ගෞතම් අදානි... ශ්‍රී ලංකාවේ අපට ඉතා හුරු පුරුදු නමක්. නිරන්තරයෙන් දේශපාලන හා දූෂණ විරෝධී ක්‍රියාකාරි වේදිකාවල පලු ගසනු ලැබූ නමක්. ඇසු පමණින්ම මතබේද රැසක් ඔලුවට එන නමක්. අදානි නම යළි ගෝලීය වශයෙන් රැව් පිළිරැව් දීමට පටන්ගෙන තිබේ. ඒ හොඳට නොව නරකටයි. ඇමෙරිකාවේ නිව්ෙයා්ක් අධිකරණය මගින් අදානි සමාගමට එරෙහිව අපරාධමය අල්ලස් චෝදනා ගොණු කළේ ඉකුත් බදාදායි. මෙය අදානි සමාගම මෙතෙක් මුහුණ දුන් අභියෝග, චෝදනා හා අපවාද මෙන් නොවේ. ඉතා බරපතළ පහරක් අදානි ව්‍යාපාරික බලකොටුවට එල්ල කෙරෙන තත්ත්වයකි.
නිව්‌යෝක් චෝදනාව ගොනුවීමේ ප්‍රහාරයත් සමග අදානි බලකොටුවේ පවුරක කොටසක් කඩා වැටුණේ සමාගම් සමුහයේ වටිනාකමින් 20%ක්, එනම් ඩොලර් කෝටි 3000ක් කොටස් වෙළෙඳපොළවලදී අහිමිවීම මුල්කරගෙනයි. මේ සමගම, අදානි සමාගමේ මූල්‍ය වෙළෙඳපොළ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 69.8 සිට 58.9 දක්වා අඩුවී තිබේ. පැය 24ක් තුළ අදානි ව්‍යාපාර සමූහයට ගෝලීය වශයෙන් අහිමි වූ මුදල ඩොලර් බිලියන 12 ඉක්මවයි. නැති වූ සමස්ත ආදායම ඩොලර් බිලියන 30කට අධික බව ගණන් බලා ඇත. එසේම අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් සිදු කිරීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 600 ක ඩොලර් බැඳුම්කර ගණුදෙනුව වහා අවලංගු කර ගැණින.
අල්ලස් අපවාදය හමුවේ දිනක් තුළ අදානි, සුප්‍රකට ෆෝබ්ස් ලෝක කෝටිපති ලැයිස්තුවේ 22 වැනි ස්ථානයේ සිට 25 වැනි ස්ථානය දක්වා පහත වැටී තිබේ. මේ නිසා අදානි බලකොටුවට එල්ල වූ ඇමෙරිකානු ප්‍රහාරය සුළුපටු එකක් නොවන බව පැහැදිළි වෙයි. ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, තනතුරෙන් සමුගෙන යාමට දෙමසක් තිබිය දී, වහා වහා රුසියාවට පහරදීම සඳහා ‘ඇටැකැම්ස්’ මධ්‍යදුර මිසයිල පද්ධති යුක්රේනයට ලබා දී, රුසියාවට එම මිසයිල පතිත වෙමින් තිබෙන අවස්ථාවක, නිව්‌යෝක් අධිකරණය හරහා අදානි සමාගමේ අත්තිවාරමටම එල්ල වූ “මිසයිලය” පුපුරා යාම නිසා ඇති වූ කම්පනය අදානිට පමණක් නොව ඔහුගේ සමීප මිත්‍ර අගමැති නරේන්ද්‍ර මෝදිට ද දැනෙමින් පවතින බව ඉන්දීය දේශපාලන හා ආර්ථික ක්‍රියාකාරීන්ගේ අදහසයි.
