (DTE) ඉන් කිහිපයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
කාර්මික විද්‍යාල
ඒ අනුව, උසස් පෙළින් පසු හෝ අසමත් ඕනෑම සිසුවෙකුට හැදෑරීමට උසස් අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය හදාරා, තම රැකියා ජීවිතය සාක්ශාත් කර ගතහැකි ආයතනයක් වෙන්නේ කාර්මික විද්‍යාලයයි. එම ආයතනය මගින් සිසුන්ට විවිධ වෘත්තීය පාඨමාලා ලබාදෙන අතරම, මෙයට ප්‍රධාන වශයෙන් Computer Hardware Technician, Graphic Designing, Electrical Wiring, Refrigeration and AC Technician වැනි පාඨමාලා ඇතුළත් වේ. මෙය සිසුන්ට ඉගෙනීමේ මංපෙත් විවර කරදුන් නවමු මාවතක් වෙන අතරම, කාර්මික විද්‍යාල 39ක් ලංකාව පුරාවට පිහිටා ඇත. ඉන් අම්පාර, බදුල්ල, ගාල්ල, යාපනය, කුරුණෑගල, මරදාන, රත්නපුර සහ අනුරාධපුර ලෙස විද්‍යාල 09ක් පළාතකට එක බැගින් පිහිටා ඇත. උසස්පෙළ අසමත් වූ ඕනෑම සිසිවෙකුට, මෙහිදී හැදෑරීම් කටයුතු සිදුකළ හැකියි. ඒ අනුව කාර්මික විද්‍යාල අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් (අධ්‍යාපන) මානෙල් විජේසිංහගෙන් කළ විමසීමක දී ඇය මෙසේ පිළිතුරු ලබා දුන්නා.
“A/L ප්‍රතිඵලවලින් විෂයන් තුන සමත් අයට NVQ Level 5 මට්ටමේ ඩිප්ලෝමා පාඨමාලාවලට යන්න පුළුවන්. ඒ වගේම A/L අසමත් අයට NVQ Level 4 – 3 මට්ටමට යන්න පුළුවන්. ඒ වගේම මේ Colleges වල A/L විභාගයෙන් S3 තිබෙන අයට පවා NVQ Level 5 ඩිප්ලෝමා හදාරන්න පුළුවන්. එහෙම නැත්තම් NVQ Level 4-3 පාඨමාලාවක් කරන්න හැකියාව තියෙනවා. අපේ ආයතනයේ Computer Hardware Technician, Graphic Designing, Electrical Wiring, Refrigeration and AC Technician වැනි ඕනෑම ක්ෂේත්‍රයක පාඨමාලාවක් ළමයෙකුගේ කැමැත්ත පරිදි තෝරාගන්න පුළුවන්. මේ පාඨමාලා මාස 6ක් අවුරුද්දක් හෝ අවුරුදු එක හමාරක් වගේ කාල පරාසයක් වෙන්න පුළුවන්. එක එක පාඨමාලාවල කාල පාරසයන් වෙනස්. ඉතින් ළඟම තිබෙන කාර්මික විද්‍යාලයෙන් ළමයින්ට පුළුවන් මේ පාඨමාලා සම්බන්ධ විස්තර දැනගන්න. නැත්තම් අපේ Web site එකෙන් හරි ගැසට් එකෙන් හරි මේ සම්බන්ධ විස්තර දැනගන්න පුළුවන්. විශේෂම දේ තමයි NVQ Level 4 මට්ටමේ පාඨමාලාවක් හදාරපු කෙනෙකුට එතනින් එහාට Level 5, 6 සහ 7 දක්වා යන්න පුළුවන්. NVQ Level 7 මට්ටම උපාධිය හා සමානයි.
ඉතින් තමන් ආස කරන Field එක තමන් තෝර ගන්න ඕනෑ. ඒක සමහර විට Bulding Constrction, Auto Mobile ද කියන පාඨමාලා තෝරා ගැනීම ළමයාගේ කැමැත්ත අනුව සිදු කරන්න අවශ්‍යයි. ඒක ළමයට තීරණය කරන්න අපහසු නම් අපේ ආයතනවල ඉන්නවා වෘත්තීය මාර්ගෝපදේශකවරු. ඔවුන් මුණ ගැහුනම තොරතුරු අහලා බලලා ළමයට ගැළපෙන පාඨමාලාවක් තෝරගන්න හැකියාව තියෙනවා. යම්කිසි ළමයෙකු Part time කරනවනම් පොඩි මුදලක් වැය වෙනවා.
