(සුජිත් හේවාජුලිගේ)
කොළඹ වරාය නගරයට අයත් හෙක්ටයාර් 446.61 ක් විශාල භූමිය ශ්‍රී ලංකාවේ භූමියට ඇතුළත් කර නව සිතියමක් සකස් කර සම්මත කරන ලෙස හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරයි.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සම්මත කිරීමේදී සිදුවූ ඓතිහාසික වරද්ද නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටී.
රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ මෙසේද සඳහන් වේ.
ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා,
ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය.
කොළඹ 01.
ගරු ජනාධිපතිතුමනි,
ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 1955 අංක 22 දරණ පරිපාලන දිස්ත්‍රික්ක පනත සහ 2021 අංක 11 දරණ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා
1.1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමුවන ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයකි.
2.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා ජනරජය ඒකීය රාජ්‍යයකි.
3.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පස්වන ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා ජනරජයට අයත් දේශය පරිපාලන දිස්ත්‍රික්ක විසිපහෙන් සහ ශ්‍රී ලංකා ජනරජයේ දේශීය ජල තීරයෙන් ද සමන්විත වන්නේය. පරිපාලන දිස්ත්‍රික්ක විසිපහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පලමුවන උපලේඛනයේ දක්වා ඇත.
4.එම පරිපාලන දිස්ත්‍රික්ක විසිපහේ සීමා මායිම් පරිපාලන දිස්ත්‍රික්ක පනතේ උපලේඛනයේ දක්වා ඇත.
5.1955 අංක 22 දරණ පරිපාලන දිස්ත්‍රික්ක පනතේ තුන්වන වගන්තිය අනුව යම් පරිපාලන දිස්ත්‍රික්කයක සීමා මායිම් වල වෙනසක් සිදු කරන්නේ නම් එම දිස්ත්‍රික්කයේ සීමා මායිම් සංශෝධනය කිරීම පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත්කර සම්මත කිරීම මගින් සිදු කළ යුතු වේ.
6.කොළඹ කොටුවට සහ වරායට යාබද මුහුදු තීරය ගොඩ කර හෙක්ටයාර් 269 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා භූමියට ඈදාගෙන ඇති බවට ස්වදේශ කටයුතු අමාත්‍යංශය භාර අමාත්‍යවරයා 2019 අගෝස්තු 05 වන දින පලකරන ලද අංක 2135/13 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් එම කොටස කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට අයත් බවට ප්‍රකාශ කර ඇත. නමුත් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ 1වන උපලේඛණය අනුය එය හෙක්ටයාර් 446.61 ක් ලෙස දක්වා ඇත.
7.නමුත් පරිපාලන දිස්ත්‍රික්ක පනතේ තුන්වන වගන්තිය යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය භාර අමාත්‍යවරයා වෙත බලය ලැබී ඇත්තේ පවතින සීමාවන්හි යම් වෙනසක් සිදු වන්නේ නම් ඒ සඳහා ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයක් කොට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත්කර සම්මත කිරීම ගැනීම සඳහා මිස අළුතින් එකතු වූ භූමියක් සම්බන්ධයෙන් නොවේ.
8.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2, 3 සහ 5 යන ව්‍යවස්ථාවන් උල්ලංඝණය කරමින් සම්මත කර ගන්නා ලද 2021 අංක 11 දරණ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත මඟින් පහත සඳහන් නීති එම භූමියට අදාල නොමැති බවට එහි 3 වන උපලේඛණයේ සඳහන් කොට ඇත.
අ) කොළඹ මහ නගර සභා ආඥාපනත
ආ) නාගරික සංවර්ධන අධිකාරි පනත
ඇ) නගර සහ ග්‍රාම සැළැසුම් ආඥාපනත
ඈ) ආයෝජන මණ්ඩල පනත සහ තවත් පනත්
9.මින් පෙන්නුම් කරන්නේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත මඟින් පාලනය කරණු ලබන හෙක්ටයාර් 446.61 ක් විශාල භූමිය ශ්‍රී ලංකාවේ නීතිය යටතේ පාලනය නොවන වෙනම රාජ්‍යයක ස්රූපයේ පාලනයක් ඇති බල ප්‍රදේශයක් බවයි.