අදානි ව්‍යාපාරයේ සුළමුල
1962 වසරේ උපන් ගෞතම් ශාන්තිලාල් අදානි නමැති ජෛන ආගමිකයාගේ නිජබිම අගමැති නරේන්ද්‍ර දාමෝදර්දාස් මෝදිගේ උපන් බිම වූ ගුජරාත් ප්‍රාන්තයයි. කොටින්ම කිවහොත් අදානි, අගමැති මෝදිගේ “ගමේ කොල්ලෙකි”. දෙදෙනා අතර පවතින දැඩි බැඳීමට මේ “ ගමේ කම ද” හේතුවක් වූ බව ඉන්දීය මාධ්‍ය පවසයි. අද වෙනවිට ආසියාවේ ප්‍රචලිත ධන කුවේරයෙකු වුවද, අදානි පුළුල් අධ්‍යාපනික පසුබිමක් සහිත වූවෙකු නොවන බව පෙනී යන්නේ, ගුජරාත් විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී උපාධිය හදාරමින් සිටි ඔහු, ව්‍යාපාරීක ලෝකයට අවතීර්ණ වීම සඳහා දෙවැනි වසරේදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය අත්හැර දැමීම හේතුවෙනි. සිය වැඩිමල් සොයුරා සමග පී.වී.සී. නිෂ්පාදන ව්‍යාපාරයට 1981 වසරේදී අවතිර්ණ වෙන ඔහු, 1986 දී වත්මන් අදානි ව්‍යාපාර සමූහයට මුල්ගල තබන්නේ අදානි එක්ස්පෝට්ස් ආයතනය ඇරඹීමත් සමගයි. 1995 දී අදානි වරාය ව්‍යාපාර ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ ගුජරාත් ප්‍රාන්තයේ මුන්දා වරායේ මෙහෙයුම් කොන්ත්‍රාත්තුව දිනා ගනිමිනි. අදානි, බලශක්ති උත්පාදන ව්‍යාපාරික ක්ෂේත්‍රයට අතගසන්නේ 2006 වසරේදීය. අනතුරුව ඔහු ඉන්දියාවෙන් බැහැර අන්තර් ජාතික ව්‍යාපාර සඳහා පිවිසෙන්නේ 2009 වකවානුවේ ඔස්ට්‍රේලියාවේ වරායක් හා පතලක් මිලදී ගැනීමත් සමගයි. 2022 වෙනවිට ගෞතම් අදානි, ආසියාවේ පළමු ධන කුවේරයා ලෙසත්, ලොව තුන්වෙනි ධන කුවේරයා ලෙසත් කිරුළු පැළදීමට සමත් වෙන්නේ ව්‍යාපාර ලෝකයේ ජය කෙහෙලි නංවමිනි. 2020 වසරේදී ඔහු ඉන්දියාවේ විශාලතම සූර්ය බල ව්‍යාපෘතිය දිනා ගන්නේ එය ලෝකයේ විශාලතම සූර්ය බලශක්ති ගනුදෙනුව ලෙස වාර්තා අතරට එක් වෙමිනි. 2022 වසරේ දී අම්බුජා සිමෙන්ති කර්මාන්තය අදානි සමාගමට පැවරෙන්නේ සුප්‍රකට හොල්සිම් සිමෙන්ති ව්‍යාපාරය වෙතිනි. වර්තමානය වනවිට අදානි සමාගම් සමුහය ලොව පුරා විසිරුණු මහා සමාගම් 10කට අධිකව පැතිර ඇත. එහි සමස්ත වටිනාකම ඉන්දීය රුපියල් කෝටි-ලක්ෂ 9.5ක් ඉක්මවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. අන්තර්ජාතික ඩොලර් වටිනාකම ඩොලර් බිලියන 141 ඉක්මවන බව මූල්‍ය වාර්තා
පෙන්වා දෙයි.
