IMG-LOGO

‘ගෝඨාගෝගමට’ ගැහුවාට දේශබන්දු සැකකරුවෙක් කරයි

(මනෝප්‍රිය ගුණසේකර)

‘ගෝඨාගෝගමට’ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු ලෙස නම් කරන ලෙස උපදෙස් දෙමින් නීතිපතිවරයා විසින් නිකුත් කරන ලද ලිපිය බලරහිත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව නීතීපතිවරයා ගොනු කළ පෙත්සමක් සැළකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියම කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කෙරිණි.

නීතීපතිවරයා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කර තිබිණී.

‘ගෝඨාගෝගම’ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු ලෙස නම් කරන ලෙස උපදෙස් දෙමින් නීතිපතිවරයා විසින් 2023 අප්‍රේල් 19 වැනිදා අදාල ලිපියක්  නිකුත් කළ අතර එම ලිපිය නිකුත් කිරීමට එරෙහිව  දේශබන්දු තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කෙරිණී.

එම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ අභියාචනාධිකරණ විනිසුරු ඒ. එම්.  ආර් මරික්කාර් මහත්වරුන් හමුවේ විභාගයට ගැනීමෙන් අනතුරුව 2024 ජූනි 26 වැනිදා තීන්දුව ප්‍රකාශ පත් කරමින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු ලෙස නම් කරන ලෙස උපදෙස් දෙමින් නීතිපතිවරයා නිකුත් කළ ලිපිය බලරහිත කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අදාළ සිද්ධියේ සැකකරුවෙකු නොවන බවට කොටුව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දෙන ලෙස රහස් පොලිස් අධ්‍යක්‍ෂවරයාට නියෝගක්ද නිකුත් කළේය.

එම සිද්ධීන් සම්බන්ධයෙන් එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ආඥාවක්ද නිකුත් කෙරිණ.
අභියාචනාධිකරණයේ එම තීන්දුවට එරෙහිව නීතීපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සමේ වගඋත්තරකරුවන්ගේ නම් සංශෝධනය කර නොතිබීම සම්බන්ධයෙන් වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති  නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළේය.

ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂී හේරත් මහත්මිය කරුණු දැක්වීමෙන් අනුව අනතුරුව අදාළ මූලික විරෝධතාවය ඉවත දැමු විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීමට තීරණය කළේය.

පෙත්සම සලකා බැලු අවස්ථාවේදී පෙත්සම්කාර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටිමින් කරුණු දැක්වු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුහර්ෂී හේරත් මහත්මිය සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් රහසිගත කවරයක බහා ඉදිරිපත් කළ විමර්ශන වාර්තා කිසිවක් පිළිබඳව අවධානය යොමු නොකර අදාළ තීන්දුව දීමට එවකට සිටි අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා කටයුතු කර ඇතැයි කීවාය.

පෙත්සම්කරු ඉල්ලා නොසිටි සහනයන්ද අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරුවරයා විසින් ලබාදී ඇතැයි පෙන්වා දුන් නියෝජිත ජනරාල්වරිය සුහර්ෂී හේරත් මහත්මිය නීතිපතිවරයා ඉදිරිපත් කළ කිසිදු කරුණක් සැලකිල්ලට නොගෙන අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරුවරයා තීන්දුව දීම හේතූවෙන් අගතියක් වී ඇතැයිද කීවාය.

එසේම යම් සිද්ධියකට අදාළව පොලිසිය කරන විමර්ශන වලදී ඔවුන් ඉල්ලා සිටින අවස්ථාවක උපදෙස් හෝ නියෝග දීමට නීතිපතිවරයාට බලය ඇතැයි පෙන්වා දුන් සුහර්ෂී හේරත් මහත්මිය වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා රහස් පොලිසියට උපදෙස් දී ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊට පෙර දුන් නියෝගයකට අනුව බවද පෙන්වා දුන්නාය.

දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා රහස් පොලිසියට උපදෙස් දුන් ලිපිය බලරහිත කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අසාධාරණ සහ නීතියට පටහැනි බවද  නියෝජ්‍ය  සොලිසිටර් ජෙනරාල් සුහර්ෂී හේරත් මහත්මිය පෙන්වා දුන්නාය.

වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් පොලිසියට  නියෝග නිකුත් කිරීමේ හැකියාවක් නීතිපතිවරයාට නොමැති බවද යම් විමර්ශනයකට අදාළව සැකකරුවන් නම් කිරීම හෝ නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙන් තීරණය කිරීම් බලය ඇත්තේ අදාළ සිද්ධිය විමර්ශනය කරන විමර්ශන නිලධාරියාට හෝ රහස් පොලිසියට බවද කීය.

එසේ තිබියදී නීතිපතිවරයා දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු ලෙස නම් කරන ලෙස නියෝග කරමින් නිකුත් කර ඇති ලිපිය නීතියට පටහැනි බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේය.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම විශේෂ අභියාචන පෙත්සම නොවැම්බර් 25 වැනිදා විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අවසන් වන තෙක් අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම අත්හිටවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.



අදහස් (0)

‘ගෝඨාගෝගමට’ ගැහුවාට දේශබන්දු සැකකරුවෙක් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 624 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site