(රංජන් කස්තුරි)

පොලිස් වැටලීම් රැසකින් සොයාගත් ව්‍යාජ මත්පැන් බෝතල්වල ඇලවීම සදහා ආරක්ෂිත ස්ටිකර විශාල තොගයක් ජාවාරම්කරැවන් අතට පත්වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරභකර තිබේ.

මාලබේ, සුදර්ශන මාවතහි පිහිටි වතුර බෝතල් අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් ඉකුත්දා වැටලූ පොලිසිය එහි තිබී නීතී විරෝධීව නිපදවන ලද මත්පැන් ලීටර 3345 ක් සමග පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත්හ.

එය මත්පැන් බෝතල් 18575 ක ප්‍රමාණයක් වන අතර මෙම සියළු නීති විරෝධී මත්පැන් බෝතල් වල ආරක්ෂිත ස්ටිකර් අලවා තිබීම පොලිසියේ විශේෂ විමර්ෂණයට ලක් වී ඇතැයි සුරාබදු දෙපා ර් තමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

ඒ අනුව සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත මඩකලපුව, එරාවූර් හා කරදියනාරු යන ප්‍රදේශවලද පොලිසිය විසින් වැටලීම් සිදු කර වෙළදපොල වෙත නිකුත් කර තිබූ තවත් නීති විරෝධි මත්පැන් බෝතල් තොගයක් අත් අඩංගුවට ගත් බවද ඹහු කීවේය.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ නීති විරෝධී මත්පැන් තොගයේ අලවා තිබූ ආරක්ෂිත ස්ටිකරය නීත්‍යානුකූලව සමාගම මගින් හෝ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ලබා ගත් ඒවාදැයි යන්න පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනු ඇතැයිද හෙතෙම සදහන් කළේය.