අදානිගේ “ දහං ගැට”
ඉන්දියාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය පවසන පරිදි අදානි ව්‍යාපාරය මුල අවධියේ සිටිම එතරම් පාරිශුද්ධ (CLEAN BUSINESS) වූවක් නොවන අතර විවිධ අපවාද මේ සමාගම් සමූහය හා බැඳී තිබේ. ඊට අදාළ වාර්තා තොග ගණනින් විවිධ විශ්වසනීය මූලාශ්‍ර ඔස්සේ ලබාගත හැක. නීතිමය අභියෝග, නඩු හබ හා උසාවි, පොලීසි අදානිලාට නුපුරුදු තැන් නොවූ බව ඉතිහාස වාර්තා පෙන්වා දෙයි. ව්‍යාපාරික ආරවුලක් සම්බන්ධයෙන් ඇප ලබා නොදෙන වරෙන්තුවක් යටතේ, අදානි මුලින්ම දිල්ලි පොලිස් අත්අඩංගුවට පත් වෙන්නේ 2002 වසරේ දීය. ඉන්දියාවේ බරපතළ වංචා පරීක්ෂණ කාර්යාලය මගින් අදානි ඇග්‍රෝ සමාගමට එරෙහිව, අරමුදල් අයථා ලෙස යෙදවීමේ චෝදනා පිළිබද විමර්ශනයක් පවත්වාගෙන ගිය මුත් 2020 වසර වෙනවිට අධිකරණයෙන් එය නිශ්ප්‍රභ කෙරිණ.
ඉන්දීය මාධ්‍ය පවසන ආකාරයට, අදානි ලොකුම “ජිල්මාට්” එක දමා ඇත්තේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළයි. ඒ ප්‍රකට NDTV මාධ්‍ය ජාලය මිලදී ගැනීමේ ක්‍රියාවලියේදීය. මාධ්‍යවේදීනි රාධිකා රෝයි හා ඇගේ සැමියා වන ප්‍රානෝයි රෝයි සතුව පැවති NDTV ආයතනය, අදානි සමාගමේ සන්නිවේදන අංශ්‍ය වනAMG MEDIA NETWORK LIMITED විසින් ලබාගෙන ඇත්තේ හිමිකරුවන් දැනුවත් නොකර, සෙසු කොටස් හිමියන්ගේ කොටස් මිලදී ගෙන, කොටස් ඒකාධිකාරයක් තුළින් හිමිකරුවන්ට කළ බලපෑම්කාරී මෙහෙයුම තුළින් බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි. මෙය මෑත කාලීන ඉන්දියාවේ වඩාත් මතබේදාත්මක මාධ්‍ය ගණුදෙනුවයි.
අදානි සමාගම, කෙන්යාවේ ජෝමෝ කෙන්යාටා අන්තර්ජාතික ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ද තවත් ආන්දෝලනාත්මක ගණුදෙනුවකි. කෙන්යා රජයේ හා එරට විවිධ ආයතන වලින් සිදුකළ සොයා බැලීම් වලින් පසු සැක කටයුතු තත්ත්වයන් මේ ගණු දෙනුව තුළ පවතින බවට සාධක ඇතැයි කෙන්යා ජනාධිපති කාර්යාලය පවසයි. කෙන්යා ජනාධිපති විළියම් රූටෝ, අදානි ගුවන්තොටුපළ ගණුදෙනුව අවලංගු කරන බව ඊයේ නිවේදනය කළේය. ඒ දේශීය හා විදේශීය පාර්ශ්වයන්ගෙන් ලැබුණු තොරතුරු මත පදනම්ව බව කෙන්යා ජනාධිපති රූටෝ තම නිවේදනයේ සඳහන්
කර ඇත.
