(අංජුල මහික වීරරත්න)

මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 2026 උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ඓතිහාසික කළුතර බෝධිය අභියසදී අද (09) පස්වරුවේ පැවැත්විණි.

උපසම්පදා විනයකර්ම මහෝත්සවය අද (09) සිට ජූලි 22 දක්වා කළුතර කළු ගඟේ ස්ථාපිත උදකුක්ඛේප සීමා මාලකයේදී පැවැත්වෙන අතර, සාමණේර හිමිවරුන් 400කට අධික පිරිසක් ඊට සහභාගි වීමට නියමිතය.

වසර තුනකට වරක් පැවැත්වීමට නියමිත මෙම රාජ්‍ය උපසම්පදා විනය කර්මය මෙවර පැවැත්වෙන්නේ වසර නවයකට පසුව වීම විශේෂත්වයකි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජනවාරි 01වනදා කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක මහා නා හිමි බැහැදැක නව වසරට ආශීර්වාද ලබා ගැනීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේ කළ ඉල්ලීමකට අනුව අමරපුර මහා නිකායේ උපසම්පදා මහෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු කෙරිණි.