අග්‍රාමාත්‍යවරයා අද (09) දින ධුරයෙන් ඉල්ලා අස් වන බවට වාර්තා පළවෙමින් තිබේ. එහෙත් එය කෙතෙක් දුරට ස්ථිරදැයි කිව නොහැක. එසේ වුවහොත් පවතින දේශපාලන සන්දර්භයෙහි හැඩතලය කෙසේ වෙනස් විය හැකිද යන්න තීරණය වන්නේ අගමැතිවරයාගේ ඉවත් වීම මත පමණක් නොවන බව ආරම්භයේදීම කිව යුතුය. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 වැනි වගන්තියෙහි අමාත්‍ය මණ්ඩලය ගැන සඳහන් විධිවිධානය නිසාය. එහි දැක්වෙන්නේ අගමැතිවරයා ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත් හෝ ඉල්ලා අස්වුව හොත් හෝ අමාත්‍ය මණ්ඩලයද විසිර යන්නේය යනුවෙනි. සරල අදහස නම්, ප්‍රකාශ වන පරිදි අද දින අගමැතිවරයා ඉල්ලා අස්වුව හොත් කැබිනට් මණ්ඩලයද අහෝසි වන බවය. ආණ්ඩුව ඉල්ලා අස්වන බවක් එයින් ඇඟවෙන්නේ නැත. ආණ්ඩුව යනු අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය පමණක් නොවන හෙයිනි. ජනාධිපතිවරයා ආණ්ඩුවේ නායකයාය. අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වුවද ජනාධිපතිවරයාට ආණ්ඩුවේ නායකයා වශයෙන් ආණ්ඩුව පවත්වා ගෙන යා හැකිය. ආණ්ඩුක්‍රමයේ මේ සුවිශේෂ ස්වභාවය දේශපාලන විද්‍යාවේදී හැඳින්වෙන්නේ නායකයන් දෙදෙනකුගේ ආණ්ඩුක්‍රමයක් ලෙසය. වෙනත් ආකාරයකට කියන්නේ නම් ජනාධිපති ආණ්ඩු ක්‍රමයේත් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයේත් ලක්ෂණ ගැබ්කොට ගත් අර්ධ ජනාධිපති ආණ්ඩුක්‍රමයකි. මුල් ව්‍යවස්ථාවෙන් ලබා දී තිබූ බලතල හා සමාන තත්ත්වයක් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට ලබා දී තිබේ.

වීදියේ ජන අරගලවල ප්‍රධාන ඉල්ලීමක් වී තිබෙන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස් විය යුතු බවය. ආණ්ඩුවද ඉල්ලා අස් විය යුතුය ආදී තවත් සටන් පාඨ කිහිපයක් ඒත් සමගම ප්‍රකාශ වන බව දැකිය හැකිය. ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් පෙනී සිටින මේ ජනඅරගලය සමාජයේ සෑම තීරුවකම නියෝජනයෙන් පුළුල් වී තිබේ. එහෙත් අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීම මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස මම නොදකිමි. වත්මන් අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊට පත් වන බවට තොරතුරු වාර්තා වෙමින් තිබේ. ඔහු මේ ධුරය භාර ගනු ඇතැයි මම නොසිතමි. තවදුරටත් රාජපක්ෂවරයකු ආණ්ඩුක්‍රමයේ රැඳී සිටීම සහ අගමැතිවරයා ඉවත් වූ පමණින් අර්බුදය අවසන් නොවන්නේය යන උපකල්පනය මත ඇති විය හැකි වෙනස සමාජය ඉල්ලා සිටින ආකාරයේ එකකැයි සිතිය නොහැකිය. නව අගමැතිවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස හෝ වෙනත් අයකු හෝ පත් වුවද අමාත්‍ය මණ්ඩලය සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් සකස් කර ගත්තද සමාජය ඉල්ලන ක්‍රමයේ වෙනස එයින් ප්‍රකාශ නොවන බව කිව යුතුය.