10.එම බල ප්‍රදේශයේ කරණු ලබන කිසිදු කාර්යයක් සඳහා කිසිදු බද්දක් ඔවුන් නොගෙවීම තුළින් සහ සියළු කාරණා සම්බන්ධයෙන් රජය විසින් බදු සහන ලබා දීම තුළින් එය සනාත වේ.
11.කොළඹ මහ නගර සභා ආඥාපනත, නාගරික සංවර්ධන අධිකාරි පනත සහ නගර සහ ග්‍රාම සැළැසුම් ආඥාපනත යන නීති වලින් එම ප්‍රදේශය බැහැර කර ඇති අතර කිසිදු වරිපනම් බද්දක් හෝ ගෙවීමට බැඳී නොමැත. එසේ බදු ගෙවන්නේ ද නැත. එහෙත් ඔවුන් කොළඹ මහ නගර සභාවෙන් කසළ බැහැර කිරීම සඳහා සහ වෙනත් කටයුතු සඳහා පහසුකම් ලබා ගනිමින් සිටී.
12.කොළඹ වරාය නගරය ආරම්භ කරන ලද්දේ කිසිදු පාරිසරික අධ්‍යයනයකින් තොරව බව ඔබ දන්නා අතර එම ව්‍යෘපෘතිය ආරම්භ කළ පසු ලෝකයේ නන් දෙසින් විශාල ආයෝජකයන් පැමිණ ඩොලර් බිලියන ගණනින් අයෝජනය කරණු ලබන බවටත්, එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය අධි වේගයෙන් සශ්‍රීකවන බවටත් එවකට පාලකයන් ප්‍රකාශ කළ බවත් සියලු දෙනාම දන්නා පොදු කරුණුය.
13.එහෙත් වර්තමාන ලෝකයේ පවතින බල අරගලයේ කොටස්කරුවන් සම්බන්ධ වන මෙම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වූ අපේක්ෂාවන් ඉටු නොවන බමට මා මෙන් ම ඔබද පැවසූ අනාවැකි මේවන විට මහ පොලවේ යථාර්ථය බවට පත්ව ඇත. එමඟින් අප සිදුකර ගෙන ඇත්තේ අව්‍යාජ ලෙස රටට සහාය ලබා දුන් රාජ්‍යයන් අපගෙන් ඈත්කර ගැනීමක් පමණි. අණාගතයේ ඊටත් වඩා භයානක සහ අනිටු ප්‍රතිවිපාක අපට අත් වීමට ද නියමිත ය.
14.කොමිස් මත යැපුන දූෂිත දේශපාලඥ්යන් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කරමින් ව්‍යවස්ථාදායක බලය ද අවභාවිතා කරමින් රටේ ඒකීයභාවය සහ සවෛරීත්වය පවා දෙමින් සිදු කළ ඓතිහාසික ද්‍රෝහිකම හේතුවෙන් අනාගතයේ ඇති වීමට ඉඩ ඇති ජාතික අනාරක්ෂිතභාවය තේරුම් ගෙන පහත සඳහන් නීතිමය ප්‍රතිසංස්කරණ නොවලහා ඉටු කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින අතර ඔබ රටේ ජාතික ආරක්ෂා ඇතුළු විධායකය මෙහෙයවීම සඳහා ජනතා පරමාධිපත්‍ය තාවකාලිකව දරණ ජනරජයේ ජනාධිපති ලෙස එම පියවරයන් ගැනීමට බැඳී සිටින බවද සිහිපත් කරමි.
අ). ඉහත කී හෙක්ටයාර් 446.61 ක් විශාල භූමිය ශ්‍රී ලංකාවේ භූමියට ඇතුළත් කර නව සිතියමක් සකස් කර සම්මත කර ගැනීම.
