සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

සියලු දෙනා එක්ව තෛපොංගල් උත්සවය සැමරීම පොදු මනුෂ්‍යත්වය සහ ජාතියක් ලෙස එකමුතුකමේ බලය පිළිබිඹු කරන බව කථානායක (වෛද්‍ය ) ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවේ පැවති ‍තෛයිපොන්ගල් සැමරුමේදී පැවසීය.

රටකට දියුණු විය හැක්කේ එහි ජනතාව සිය සංස්කෘතික විවිධත්වය රැකගනිමින් එකම ජාතියක් ලෙස පෙනී සිටින විට පමණක් බවද කථානායකවරයා අවධාරණය කළේය.

කතානායකවරයා මෙසේ පැවසුවේ පසුගිය 15 වන දිනට යෙදුණු තෛපොංගල් දිනය සැමරුම වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද (21) පැවති තෛපොංගල් උත්සවයේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා මහතාගේ ඉල්ලීම අනුව කථානායකතුමාගේ මඟ පෙන්වීම යටතේ මෙම සැමරුම සංවිධානය කෙරිණ . බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමග එක්ව මෙම උත්සවය සංවිධානය කළේය.

දෙමළ සංස්කෘතිය පිළිබඳ දැනුවත්භාවය සහ වටිනාකම් ප්‍රවර්ධනය කිරීම, දෙමළ ප්‍රජාවේ උරුමයන් සහ සම්ප්‍රදායන්ට ගරු කිරීම සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය තුළ ජාතික අනන්‍යතාවයක් පෝෂණය කිරීම ඇතුළු ප්‍රධාන අරමුණු කිහිපයක් පදනම් කරගෙන මෙම උත්සවය සංවිධානය කරන ලදී.

ඒ අනුව, අද උදෑසන ආගමික චාරිත්‍ර වාරිත්‍ර සමඟ ආරම්භ තෛපොංගල් උත්සවය දමිල සංස්කෘතික නැටුම් ගැයුම්වලින් අලංකෘත විය. මෙම උත්සවය අලංකාර කෝලම් රටාවන් සහ හින්දු ආගමික සැරසිලිවලින් වර්ණවත් වූ අතර සෞභාග්‍ය සහ කෘතඥතාව පිරිනැමීම සංකේතවත් කිරීම සඳහා සාම්ප්‍රදායික පොංගල් බත සකස් කිරීම සිදුවිය.

මෙම අවස්ථාවට මයුරපති කෝවිලේ හින්දු ආගමික පූජකවරු ද නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, සභානායක සහ අමාත්‍ය බිමල් රත්නායක, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද පාර්ලිමේන්තු මහ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න යන මහත්වරුන් පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.