ජනඅරගලයෙහි නිරත පිරිස වත්මන් ක්‍රමය විශ්වාස නොකරති. එවැනි තත්ත්වයක කාඩ් කුට්ටමේ කොළ එහා මෙහා කිරීමෙන් මෙම අර්බුදය විසඳිය නොහැකිය. “කුට්ටම් සෙල්ලම් වානා” යන්න මේ අරගලයෙහි ප්‍රධාන සටන් පාඨයක් වී තිබෙන්නේ ද එහෙයිනි. ඔවුන්ගේ මුඛ්‍ය අවධාරණය ක්‍රමයේ වෙනසක් අවශ්‍යය යන්නය. එවැන්නක් සිදු නොවී හුදු අගමැති මාරුවකින් මේ අර්බුදය විසඳිය නොහැකිය. ඒ සඳහා සමස්ත ක්‍රමයේ වෙනසක් විය යුතුය. ඒ අරබයා ජනාධිපතිවරයා ද ධුරයෙන් ඉවත් විය යුතුය.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ගොඩනගා ඇති ආණ්ඩුක්‍රම ව්‍යුහය ඇතුළත ජනාධිපතිවරයා ඉවත් නොවී ගොඩනගන පාලනයක් අන්තර්වාර පාලනයක් බවට පත් වන්නේ නැත. අන්තර්වාර පාලනයක් නම් ඒ සඳහා පුළුල් ජනතා විශ්වාසයක් ඇති විය යුතු හෙයිනි. පවතින ක්‍රමය එලෙසින්ම ඉදිරියට ගෙන යෑම අන්තර්වාර පාලනයක ප්‍රධාන කර්තව්‍යය නොවේ. ඒ වෙනුවට විකල්පයක් වන තාවකාලික බල කඳවුරක් මීළඟ මහ මැතිවරණයෙන් නව ආණ්ඩුවක් බලයට පත් වන තෙක් පිහිටුවීම එවැනි අන්තර්කාලීන ආණ්ඩුවක මුඛ්‍ය අරමුණ විය යුතුය. ජනතාවගේ දැවෙන ප්‍රශ්න සඳහා විසඳුම් සැපයීමට එවැනි පාලනයක් සමත් විය යුතුය. එසේ පිහිටුවන අන්තර්වාර ආණ්ඩුවකට ජන අරගල ප්‍රජාවද ඇතුළුව සමස්ත සමාජයේත් ජාත්‍යන්තර ප්‍රජාවේත් විශ්වාසයද දිනා ගත හැකි විය යුතුය.

එවැනි තාවකාලික ආණ්ඩුවක රාජපක්ෂවරුන් මෙන්ම වංචා දූෂණවලට සම්බන්ධ පිරිස් නියෝජනය නොවිය යුතුය යන අවධාරණයද මෙම අරගලයෙහි තිබේ. හොරු යන්නෙන් මේ ආණ්ඩුවේ සිටින පිරිස් පමණක් ම නොව විපක්ෂයේ සිටින අයද අදහස් වෙයි. එබැවින් අලුතින් පිහිටුවන අන්තර්වාර පාලනය කාටත් පිළිගත හැකි පිරිසුදු පුද්ගලයන්ගෙන් සමන්විත විය යුතුය. හුදු ඔළු ගෙඩි මාරුවකින් දූෂිතයන් ඇතුළත් කර ගන්නා අන්තර්වාර පාලනයක් නම් පිහිටුවන්නේ ජනතාවට ඒ ගැන විශ්වාසයක් ඇති වන්නේ නැත. තමන් රවටමින් පවතින මජර දූෂිත ක්‍රමය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට දරන උත්සාහයක්ය යන අවබෝධයට ජනතාව පැමිණෙනු ඇත. අද දින සිට අන්තර්වාර පාලනයක් බිහිවන්නේ නම්, එය පවතින ක්‍රමය සහ හොරු ආරක්ෂා කරන එකකට වඩා වැඩි යමක් නොවනු ඇතිය යන්න  මගේ විශ්වාසයයි.