නමුත් රජයේ ආයතනයක් විදිහට අපි Full Time පාඨමාලා සියල්ලක්ම සම්පූර්ණයෙන් නොමිලේ පවත්වනවා. මාස 06කින් එම පාඨමාලාව සම්පූර්ණ කළ පසුව ළමයාව පුහුණුකිරීම සඳහා රැකියාවකට ඇතුළත් කරනවා. එයත් අවසන් වූ පසුව NVQ සහතිකය ලබා ගන්න පුළුවන්. එම සහතිකය අරගෙන, තමන් ඉගෙනගත්ත Field එකේ රැකියාවකට යන්න අවස්ථාව ලැබෙනවා”
ලාංකීය අධ්‍යාපන අවස්ථාවේ සිට විදේශීය අධ්‍යාපන අවස්ථාව දක්වා ඕනෑම ක්ෂෙත්‍රයක අධ්‍යාපනය සලසා දෙන ආයතනයක් ලෙස කාර්මික විද්‍යාලය හඳුන්වා දිය හැකි අතරම, එතුමිය අවසාන වශයෙන් කියා සිටියේ, පවත්නා ආර්ථික ජීවන මට්ටම හමුවේ වත්මන් දුවාදරුවන්ට මෙය අගනා අවස්ථාවක් බවයි. පවුල් පරිසරය සහ ආදායම් මට්ටම අනුව, ඇතැම් ළමුන්ට යම් ගෙවීමක් කාර්මික විද්‍යාලය විසින්ම සිදුකරන බවද ප්‍රකාශකළ එතුමිය, ඉන් ළමුන්ට පීඩනයකින් තොරව ඉගෙනීමේ අවස්ථාව සැලසෙන බවද ප්‍රකාශ කළාය. මෙම ආයතනයෙන් ලැබන මූලිකම ප්‍රතිලාභය නම්, මාස 06කින් එම පාඨමාලාව සම්පූර්ණ කළවිට ළමයාව පුහුණුකිරීම සඳහා රැකියාවකට ඇතුළත් කරනවා. එයත් අවසන් කළපසු NVQ සහතිකය ලබා ගන්න පුළුවන්. එම සහතිකය අරගෙන තමන් ඉගෙනගත්ත ක්ෂෙත්‍රයේ රැකියාවකට යන්න අවස්ථාව ලැබෙනවා.
ජාතික තරුණ සේවා සභාව
ජාතික තරුණ සේවා සභාව මගින්ද ලබා දී ඇති සම්පත් දායකත්වය පිළිබඳව මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුව ඇත. දේශීය අධ්‍යාපන ක්‍රම තුළ මෙන්ම විදේශීය අධ්‍යාපන ක්‍රමවේදය තුළ දරුවන්ට ලෝකය දකින්නට දිනන්නට මෙමගින් වරම් හිමිව තිබීම සතුටට කාරණයකි. ඒ පිළිබඳව මහරගම ජාතික තරුණ සේවා සභාවේ කාර්මික හා වෘත්තීය පුහුණු සහකාර අධ්‍යක්ෂ තුෂාර දිසානායක මෙසේ විස්තර කළේය.
