(සුජිත් හේවාජුලිගේ)

කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් යන මහත්වරුන් අතර අැතිවූ බහින් බස්වීමක් හේතුවෙන් එහි නොසන්සුන් තත්වයක් අද (16) පෙරවරැවේ ඇති විය.

මේ සිද්ධිය ඇතිවූයේ ධීවර අමාත්‍යවරයා මන්ත්‍රීවරයා සහ අදාළ කමිටුවට සහභාගී වූ සිටි රාජ්‍ය නිලධාරින් අතර ඇති වූ බහින්බස්වීමක් පාලනය කිරීමට යෑමේදීය.

රාමනාදන් අර්චුනා මහතා රාජ්‍ය නිලධාරින්ගේ ක්‍රියා කලාප සහ රාජකාරිය සම්බන්ධයෙන් නුසුදුසු ආකාරයෙන් වදන් භාවිත කරමින් ඔවුන් විවේචනය කළ බව වාර්තා වේ.

ඒ අවස්ථාවේදී කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට පැමිණ සිටි රාජ්‍ය සේවකයෝ ඉන් පිටව ගියහ.

නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා උත්සහ කළද එය සාර්ථක වූයේ නැත.

කෙසේ වෙතත් රාජ්‍ය නිලධාරින් රැස්වීමෙන් ඉවත්ව යාමත් සමඟ ධීවර අමාත්‍යවරයා සහ මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අතර ඇති වූ බහින් බස්වීම ගැටුමක් දක්වා වර්ධනයවූ නමුත් පොලිසියේ මැදිහත්වීමෙන් එය පාලනය කෙරුණි.

කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (16) පෙරවරු 9.00 ට කිලිනොච්චි දිස්ත්‍රික් කුසලතා සංවර්ධන ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.