(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානයට පහරදීමට ඇමෙරිකානු හමුදාව සමග එකතු වීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදාවද සූදානම් යැයි එරට අගමැති බෙන්ජමින් නෙදන්යාහු, ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් සහ මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඊයල් සමීර් පසුගියදා ප්‍රකාශ කළේය.

ඇමෙරිකාව සහ ඉරානය අතර නැවතත් යුද ගැටුම් ආරම්භ වී ඇතත් තවමත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ඊට සම්බන්ධ වී නොමැත.

කෙසේ නමුත් පසුගියදා පැවැති ඊශ්‍රායල ආරක්ෂක හමුදා ගුවන් නියමුවන්ගේ උපාධි ප්‍රධානෝත්සවයකදී අගමැති නෙදන්යාහු ඇතුළු පිරිස මේ බව පවසා ඇත.

ඉරාන යුද්ධය තවමත් අවසන් වී නොමැති බවත් ඉරානයට එරෙහි ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ වඩාත් වැදගත් මෙහෙයුම් ඉදිරියේදී ක්‍රියාත්මකවීමට නියමිත බවත් ඒ සඳහා සූදානම්ව සිටින ලෙස සියලු දෙනාට දැනුම් දෙන බවත් මාණ්ඩලික ප්‍රධානියා ගුවන් නියමුවන් අමතමින් ප්‍රකාශ කර තිබිණි.