අප ආයතනයේ පාඨමාලා වර්ග දෙකක් තියෙනවා. පූර්ණ කාලීන සහ අර්ධ කාලීන වශයෙන්. පූර්ණ කාලීන පාඨමාලා NVQ ඉලක්ක කර ගනිමින් NVQ Level 3,4,5 මට්ටමේ පාඨමාලා ක්‍රියාත්මක කරනවා. එහෙම පාඨමාලා 36ක් පමණ තියෙනවා. අර්ධ කාලීන පාඨමාලා 74ක් පමණ තියෙනවා. පූර්ණ කාලීන පාඨමාලා අවුරුද්දක හෝ මාස හයක කාලයක් පවතිනවා. අර්ධ කාලීන පාඨමාලා මාස 6ක් තමයි ගොඩක් දුරට තිබෙන්නේ. පූර්ණ කාලීන පාඨමාලා සතියේ දින 5ම පැවැත්වෙනවා. අර්ධ කාලීන පාඨමාලා සති අන්තයේ සහ සතියේ දිනවල සවස පැවැත්වෙනවා. දිවයින පුරා මධ්‍යස්ථාන 57ක් තියෙනවා. අපේ මේ පැවැත්වෙන පාඨමාලා සම්බන්ධව www.nysc.lk වෙබ් අඩවියෙන් ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන්. මේ තරුණ සේවා සභාව සියයට 100ක් රජයේ සහ රජයේ ප්‍රමුඛ ආයතනයක් විදිහට කටයතු කරනවා. සාමාන්‍යයෙන් අවුරුද්දකට 25000ක් පමණ ළමුන් ප්‍රමාණයක් පුහුණු කරනවා”
ළමයෙක් A/L හෝ O/L අසමත්නම්?
ප්‍රශ්නයක් නැහැ ඒක. පූර්ණ කාලීන සහ අර්ධ කාලීන පාඨමාලා දෙකටම සහභාගි වෙන්න පුළුවන්. සමහර පාඨමාලා තිබෙනවා A/L සුදුසුකම් බලන. විශේෂයෙන් IT වගේ පාඨමාලා සඳහා. නමුත් ඒක Interview එකේදී තමයි තීරණය වෙන්නේ, ළමයා පාඨමාලාවට ගන්න එක සුදුසුද කියලා. ඒ වගේම Basic Coure තියෙනවා. ඒ පාඨමාලාවක් හදෑරීමත් මෙම පාඨමාලාවට ලියාපදිංචි වෙන්න සුදුසුකමක් වෙනවා”
ලියාපදිංචි වෙන්නේ කොහොමද?
පූර්ණ කාලීන සහ අර්ධ කාලීන පාඨමාලා මාස 06න් 06ට යන නිසා පළවෙනි ළමයි කණ්ඩායමට ජනවාරි මුල් සතියේ පටන් ගන්නවා. ඊළඟ කණ්ඩායමට ජූනි මුල් සතියේ. මේ දවස්වල Online අයැදුම්පත් දාන්න පුළුවන්. එතකොට ඊළඟ මාසේ Interview වලට කතා කරනවා. මේ පූර්ණ කාලීන පාඨමාලාවලට NVQ සහතිකයක් ලැබෙනවා. ඉතින් ළමයෙකුට මේ NVQ මට්ටමෙන් වුවත් රැකියාවකට යන්න පුළුවන්. ඒ වගේම තවදුරටත් NVQ 6 හෝ 7 දක්වා ඉගෙනගන්න පුළුවන්.
පාඨමාලා සඳහා ගෙවීමක් කරන්න අවශ්‍යද?
“සියලුම පාඨමාලා වලට පාඨමාලා ගාස්තුවක් අය කරනවා. පෞද්ගලික අංශයත් එක්ක සංසන්දනය කරලා, ඉතා සහනදායි ගාස්තුවක් තමයි අය කරන්නේ. ඒ වගේම ගෙවීම සිදු කරන්න බැරි දරුවෙකුට, අඩු ආදායම්ලාභීන් සඳහා සහනයක් වශයෙන්, අයදුම්පත්‍රයක් පුරවා ප්‍රාදේශීය ලේකම්ගෙන් සනාථ කර භාර දීමෙන් අදාළ පාඨමාලා ගාස්තුවෙන් සියයට 50ක සහන ගාස්තුවක් ලැබෙනවා”
ත්‍ෘත්‍රීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව
උසස්පෙළ අසමත් වූවායින් පසු, සිය අධ්‍යාපන භූමිකාව මුළුමනින්ම නවතා දමන කාල වකවානුවක, මෙවැනි ආයතන පිහිටුවා තිබීම ළමුන්ට මහත් රුකුලකි. එමෙන්ම ජාතික තරුණ සේවා සභාවට අමතරව උසස්පෙළ අසමත් වූවායැයි සම්මත සිසුන් සඳහාද වෘත්තීය පුහුණුව ලබාගත හැකි තවත් වැදගත් ආයතනයක් ලෙස, තෘත්‍රීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවද මේ වෙනවිට උසස් අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා තම සම්පත් දායකත්වය ලබා දෙමින් සිටී. එහි ක්‍රියාවලිය සම්බන්ධයෙන් එහි ප්‍රධාන අධ්‍යක්ෂ රූබසිංහ මෙසේ පැවසීය.