ජේ.ආර්. ජයවර්ධන ගොඩනැගූ ආණ්ඩුක්‍රම ව්‍යුහය ඇතුළත එදා සිට මේ දක්වා පාලන බලය හෙබවූ රාජ්‍ය නායකයෝ සිරවීමකට ලක්වූහ. එබැවින් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශාල අර්බුදයක් තිබෙන බව දැන්වත් තේරුම් ගත යුතුය. වර්තමාන රාජපක්ෂ පාලනය මෙන්ම ජනතාවද මේ ව්‍යවස්ථාමය අර්බුදයෙහි සිරවී සිටිති. වත්මන් ජනමතය පාර්ලිමේන්තුවේ නියෝජනය නොවේ. 2019 ජනාධිපතිවරණයේදී සහ 2020 මහ මැතිවරණයේදී බලයට පත් වූයේ එකම පක්ෂයේ කණ්ඩායමකි. එනම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. ලද ජනවරම ප්‍රයෝජනයට ගනිමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරමින් ජනාධිපති ධුරයෙහි බලතල වැඩි කර ගැනීමද සිදු විය. එහෙත් ගත වූ වසර දෙකක කාලයේදී තත්ත්වය උඩුයටිකුරු විය. වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා බලයට පත් කිරීම වෙනුවෙන් ක්‍රියා කළ පිරිස් අද ඒ ගැන විවෘතවම පසුතැවීමට ලක් වෙති. ඔවුහු ඒ බව ප්‍රසිද්ධියේ කියති.

නිදහසින් පසු ඉතා කෙටි කාලයක් ඇතුළත ජනඅප්‍රසාදයට පත් වූ ආණ්ඩුවක් නොමැති තරම්ය. ආණ්ඩුවට එරෙහි ජනඅරගලය නිර්පාක්ෂික එකක් වීමත් ජනතාව ඊට ස්වේච්ඡාවෙන් සහභාගී වීමත් මෙහි දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. ඉකුත් 6 වැනි දින පැවති හර්තාලයෙන් ද ඒ බව පැහැදිලි විය. ආණ්ඩුව මෙම අරගලය තේරුම් ගත යුතුය. ඇතැම්විට තේරුම් ගෙන තිබෙන්නට පිළිවන. එහෙත් බලය අතහැරීමට තිබෙන අකැමැත්ත පිළිබිඹු වෙයි. 2019 සහ 2020 මැතිවරණවලින් ආණ්ඩුවට ලැබුණු ජනවරම දැන් නැත. එහෙත් ව්‍යවස්ථානුකූලව තවදුරටත් ඔවුන්ට බලයේ සිටිය හැකිය. ඒ අනුව ජනාධිපතිවරයාට 2019 සිට වසර 5 ක්ද ආණ්ඩුවට 2020 සිට වසර 5 ක්ද බලයේ සිටීමට පුළුවන. කෙසේවුවත් දැන් ජනමතය වෙනස් වී තිබේ. එබැවින් අපට ජනවරම තිබෙන්නේය යැයි කීමට ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් නැත. රට ඉල්ලා සිටින දේ වෙනුවෙන් දැන් ආණ්ඩුව විවෘතව සවන් දිය යුතුය. එවැන්නක් පෙනෙන්නට නැත. ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ අගමැතිවරයා දංගෙඩියට දී සිය පැවැත්ම සුරක්ෂිත කර ගැනීමටය. ක්‍රමය අඛණ්ඩව පවත්වා ගෙන යෑමට ආණ්ඩුව උත්සාහ දරන බව එයින් පැහැදිලි වෙයි.