අදානි සමාගම ක්‍රියාත්මක කළ තවත් ආන්දෝලනාත්මක ව්‍යාපෘතියක් වන්නේ බංග්ලාදේශයේ බලශක්ති උත්පාදන ක්‍රියාවලියයි. අද වෙනවිට බංග්ලාදේශය අදානිට ණය ගැති වෙන තත්ත්වයකට පත්ව ඇත්තේ එම විදුලිබල උත්පාදන ක්‍රියාවලිය මුල්කොටගෙනයි. 2017 වසරේ ඇතිකරගත් ගිවිසුමක් අනුව, බංග්ලාදේශය අදානි සමාගමෙන් විදුලි බලය මිලදී ගනී. මුල සිටම එරට විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වූ චෝදනා වලින් කියැවුණේ, බංග්ලාදේශය අදානිගෙන් විදුලිය මිලදී ගන්නේ සාමාන්‍ය වෙළෙඳපොළ වටිනාකමට වඩා ඉහළ අගයකට බවයි. අදානි සමාගම සමග ඇති සියලු ගිවිසුම් අවලංගුකරන ලෙස ඉල්ලමින් රිට් පෙත්සමක් බංග්ලාදේශ අධිකරණය වෙත යොම කොට ඇත්තේ සිවිල් ක්‍රියාකාරියෙකු වන නීතිඥ ඒම්. අබ්දුල් කායුම් විසිනි. ෂෙයික් හසිනා පිටමං කළ සිසු කැරැල්ල හේතුවෙන්, බංග්ලාදේශයේ ඇති වූ ආර්ථික ව්‍යාකූල බව නිසා අදානි සමාගමට ගෙවිය යුතු හිඟ මුදල් ගොඩ ගැසෙමින් පවතී. එම ණය කන්ද දැන් ඩොලර් මිලියන 850 ඉක්මවා තිබේ. විදුලිය සම්පූර්ණයෙන් කපා හරින බවට අදානි බංග්ලාදේශයට අනතුරු අගවයි. දැනටමත් අදානි සමාගම බංග්ලාදේශයට විදුලිය සපයන්නේ සීමා සහිතවයි. මේ නිසා එරට විදුලි අර්බුදයක් ද හටගෙන තිබේ. මේ තත්ත්වය යටතේ, අදානි ගිවිසුම් යළි සළකා බැලීම සඳහා බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය ඉහළ පෙළේ කමිටුවක් පත් කරන ලෙසට රජයට නියෝග කළේ ඉකුත් අඟහරුවාදායි.
හින්ඩන්බර්ග් අපවාදය
අදානි සමාගමේ අයථා ක්‍රියාකාරකම් වඩාත් පුළුල් ලෙස හෙළිකර ඇත්තේ 2023 වසරේ ජනවාරි මාසයේ දී ඇමෙරිකාවේ නිව්යෝක් හි කුඩා ආයෝජන සමාගමක් වෙන හින්ඩන්බර්ග් ආයතනය, පරීක්ෂණ කණ්ඩායමක් යොදවා අදානි ගනුදෙනු ගැන හෙළිදරව් කළ වාර්තාව හේතුවෙනි. හින්ඩන්බර්ග් වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ, අදානි සමාගම ඉතා බරපතළ ලෙස කොටස් වෙළෙදපොළ මිල ගණන් කෘත්‍රිම ලෙස වෙනස් කිරීමේ අයථා ක්‍රියා මාර්ගයක යෙදෙන බවයි. එම ජාවාරම තුළින්, අදානි ව්‍යාපාර සමූහය ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල ආයෝජකයන් රවටා තම කොටස් අලෙවිය ඉහළ නංවා ගැනීමේ කූඨෝපායයන් අනුගමනය කළ බව හින්ඩන්බර්ග් වාර්තාව පවසයි. මේ සම්බන්ධයෙන් අදානි සමාගම පවසන්නේ, හින්ඩන්බර්ග් වාර්තාව හිතා මතා ද්වේශ සහගත ලෙස තම ආයතනයට එරෙහිව සකසා ඇති බවයි. කෙසේ වෙතත්, හින්ඩන්බර්ග් වාර්තාවෙන් පසු ඇති වූ මූල්‍ය කඩා වැටීම තුළ දී අදානි සමාගම ඩොලර් බිලියන 100කට අධික පාටුවක් ලැබීය. ලොව තුන්වැනි ධනකුවේරයා ලෙස වැජඹුණු ගෞතම් අදානි, ෆෝබ්ස් ලැයිස්තුවේ 22වැනි ස්ථානය දක්වා පහත දැමීමට හේතු වූයේ මේ හින්ඩන්බර්ග් වාර්තාවයි. කෙසේ වෙතත්, අදානි සමාගම වසරක් ඉක්ම යාමට මත්තෙන්, කොටස් වෙළෙඳපොළවල දී මගහැරුණු ලාභය යළි උපයා ගත් බව ඉන්දීය මාධ්‍ය පවසයි. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග මත ඉන්දීය විනිමය හා සුරැකුම්පත් හෙවත් සැබී ආයතනය මගින් පරීක්ෂණයක් පැවැත්වුව ද, ඉන් අවසානයේ අදානි සමාගම නිදහස් කර තිබේ. එමෙන්ම හින්ඩන්බර්ග් ආයතනයට සැබී ආයතනය විසින් චෝදනා කර ඇත්තේ ඉන්දීය නීතිය උල්ලංඝණය කර ඇති බවටයි. කෙසේ වෙතත් මේ තීන්දුව සම්බන්ධයෙන් ඉන්දීය කොංග්‍රස් පක්ෂය හා ක්‍රියාකාරී කණ්ඩායම් දරන්නේ වෙනත් මතයකි.