“අප ආයතනය හරහා දරුවන්ගේ කැමැත්ත පරිදි ඕනෑම ක්ෂෙත්‍රයක අධ්‍යාපනය හැදෑරීමට වරම් ලබා දී තියෙනවා. හෝටල් ක්ෂෙත්‍රයට කැමති නම් වේටර්, සූපවේදී, ස්ටුවර්ඩ් වැනි රැකියා, ඉදිකිරීම් ක්ෂෙත්‍රය, විදුලි කාර්මික ශිල්පී, වඩු කර්මාන්තය, කෘෂිකර්මාන්තය ආදි 300ක් පමණ පාඨමාලා තිබෙනවා. සාමාන්‍ය පෙළ දක්වා පාසල් ගිය, ලිවීමට හා කියවීමට හැකි ඕනෑ ම අයෙකුට මේ සඳහා සහභාගී විය හැකියි. ලිවීම, කියවීම අපහසු අය සඳහා ප්‍රායෝගික පුහුණුවට වැඩි බරක් ඇති වැල්ඩින් වැනි පාඨාමාලා තෝරා ගත හැකියි. වායු සමීකරණ වැනි පාඨමාලා සඳහා සාමාන්‍ය පෙළ සමත් ව තිබීම අවශ්‍යයි. NVQ-1 සිට NVQ-4 දක්වා ඇති සියලු පාඨමාලා ඇත්තේ සාමාන්‍ය පෙළ දක්වා පමණක් ඉගෙනගත් අයටයි”
“ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සහ දිවයින පුරා පිහිටි කාර්මික විද්‍යාලවල වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන් සිටින අතරම ඔවුන් ව හමු වී කාර්මික විද්‍යාල, තරුණ සේවා සභාව, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මෙන් ම වෙනත් පෞද්ගලික අංශයේ මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු ලබා ගත හැකියි. තමාගේ කැමැත්ත අනුව, ළැදියා පරීක්ෂණ සඳහා මුහුණ දීමෙන් පසු අදාළ ක්ෂේත්‍ර තෝරාගැනීමේ හැකියාවත් පවතිනවා”
සාමාන්‍යයෙන් උසස්පෙළ අසමත් වීම යනු ජීවිතයම කඩා වැටීමක් නොවන බව පෙන්වාදුන් එම මහතා, විශ්වවිද්‍යාල වරම් අහිමිවීමෙන් පසු සම්පූර්ණයෙන් ම ඉච්ඡා භංගත්වයට පත් වෙන දරුවන් සහ දෙමව්පියන් සඳහා මෙසේ උපදෙස් දුන්නේය.
“එය අපේ පද්ධතියේ වරදක්. වර්තමානය වෙන විට සාමාන්‍ය පෙළින් පසු පාඨමාලා හදාරා NVQ-3 හෝ NVQ-4 මට්ටමේ සහතික ලබා ගත හැකියි. එයින් පසු තාක්ෂණික විද්‍යාල සහ විශ්වවිද්‍යාල විද්‍යායනතන වෙත ඇතුළත් වී අධ්‍යාපනය හදාරා Nvq-5,6 යන මට්ටම් වෙත ළඟා විය හැකියි. එනම් ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා හැදෑරීමේ අවස්ථාව සිසුන්ට හිමි වෙනවා. ඒ සඳහා උසස් පෙළ සමත් වීම කිසිසේත් අවශ්‍ය නෑ. මෙම මධ්‍යස්ථාන සෑම පළාතකට ම 2ක් පමණ තිබෙනවා. මෙම ඩිප්ලෝමා ලබා ගැනීමෙන් පසු තවත් ඉදිරියට අධ්‍යාපනය හැදෑරිය යුතු නම්, රත්මලානේ පිහිටි වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය වෙත යොමු විය හැකියි. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ NVQ-5,6 සම්පූර්ණ කර තිබීම පමණයි. එම සිසුන් ඇතුළත් කර ගත් පසු, පුරප්පාඩු ඉතිරි වුවහොත් උසස් පෙළ තාක්ෂණ හා විද්‍යා විෂයයන් මඟින් සමත් වූ අයව බඳවා ගනු ලබනවා. මෙම දෙපිරිසම වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන විට සමාන සුදුසුකම් සහිත ලෙසයි සලකන්නේ”
මෙම පාඨමාලාවලින් පසු සැකසෙන රැකියා වෙළෙඳපොළ සම්බන්ධයෙන්ද ඔහු මෙසේ කරුණු පැහැදිලි කරන්නට විය.
