
(චමිල් රූපසිංහ)
ශ්‍රෝණියෙන් එකට බද්ධ වී සිටි (ලිනුලි හා ලිතුලි ) නිවුන් දරුවන් දෙදෙනකු සාර්ථකව වෙන් කිරීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ, සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරු කණ්ඩායමක් සමත්වූහ.
එක් දරුවෙකුට පමණක් පිහිටා තිබූ වකුගඩු 02 න් එකක් ගලවා ඉවත්කර එය අනෙක් දරුවාට සාර්ථකව බද්ධ කිරීම මෙහිදී වෛද්‍යවරු කටයුතු කළහ.
එවැනි සැත්කමක් ලොව සිදුකර තිබෙන්නේ ප්‍රථම වතාවට බව පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචර්ය මාතුල හෙට්ටිආරච්චි මහතා කීය.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද කන්දඋඩ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් 2021 වසරේදී සිසේරියන් සැත්කමක් මගින් මාවනැල්ලේ පදිංචි මවකගේ කුසින් පිටතට ගෙන තිබෙන මෙම බද්ධ නිවුන් දරුවන් 2024 දී වකුගඩු බද්ධ කිරීමේ සැත්කමට ලක්කර තිබේ.
වකුගඩු ක්‍රියාකාරීත්වය සාමාන්‍ය තත්ත්වට පත්වීමෙන් පසු දරුවන් වෙන් කිරිමේ සැත්කම සිදුකර තිබෙන්නේ ජූනි මස 10 වැනිදාය.
එදින සිට දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලද දරුවන් දෙදෙනා ඉදිරි දින කිහිපයේදී සාමාන්‍ය වාට්ටුවකට යොමු කළ හැකි බව මාතුල හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය බන්දුල සමරසිංහ මහතා පැවසුවේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ළමා වකුගඩු බද්ධ කිරීමේ 200 ක් පමණ මේ වනවිට සිදුකර තිබෙන බවත් මෙම සැත්කම සාර්ථකව සිදු කිරීමට එම අත්දැකීම් ඉතා ප්‍රයෝජනවත් වූ බවයි.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අශානි රත්නායක මහත්මිය අදහස් දක්වමින් මෙම දරුවන් සැත්කමට ලක් කිරීම සඳහා පෙරවරු 7.00 සිට රාත්‍රි 9.00 දක්වා දීර්ඝ කාලයක් සිහිනැති කර තබා ගත් බවත් ඔවුන්ගේ හෘද වස්තුව, පෙනහළු, රුධිර සංසරණ පද්ධතිය හා මොළය හොඳින් ක්‍රියා කිරීම සැත්කම සාර්ථක කර ගැනීමට පිටුබලයක් වූ බවත් පැවසුවාය.
සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍ය අකලංක ජයසිංහ මහතා මෙම දරුවන් දෙදෙනා සම්බන්ධ වී තිබුණු ශ්‍රෝණි මේඛලාවේ අසාමාන්‍ය පිහිටීමක් දක්නට ලැබුණු බවත් කකුල් පිහිටා තිබුණේ හරස් අතට බවත් පැවසුවේය.
මෙම සැත්කම සඳහා විශේෂඥ වෛද්‍යවරු 15 දෙනෙකු ඇතුළු 30 ක පමණ කණ්ඩායමක් සම්බන්ධ වී තිබේ.
දරුවන් මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඉදිරියේදී ඔවුන්ට තවත් සැත්කම් කිහිපයක් සිදු කිරීමට තිබෙන බවත් මාතුල හෙට්ටිආරච්චි මහතා කීය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති නිර්වින්ද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සමන් නනායක්කාර, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සේනක නවනැලිය, නිර්වින්ද විශේෂඥ වෛද්‍ය කවිෂා දිසානායක යන මහත්මීන්ද මෙහිදී අදහස් දැක්වූහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි සතුටුයි. දරුවන් දෙදෙනාම නිදුක් නීරෝගීව චිරාත්කාලයක් යෙහෙන් වැජඹේවා. මේ පිනෙන් ශල්‍යකර්මය සාර්ථකව ඉටුකළ දොස්තර මහත්ම මහත්මීන් ඇතුළු කාර්යමණ්ඩලයටද නිදුක් නිරෝගී සැප ලැබේවා චිරාත්කාලයක් යෙහෙන් වැජඹේවා.