(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 2026 වාර්ෂික ශාස්ත්‍රීය සම්මේලනය හෙට 11 සහ 12 යන දෙදින කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

හදිසි වෛද්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම, හදිසි වෛද්‍ය විද්‍යාවේ නවතම දැනුම, පර්යේෂණ හා අත්දැකීම් හුවමාරු කරගැනීම මෙන්ම එම ක්ෂේත්‍රයේ වෘත්තීය හා ශාස්ත්‍රීය කටයුතු ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම සම්මේලනය පැවැත්වෙයි.

හදිසි වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජාතික මට්ටමේ ප්‍රමුඛතම ශාස්ත්‍රීය වේදිකාවක් ලෙස සැලකෙන මෙම සම්මේලනය සඳහා හදිසි වෛද්‍ය විශේෂඥයන්, අනෙකුත් වෛද්‍ය විශේෂඥයන්, සෞඛ්‍ය වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වකරුවන් මෙන්ම දෙස් විදෙස් සෞඛ්‍ය විශේෂඥයන් රැසක්  සහභාගී වීමට නියමිතය.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ  මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් මහතා ගෞරවනීය ආරාධිතයා ලෙස මීට සහභාගී වෙයි.