“NVQ-3,4 දක්වා ඉගෙනගත් අය වෘත්තිකයන් ලෙස කටයුතු කරනවා. NVQ-5,6 දක්වා ඉගෙන ගත් අය සුපර්වයිසර් තත්ත්වයට පත් වෙනවා. එයිනුත් ඉහළට පැමිණි පසුයි උපාධිය හිමිවෙන්නේ”
මෙම පාඨමාලා මඟින් විදේශගතවීමට ඇති හැකියාව කෙබඳු ද?
“වර්තමානය වෙන විට, විදේශයන්හි වැඩි ම ඉල්ලුම ඇත්තේ NVQ-4 දක්වා හදාරා ඇති අයටයි. අද වෙන විට
ඇතැම් උපාධිධාරීන් පවා විදේශගත වීමේ අරමුණින් NVQ-4 සහතික පාඨමාලා හදාරනවා”
NVQ-4 මට්ටමට ළඟා වීමට කෙතරම් කාලයක් ගත වෙනවාද?
“බොහෝ පාඨමාලා සකස් වී අත්තේ වසරකින් අවසන් කරගත හැකි ලෙසයි. එයින් මාස 6ක් රැකියා පුහුණුව සිදු වෙනවා. රූපලාවණ්‍ය වැනි ඇතැම් පාඨමාලා සඳහා ගත වෙන කාල සීමාව සාපේක්ෂ ව අඩුයි’
මෙම පාඨමාලා හැදෑරීම සඳහා කෙතරම් මුදලක් වැය වනවාද?
“රජයේ බොහොමයක් පාඨමාලා පැවැත්වෙන්නේ නොමිලේ. ඇතැම් ඒවා සඳහා ඉතා ම සුළු මුදලක් අය කරනවා. පෞද්ගලික අංශයට බොහෝ විට පැමිණෙන්නේ විදේශගත වීමට ඉලක්ක කර ගත් පිරිස. එම නිසා එහි දී යම් සැලකිය යුතු ගෙවීමක් සිදු කළ යුතුයි”
උසස්පෙළ සමත් වීම යමෙකුගේ ජීවිතයේ තවත් වැදගත් කඩඉමක් පෙරට තැබීමට අවස්ථාවක් වෙන්නා සේම, අසමත්වීම යමෙකුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයකට වුවද මග පෑදීමක් විය හැකිය.එය තීරණය කළ යුත්තේ අප විසින්මය. ඕනෑම මට්ටමක තරාතිරමක පසුවන්නෙකුට වුවද රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන හරහා ලබාදී ඇති මෙම අගනා අවස්ථාව පැහැර හැරීම නොකළ යුත්තකි. දේශීය රැකියා වෙළෙඳපොළ තුළ මෙන්ම විදේශීය රැකියා වෙළෙඳපොළ තුළ වුවද රැකියා වරම් සාක්ෂාත් කරගැනීම තමා විසින්ම සිදුකළ යුත්තකි. එමනිසා උසස්පෙළ අසමත් වූවෙකු ලෙස, තවදුරටත් මැසිවිලි නැගියයුතු නැත. යථොක්ත ආයතනවලට අමතරව මෙවැනි ආයතන පිහිටුවා තිබීම ලාංකීය සිසු දුවා දරුවන් ලද මහඟු සම්පතකි.
මදූශා දිල්ශානි.
සුදර්ශනි කෝණාර.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
උසස් පෙළ අසමත් නම්