OCCRP වාර්තාව
සංවිධානාත්මක අපරාධ හා දූෂණය පිළිබද වාර්තා කිරීමේ ව්‍යාපෘතිය නමැති අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානය, මේ වසරේ අගෝස්තු මාසයේ පළ කළ වාර්තාවකින්ද අදානි සමාගම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අයථා ගණුදෙනු හා විවිධ අකටයුතුකම්වල නිරත වෙන බවට චෝදනා කර තිබේ. විශේෂයෙන්ම කොටස් ගණුදෙනුවල දී අයථා ලෙස අදානි සමාගමට ලාබ අත්කර ගැනීම සඳහා විවිධ පුද්ගලයන් යොදා ගනිමින් හා විවිධ පාර්ශ්වයන්ට මුදල් වැයකරමින් මෙවැනි ක්‍රියාකාරකම් සිදුකොට ඇති බව OLALARP වාර්තාව සඳහන් කරයි. මෙහි අඩංගු කරුණු ද අදානි සමාගමේ නීති අංශ මගින් අභියෝගයට ලක් කොට තිබේ.
ඇමෙරිකානු චෝදනා ගොනුවීම
නිව්‌යෝක් දිසා අධිකරණය හමුවේ අදානි සමාගමට චෝදනා ගොණුකර ඇත්තේ, ඇමෙරිකානු ඩොලර් මිලියන 250 කට අධික මුදලක් භාවිත කරමින් ඉන්දීය රජයේ නිලධාරීන්ට අල්ලස් ලබාදී විවිධ විශාල ව්‍යාපෘති ලබා ගනිමින් ඒවා හරහා ඇමෙරිකානු මූල්‍ය වෙළෙඳපොළ හා ආයෝජක ප්‍රජාව මුලාකොට ඇමෙරිකාවෙන් අයථා ලාබ ලැබීමේ වංචනික ක්‍රියාවලියක අදානි සමාගම යෙදී ඇති බවයි. මෙය අපරාධමය චෝදනා ගොනු කිරීමකි. අදානි සමාගමටට මුහුණ දීමට සිදුවු ප්‍රථම මහා පරිමාණ අන්තර්ජාතික අභියෝගය මෙයයි. මේ හරහා අදානි සමාගමට දේශීය හා අන්තර්ජාතික වශයෙන් ඉතා බරපතළ අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇත.
