
(යොහාන් භාසුර)
සුදු සහ දුඹුරු සීනි වර්ග දෙකේම උපරිම සිල්ලර මිලට වඩා රුපියල් 20 ත් 30 ක් අතර ඉහළ මිලකට අද (23) වන විට සීනි අළෙවි කරයි.
සුදු සහ දුඹුරු සීනි කිලෝවක් රුපියල් 140 සිට 150 දක්වා සිල්ලර මිල ඉහළ ගොස් ඇති අතර වෙළෙදුන් අභිමතය පරිදි සීනි අළෙවි කරන තත්වයක් මේ වන විට උද්ගත වී ඇති බව පාරිභෝගිකයෝ චෝදනා කරති.
සීනිවලට උපරිම සිල්ලර මිලක් නියමක කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගිය සැප්තැම්බර් මස 2 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
ඒ අනුව පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125 ක් සහ පැකට් කළ දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 128 ක් ලෙස ද, පැකට් නොකළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 122 ක් සහ පැකට් නොකළ දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125 ක් බව ද රජය නිවේදනය කළේය.
ආනයනික සුදු සීනි කිලෝවක උපරිම තොග මිල රුපියල් 116 ක් බවට එම ගැසට් නිවේදනයේ සඳහන්ව තිබුණි.
COMMENTS
දැන් මේ රටේ තනිකරම තියෙන්නේ අරාජකත්වයක්. ජනාධිපති ප්‍රමුඛ රජය ඇවිල්ලා හරියට මොළය මිය ගිය යන්ත්‍රවලින් ශරීරය වැඩ කරන රෝගියෙක් වගේ. එහෙන් වෙළඳ පාතාලය තමන්ට හිතූ හිතූ විදියට බඩු මිල හසුරවනවා. කම්පණිකාරයො සහ මුදලාලිල සෙට් එකක් තමා රට පාලනය කරන්නේ. යන්තම් පැහැදිලි අනාගතයක් සඳහා දැන් රට හැර යාම තමා එකම විකල්පය බවට පත් වෙලා තියෙන්නේ
පහුගිය අව්රුදු දෙකට ගහපු ගැසට් ප්‍රමාණයේ උස දැන් පිදුරුතලාගල කන්දටත් වඩා උස ඇති. ඉස්සර ගැසට් එකක් කිව්වාම ලොකු බලයක් තිබ්බ ලියවිල්ලක්. මේ ජනාධිපති සහ ආණ්ඩුව ගැසට් කියන එක පත්තරවල තියෙන විහිළු කතා කොටසෙ තත්වයට පත් කලා.