ජනඅරගලයේ ඉල්ලීම ප්‍රකාරව ජනාධිපතිවරයා ඇතුළුව සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස්වුව හොත් ඇති විය හැකි තත්ත්වය විමසා බැලීම වැදගත්ය. එවැනි අවස්ථාවක ජනාධිපති ධුරයේ තාවකාලිකව වැඩ බැලීම සඳහා පාර්ලිමේන්තුවෙන් කෙනකු බහුතර ඡන්දයෙන් පත් කර ගැනේ. එසේ පත් කර ගන්නා පුද්ගලයා කවුරුන් විය යුතුද? පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225ම ප්‍රතික්ෂේප කරන බව ජනඅරගලකරුවෝ කියති. ඒ අනුව පත්වන ජනාධිපතිවරයා ප්‍රමුඛ නව ආණ්ඩුව එම 225න් සමන්විත නොවිය යුතුය යන්නද අවධාරණය වෙයි. එවැනි පසුබිමක ව්‍යවස්ථාදායකය නියෝජනය නොකරන සමාජයේ පිළිගැනීමට පාත්‍රවූ සහ ආණ්ඩුකරණය ගැන යම් මට්ටමක අවබෝධයක් ඇති පිරිසක් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පත් කර ගැනීමට හැකිය. ඒ සඳහා ඒ ඒ දේශපාලන පක්ෂවලට ජාතික ලැයිස්තුවෙන් හිමි වී ඇති මන්ත්‍රී ධුර ප්‍රමාණයෙන් යම් සංඛ්‍යාවක් වෙන් කිරීමට සිදු වනු ඇත. එසේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර ගන්නා පිරිසෙන් කෙනෙක් ජනාධිපති ධුරයට පත් කර ගැනීම සිදු විය යුතුය.

වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයකම සාපේක්ෂ වශයෙන් වංචා දූෂණ චෝදනා නැති පිරිසුදු කිහිපදෙනෙක් සිටිති. එහෙත් ඒ සීමා සහිත පිරිසකි. එබැවින් මන්ත්‍රීවරුන් 225 දෙනාම ගෙදර යා යුතු යැයි මම නොකියමි. ඔවුන්ගෙන් කෙනකු ජනාධිපති ධුරයේ වැඩ බැලීම සඳහා පත් කර ගත නොහැකිය. එක් පක්ෂයක කෙනකු ජනාධිපති ධුරය වැනි බලසම්පන්න ධුරයකට පත් වීම සෙසු පක්ෂ නුරුස්නා හෙයිනි. පුද්ගල රෝපිත ප්‍රශ්නයක් මෙහි තිබේ. සියලු පක්ෂ කටයුතු කරන්නේ බල ආකෘතියක් අනුවය. මීළඟ ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණය හෝ ජයග්‍රහණය කිරීමට නම් මේ බල මධ්‍යස්ථානවල සිටිය යුත්තේ තම පක්ෂයේ අපේක්ෂකයකු යැයි සියලු පක්ෂ සිතන නිසාය. අනෙක් හේතුව නම්, සිය පක්ෂයේ නියෝජිතයකු ජනාධිපති වැනි ධුරයක සිටිය හොත් තමන්ගේ දූෂණ වංචා යට ගැසිය හැකි යැයි සිතන නිසාය. එබැවින් ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් සහ ඒ සඳහා දැනට පාර්ලිමේන්තුවේ සිටින අයකු වැඩ බලන ජනාධිපතිවරයකු පත් කර ගැනීම සිදු වුව හොත් ඒ අරබයා දේශපාලන පක්ෂ අතර යම් ආකාරයක කඹ ඇදිල්ලක් සිදු වීමට ඉඩ තිබේ.

