IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අස්ගිරි අනු නාහිමිගේ අභාවය පිරිමැසිය නොහැකි පාඩුවක්

(අංජුල මහික වීරරත්න)

දෙස් විදෙස් රටවල ආගමික හා ශාස්ත්‍රීය කටයුතු කරමින් මහත් ශාස්ත්‍රීය කාර්යභාරයක් ද ඉටුකළ ආනමඩුවේ ධම්මදස්සි අනු නාහිමියන්ගේ අපවත් වීම පිරිමැසිය නොහැකි පාඩුවක් බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ශෝක පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නීය.

අග්‍රාමාත්‍යවරිය මෙසේද සඳහන් කරන්නීය.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නායක හිමිපාණන් වහන්සේ ගේ අපවත්වීම පිළිබඳ පුවත අසා මා මහත් සංවේගයට පත් වුණෙමි. 

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දරව වැඩ විසූ උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික වඳුරාගල ශ්‍රී රතනජෝති මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1976 මැයි මස 19 වැනිදා ආණමඩුවේ ධම්මදස්සි නමින් පැවිදිබිමට පත් උන්වහන්සේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථ ශ්‍රී ඥානේශ්වර පිරිවෙණින් මූලික පැවිදි අධ්‍යාපනය ලබා  අස්ගිරි මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී 1979 මැයි 20 වැනිදා උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මාහිමිපාණන් වහන්සේගේ සහ වඳුරාගල රතනජෝති මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් හාල්යාලේ ශ්‍රී සුමනතිස්ස අනුනාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලැබූහ. 

දෙස් විදෙස් බෞද්ධ ජනතාව වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් සිදු කළ උන්වහන්සේ කටුගස්තොට ගොහාගොඩ, ලියන්ගස්තැන්න පුරාණ විහාරස්ථ ශ්‍රී රතනපාල දහම්පාසලේ ප්‍රධානාචාර්ය ධුරය ද දරමින් ප්‍රදේශයේ හොඳම දහම් පාසල බවට පත් කිරීමට පියවර ගත්හ.

මහනුවර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපතිධුරය මෙන්ම මහනුවර දිසා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපතිධුරය ද සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප සභාපති තනතුර ද හොබවමින් මහඟු මෙහෙවරක් සිදුකළ උන්වහන්සේ  1986 දී මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් පාසල් ගුරු සේවය ඇරැඹූහ.

ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කථිකාචාර්යවරයෙකු ලෙස ද අනතුරුව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධූරයට පත් ව දොළොස් වසරකට ආසන්න කාලයක් එහි සේවය කළහ.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නාහිමියන් වෙතින් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ කර්මාචාර්ය පදවියෙකින් පිදුම් ලැබූ ආණමඩුවේ ධම්මදස්සි නායක හිමියන්,  2002 ජූලි 30 වැනිදා උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් විංශද්වර්ගික කාරක මහා සංඝ සභාවේ කාරක සභික ධුරයටත්,  2008 මාර්තු 01 වැනිදා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ විංශද්වර්ගික කාරක මහා සංඝ සභාවේ යෝජනා ස්ථිරත්වයෙන් ප්‍රධාන ලේඛකාධිකාරි ධුරයට   ද පත් වුහ. 

උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක මාහිමියන්ගේ අනුමැතියෙන් 2010 දී මාස කීපයක් පුරා ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ තේවා කටයුතුවල නිරතවෙමින් උන්වහන්සේ  අස්ගිරි මහා විහාරයීය සම්භාවනීයත්වය හා සම්ප්‍රදායයන් ආරක්ෂා කළහ. 

ඉන්දියාව, පකිස්තානය, ඉන්දුනීසියාව, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, චීනය, කොරියාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ජපානය, ආදී රටවල ආගමික කටයුතු හා ශාස්ත්‍රීය කටයුතු සිදු කරමින්  මහත් ශාස්ත්‍රීය කාර්යභාරයක් ද ඉටුකළ   ධම්මදස්සි අනුනායක ස්වාමීන් වහන්සේ  2016 මැයි මස 05 වැනිදා ඓතිහාසික බදුලු මුතියංගන රජමහා විහාරාධිපති වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක මහා සංඝ සභාවේ දී  ස්වකීය විහාර පාර්ශ්වයේ 33 වන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙස ඒකච්ඡන්දයෙන් තේරී පත් වුහ. 

සංයමශීලි පෞරුෂයකින් හෙබි ශ්‍රද්ධා ශිලාදි ගුණවලින් යුත් ඍජු ,මෘදු ලක්ෂණවලින් ස්වකීය දිවිය ආලෝකවත් කරගත් සංඝ පීතෘන් වහන්සේ නමක් වූ අපවත් වී වදාළ  කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරාධිපති ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය අධ්‍යාපනපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත ධම්මදස්ස්‍යභිධාන  ස්වාමීන්ද්‍රයන් වහන්සේට  උතුම් නිර්වාණ සුවය අත්වේවායි ප්‍රාර්ථනා කරමි.



අදහස් (0)

අස්ගිරි අනු නාහිමිගේ අභාවය පිරිමැසිය නොහැකි පාඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site