අදානි සහ මෝදි
ඉන්දීය විපක්ෂය මගින් අගමැති නරේන්දු මෝදි මහතාට සහ පාලක භාරතීය ජනතා පක්ෂයට එල්ල කරන ප්‍රධාන චෝදනාවක් වන්නේ, අදානි සමාගමට ඉතා බරපතළ අන්දමින් රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන බවයි. ඉන්දියාව තුළ අදානි සමාගම ලබා ඇති ප්‍රධාන පෙළේ කොන්ත්‍රාත් බොහොමයක් 2014 මෝදි පාලනය ඇරඹීමෙන් පසුව ලබාගත් ඒවා බවට ඉන්දීය කොංග්‍රස් පක්ෂය චෝදනා කරයි. ඉකුත් බ්‍රහස්පතින්දා ඉන්දීය පාර්ලිමේන්තුවේදී ද විපක්ෂ නායක රාහුල් ගාන්ධි ප්‍රමුඛ මන්ත්‍රීවරු රජයට දැඩි ලෙස දෝෂාරෝපණය කළහ. මෝදි රජය අදානි හා සමීපව සිටින බවත් අදානි භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබල ආධාරකරුවකු බවත් සැබෑවකි. එමෙන්ම අදානි ක්‍රියාත්මක කරන විදෙස් වෙළෙඳපොළ ජයගැනීමේ මෙහෙයුම්, මෝදි රජයේ ආර්ථික ප්‍රතිපත්තිය හා සමපාත වෙන බවද පිළිගත් කරුණකි. අදානි සම්බන්ධතා ගැන එල්ල වෙන චෝදනා සම්බන්ධයෙන් අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය පවසන්නේ, අදානි සමාගම වර්තමානයේ ඇති අපවාදයන්ගෙන් ගැලවීමට ඔවුන් විසින්ම ක්‍රියාත්මක විය යුතු බවයි. රජය කිසිසේත් අදානි සුරැකීමට ඉදිරිපත්ව නැති බව භාරතීය ජනතා පක්ෂය පවසයි.
අදානි හා ශ්‍රී ලංකාව
හින්දු පුවත්පත මෙරට ක්‍රියාකාරීන් හා කරන ලද සම්මුඛ සාකච්ඡාවක් පදනම් කර ගනිමින් පළ කරන ලද වාර්තාවක දැක්වෙන්නේ, අදානි ව්‍යාපෘති ගැන ශ්‍රී ලංකාව ද වඩාත් කල්පනාකාරී විය යුතු බවයි. අදානි සමාගම මෙරට පුනර්ජනනීය බලශක්තිය වැඩි දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 440ක ආයෝජන යොදා ගනිමින් 20 අවුරුදු සුළං බලශක්ති ව්‍යාපෘතියක් මන්නාරම හා පුනරින් ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග පවා පැවතිණ. නව රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ, අදානි ව්‍යාපෘති සඳහා ඇතිකරගනු ලැබූ ගිවිසුම් යළි විමසුමකට ලක් කළ යුතු බවයි. දැනට අදානි සමාගමට මුහුණ දීමට සිදුව ඇති අන්තර් ජාතික තත්ත්වයන් යටතේ එවැනි විමර්ශනයක් සිදු කිරීමකට ඇති ඉඩහසර වඩාත් පහසු
කරනු ඇත.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 2006 - 2012 කාල වකවානුව සිහිපත් කරන විට මට සිහිවන්නේ හංස සංදේශයේ කාව්‍යයකි.
ජාත්‍යන්තර සංක්‍රමණ නීති අනුව මුහුදු මගින් එන යම් සරණාගතයකු ආපසු තම රටට යාම ප්‍රතික්ෂේප කළහොත් ඔහු ගොඩ බැස සිටින රටේම සරණාගතයකු ලෙස සිටීමට අවසරය ඇත. ඉ
න්‍යායික තලයේදි මාධ්‍ය සමග ගනුදෙනුව ගැන ආණ්ඩුවට හොඳ දැනුමක් තිබුණත් ප්‍රායෝගික තලයෙදි යම් ආගන්තුකභාවයක් පෙන්නුම් කරනවා.
මොනරාගල මාගන්දනමුල්ල ප්‍රදේශයේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මොලේ
කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු ආචාර්ය, විද්‍යා ලේඛක තිලක් වීරසිංහ ගේ තෙමස් පූර්ණ සමරුව මේ සති අන්තයට යෙදෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
සැබෑ නම ‘ප්‍රියා සූරියසේන’ වුවද බොහෝ දෙනා ඔහු ඇමතුවේ ‘ප්‍රියා’ යන ආදරණීය නාමයෙනි. ඒ ඔහු ගැයූ ගීත සහ ආදරණීය හඬට දැක්වූ ආදරය නිසාවෙනි. ප්‍රේමය - විරහ වේදන
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අදානි බළකොටුවට ඇමරිකානු ප්‍රහාරයක් මොදිටත් රිදෙයිද?