(අජන්ත කුමාර අගලකඩ)

ඉකුත් වසරේ නිරවුල් නොකරන ලද බිල්පත් පියවීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා රජයේ ණය ගැනීමේ සීමාව රුපියල් කෝටි 35.300 කින් ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස 23 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද අතුරු සම්මත ගිනුම සංශෝධනය කිරීමේ යෝජනාවක් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නීතිපතිවරයාගේ අනුමැතිය ද මේ වනවිට ලබාගෙන තිබේ.

රුපියල් කෝටි 73,500 ක් ලෙස පැවැති රජයේ ණය සීමාව මේ අනුව රුපියල් කෝටි 1,08,800 දක්වා ඉහළ දැමෙනු ඇත.

ඒ අනුව අදාළ සංශෝධන යෝජනාව පාර්ලිමේන්තුවේ අවසන් රැස්වීම පැවැත්වෙන ලබන සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.

ඉකුත් වසර කිහිපය තුළ රජයේ යෝජනාවක් සහ සංවර්ධක කටයුතු වෙනුවෙන් වැය කරන ලද වියදම් වලට අදාළව නිරවුල් කර නැති රුපියල් කෝටි 15,600 ක බිල්පත් සහ ගිනුම් ගත නොකරන ලද විශේෂ ණය රුපියල් කෝටි 21,100 ක් ද ඇතුළු රුපියල් කෝටි 36,700 ක වගකීම් නිරවුල් කිරීම වෙනුවෙන් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

ඉකුත් ආණ්ඩුව සමයේ ගැනුම්කරුවන්ට කොන්ත්‍රාත්කරුවන්ට හා සේවා සැපයුම්කරුවන්ට නොගෙවා ඇති බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි 52,400 ඉක්මවන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ කළේය.