(අංජුල මහික වීරරත්න)

මෙම නොවැම්බර් සිට 2027 ජනවාරි දක්වා කාලයේ ඉතා ප්‍රබල 'එල් නිනෝ' තත්ත්වයක් වර්ධනය වීමේ 63% සම්භාවිතාවක් පවතින බව පුරෝකථනය කර ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇමරිකානු, ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය (NOAA) අනුව, 'එල් නිනෝ" තත්ත්වය ඉතා ප්‍රබල මට්ටමකට නොපැමිණීමේ සම්භාවිතාව දළ වශයෙන් තුනෙන් එකක් පමණ පමණ වේ.

වර්තමානයේ "එල් නිනෝ ' තත්ත්වය ආරම්භ වී ඇති අතර එය දුර්වල මට්ටමක පවතින බව වර්ගීකරණය කර ඇත.

ජූලි සහ අගෝස්තු මාස වලදී, විශේෂයෙන් වියළි කලාපීය ප්‍රදේශවල, සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ඇති විය හැකි බවත්

ඔක්තෝබර් මාසයෙන් පසුව  සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ධනාත්මක ඉන්දියානු සාගර ද්විධ්‍රැවීය තත්ත්වයක් (Indian Ocean Dipole-IOD) වර්ධනය වුව හොත්, දෙසැම්බර් මාසය දක්වා වැඩි වර්ෂාපතන තත්ත්වයන් පැවතිය හැකි බවද කාලගුණය කියයි.

ජුලි සහ අගෝස්තු මාසවල ජල සම්පත් කළමනාකරණය සඳහා සුදුසු පියවර ගැනීම අවශ්‍ය වන අතර ඔක්තෝබර් මාසයෙන් පසුව අපේක්ෂිත වැඩි වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර හා නායයෑම් වැනි අවදානම් තත්ත්වයන් ඇති විය හැකි බැවින්, ඒ සඳහා පෙර සුදානම සහ නිරන්තර නිරීක්ෂණය අවශ්‍ය වෙතියි පුරෝකතනය කෙරෙයි.

මෙම පුරෝකථන කෘෂිකර්මය, ජල කළමනා කරණය, පශු සම්පත්, සෞඛ්‍ය, බලශක්ති සහ දේශගුණි වෙනස්කම් වලට සංවේදී අනෙකුත් අංශ සඳහා වැදගත් වේ.