ආ) 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමුවන උපලේඛණය සංශෝධනය කරමින් කොළඹ වරාය නගරයේ හෙක්ටයාර් 446.61 ක් විශාල භූමිය කොළඹ දිස්ත්‍රික්කයට අයත් බව සහතික කිරීම.
ඇ) එකී භූමිය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ කොටසක් ලෙසට ඇතුළත් කොට 1955 අංක 22 දරණ පරිපාලන දිස්ත්‍රික්ක පනත සංශෝධනය කිරීම.
ඇ) එකී භූමිය කෙළඹ මහනගර සභා ආඥාපනතින්, නාගරික සංවර්ධන අධිකාරි පනතින්, නගර සහ ග්‍රාම සැළැසුම් ආඥාපනින්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතින් සහ අනෙකුත් පනත්වලින් බැහැර කර ඇති බවට 2021 අංක 11 දරණ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ ඇති විධි විධාන ඉවත් කරමින් එම පනත සංශෝධනය කිරීම.
ඈ) දිවයිනේ බොහෝ පරිපාලන දිස්ත්‍රික්කයන්හි සීමා මායිම් විශාල වශයෙන් මේ වන විට වෙනස් ඇති නමුත් ඒවා නීති ගත කිරීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පියවර නොගෙන තිබීම නිසා බරපතල නීතිමය සහ පරිපාලනමය ගැටලු මතු වී ඇති හෙයින් 1955 අංක 22 දරණ පරිපාලන දිස්ත්‍රික්ක පනත නිවැරුදි කර සංශෝධනය කිරීම සඳහා පියවර ගැනීම.
ඉහත සඳහන් 2021 අංක 11 දරණ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සම්මත කිරීමේදී එම පනතට පක්ෂව ලැබුනේ ජන්ද 149 ක් පමණ වන හෙයින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වන ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට පාර්ලිමේන්තුවේ නොපැමිනි මන්ත්‍රීවරුන් ද ඇතළුව 2/3 ජන්දයෙන් සම්මත වූ පනතක් ලෙස නොසැළකිය යුතුය. එම නිසා සිදු කළ යුතු වෙනස්කම් සිදු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිදු නෛතික භාධාවක් නොමැත.
කොළඹ වරාය නගර ආර්ථික ව්‍යාපෘතිය රජය සහ ආයෝජන සමාගම සමඟ ගිවිසුමක් මඟින් සිදු කිරීමට ද හැකියාව තිබූ නමුත් ඔවුන් පාර්ලිමේන්තු පනතක් මගින් එය සිදු කිරීමට පාලකයන් සූක්ෂම ලෙස පොළබවන ලද්දේ පාර්ලිමේන්තුවේ 2/3 බලයෙන් සම්මත කළ හොත් එම නීති ශ්‍රී ලංකාවට අවශ්‍ය අවස්ථාවකදී වුවද වෙනස් කිරීමට නොහැකි බවට පවතින බාධා නිසා ඔවුන්ට වඩාත් වාසි සහගත තත්ත්වයක් ලබා ගැනීමේ යටි අරමුණෙනි. එහෙත් මා එයට පක්ෂව ජන්දය නොදීම නිසා ජන්ද 150 ක් ලබා ගැනීමට නොහැකි විය.
එවකට සිටි පාලකයන්ට මෙම තත්ත්වය කොතෙක් පැහැදිලි කළ ද ඔවුන් තුළ තිබූ උද්ධජ්ජභාවය නිසාත්, රට ගැන හැඟීමක් නොතිබූ නිසාත් විදේශ බලවේගයක අතකොලුවක් බවට පත් වී එම අනර්ථය සිදු කරන ලදී. එම ඓතිහාසික වැරුද්ද නිවැරුදි කිරීම සඳහා ඔබ තුමාට කාලය පැමිණ ඇත.
මෙයට- විශ්වාසී
විජයදාස රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
විජයදාසගෙන් ජනපතිට ලියුමක්
උකුස්සා Saturday, 06 September 2025 04:33 PM
ජනාධිපතිතුමනි කල්පනාවෙන් ඔන්න හුඹසෙන් එලියට ආවා