විය යුතු සුදුසුම දේ නම් කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති විශ්වසනීය පුද්ගලයෙක් පිටතින් පාර්ලිමේන්තුවට ගෙනැවිත් ජනාධිපති ධුරයෙහි වැඩ බැලීම සඳහා පත් කර ගැනීමය. එසේ පත් වන පුද්ගලයාට සියලු පක්ෂ නියෝජනය වෙන වඩාත් හොඳ අයගෙන් සමන්විත සීමිත අමාත්‍ය මණ්ඩලයක් පත් කර ගත හැකිය. අවශ්‍ය වන්නේ නම් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වන අයගෙන් කිහිපදෙනකුද ඊට ඇතුළත් කර ගත හැකිය. එම අමාත්‍ය මණ්ඩලයට මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක් රට පාලනය කළ හැකිය. මා යෝජනා කරන අන්තර්වාර පාලනයේ ස්වරූපය මෙයයි. එවැනි අන්තර්වාර පාලනයකට ජාත්‍යන්තර ප්‍රජාවේ ආධාර සහ සහාය ද රට ගොඩගැනීම වෙනුවෙන් ලබා ගත හැකිය. අපට තිබෙන්නේ අවුරුදු හැත්තෑ ගණනක සිට පැමිණෙන ප්‍රශ්න මාලාවක් නිසා ඒවා එක් දවසකින් හෝ දෙකකින්  හෝ විසඳිය නොහැකි බවද සිහි තබා ගත යුතුය.

පවතින ආණ්ඩුවෙන් හෝ විපක්ෂයෙන් හෝ මේ අවස්ථාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගෙනෙන යෝජනා සාධනීය ඒවා හැටියට මම නොදකිමි. 21 වැනි සංශෝධනය ගෙන එන බව පවසමින් එම කණ්ඩායම් උත්සාහ කරන්නේ පවත්නා ක්‍රමයටම අණ්ඩ දැමීමටය. මේ ව්‍යවස්ථා රාමුවට අණ්ඩ දැමීම නොගැළපෙන්නක්ය යන්න මම තරයේ විශ්වාස කරමි. 1978 අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විශාල වලව්වක් නම් එයට යම් යම් අංග එකතු කර නූතනකරණය කිරීම නොපෑහෙන්නකි. වත්මන් ව්‍යවස්ථාවෙන් ජයවර්ධන මහතාට අවශ්‍ය වූයේ ශක්තිමත් විධායක ජනාධිපති ධුරයක් ස්ථාපිත කිරීමයි. ව්‍යවස්ථාවේ සෑම තැනකින්ම ඊට අවැසි පදනම සපයා තිබේ. එම පදනමට අණ්ඩ දැමීමට යාමෙන් සිදු වූයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමය. එම සංශෝධනයෙහි අරමුණ යහපත් වුවත් එහි විශාල අවුල්සහගත තත්ත්වයක් තිබිණි. එබැවින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබිණි. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු කළේ මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශක්තිමත් කිරීමකි. මෙතැන තිබෙන්නේ සමස්ත ව්‍යවස්ථාවෙහිම ඇති අවුලකි. වත්මන් අර්බුදයෙන් එම අවුල මනාව විද්‍යමාන වෙයි. එබැවින් ආණ්ඩුවත් විපක්ෂයත් තේරුම්ගත යුතු කාරණය වන්නේ රට මේ අර්බුදයෙන් ගොඩ ගැනීමට වත්මන් ව්‍යවස්ථාව ප්‍රබල බාධාවක් බවය. රටේ දේශපාලන සුරක්ෂිතභාවයට අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ආර්ථික වර්ධනයට බාධාවක් බවය. එබැවින් වහාම කළ යුත්තේ ව්‍යවස්ථාව වෙනස් කිරීම වෙනුවෙන් අඩිතාලම දැමීමය. මගේ යෝජනාව වන්නේ එම කර්තව්‍යය ඡන්දයකින් මීළඟට බලයට පත්වන ආණ්ඩුවකට නොතබා ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව ඉවත් වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවුව හොත් එයින් ඉටු විය යුතු බවය.

(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)