මගේ මතකය නිවැරැදි නම්, ඒ වසර 1969 විය යුතුය. ඒ වසර හඳුන්වනු ලැබුවේ “අධ්‍යාපන සියවස” ලෙසින් ය. එකල අධ්‍යාපන ඇමතිවරයා වූයේ හිතුවක්කාර තීන්දු තීරණ ගැනීමට නොපැකිළෙන, කියන දෙයක් ඉස්පිලි-පාපිලි අඩු නැතුව කියන, ඉමියා මුදියන්සෙලාගේ රැෆියෙල් අභයවන්ස ඊරියගොල්ලය.
60 දසකයේ අවසාන වසර කිහිපයේ පාසල් අධ්‍යාපනයේ සිටම ළමයින් වෘත්තියාභිමුඛ අධ්‍යාපනයකට හුරු කළ යුතු යැයි නාගරික මතය විය. ඔහුගේ අධ්‍යාපන ඇමති ධූර කාලය, උපාධිධාරි විරැකියාව ගැන ලොකු සමාජ විරෝධයක් ගොනුවූ කාලයකි. ඒ විරෝධය හේතුවෙන් උපාධීලාභීන් පමණක් නොව, ආචාර්ය මහාචාර්යවරු පවා ඔහුට විරුද්ධව 1970 මහ මැතිවරණයේදී කුලියාපිටිය ආසනයෙහි කඳවුරු බැඳ ගත්හ.
ඒ වනවිට, ඊරියගොල්ල ඇමති අධ්‍යාපනයෙහි ප්‍රතිසංවිධාන ගණනාවක් කර තිබිණ. විශ්වවිද්‍යාල ප්‍රවේශය අද මෙන් එදාද, උසස් පෙළ සමත් වන සියල්ලන්ට හිමි නොවූයෙන්, විශ්වවිද්‍යාල ප්‍රවේශය නොලබන සිසු සිසුවියන් වෙනුවෙන් ඊරියගොල්ල ඇමති කාර්මික විද්‍යාල 06 ක් “කනිෂ්ඨ විශ්වවිද්‍යාල” ලෙස ප්‍රතිසංවිධානය කළේය. පාසල් පෙළ පොත් ප්‍රකාශනයට අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබුවේද ඔහු විසිනි. පේරාදෙනිය ඉංග්‍රීසි ගුරු අභ්‍යාස විද්‍යාලය දියුණුකර එකල ප්‍රමිතියට අනුව එයට දියුණු භාෂා විද්‍යාගාරයක්ද ලබා දුන්නේය. අම්පාර හාඩි කාර්මික විද්‍යාලය රජයට පවරා ගනිමින් එය ජාතික කාර්මික විද්‍යාල පද්ධතියට ඇතුළු කරනු ලැබුවේද ඊරියගොල්ල ඇමති විසිනි. කටුබැද්ද කාර්මික විද්‍යාලයද ඔහු ආරම්භ කෙරුවකි. අධ්‍යාපන සියවස වෙනුවෙන් තෝරා ගත් පාසල් 100 ක ඔහු පුස්තකාල පිහිටුවීය. මසකට වරක් පාසල් ළමයින්ට කුසලතා වර්ධනයක් වෙනුවෙන් යැයි සරළ ප්‍රායෝගික වැඩවල යෙදවීමට නගරයේ ළමුන් ගමේ කුඹුරුවලට බැස්ස වූයේද ඔහු ය. ඒ වෙනුවෙන් “වැඩ හුරුවීමේ ගීතය” යැයි පාසල් ගීතයක්ද ඔහු ලියුවේය.
අධ්‍යාපන ඇමති ඊරියගොල්ලගේ අධ්‍යාපන ප්‍රතිසංවිධාන සියල්ල අසාර්ථක වූයෙන් 1970 ආණ්ඩු මාරුවෙන් පසු බණ්ඩාරනායක අගමැතිනියගේ ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වූ අධ්‍යාපනවේදී ප්‍රේමදාස උඩුගම මහතාගේ මූලිකත්වයෙන් 1972 දී වඩා පුළුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය. “නව අධ්‍යාපන ක්‍රමය” ලෙස හැදින්වුණු ඒ ප්‍රතිසංස්කරණ මගින් අංක ගණිතය, වීජ ගණිතය හා ජ්‍යාමිත්‍ය ඒකාබද්ධ කෙරුණු “නව ගණිතය” 06 වසරේ සිට හඳුන්වා දෙනු ලැබිය. ඉතිහාසය, භූගෝලය හා ප්‍රජාචාරය ඒකාබද්ධ කර ”සමාජ අධ්‍යනය” විෂය යැයි අලුත් විෂයක් විෂය මාලාවට ඇතුළු කළේය. හය (06) වසරේ සිට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම අනිවාර්ය කෙරිණ. ඊට අමතරව, සෑම ප්‍රදේශයකම ජනප්‍රිය කර්මාන්තයක් ළමයින්ට පුරුදු පුහුණු කිරීමට “ප්‍රාග් වෘත්තීය” නමින් අලුත් විෂයක් හඳුන්වා දෙනු ලැබීය. එවගේම අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාග දෙකම අහෝසිකර ඒ වෙනුවට “පොදු ජාතික” හා “උසස් ජාතික” අධ්‍යාපනික සහතික පත්‍ර විභාග 1979 සිට ආරම්භ කිරීමට සැලසුම් කළේය. පළමු වරට මෙරට විශ්වවිද්‍යාල සියල්ල 1972 අංක 01 දරණ පාර්ලිමේන්තු පනතින් “ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය” නමින් තනි විශ්වවිද්‍යාලයක් බවට පත් කරනු ලැබීය.
නැවතත් 1977 මහ මැතිවරණයෙන් ජයවර්ධන ආණඩුව බලයට පත් වූ පසු එතෙක් සිදුකර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බොහෝමයක් ආපස්සට හරවන ලදී. ඒ වෙනුවට 1979 දී ඔවුන් “අධ්‍යාපන ධවල පත්‍රිකාවක්” පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සූදානම් වූවත් විපක්ෂයේ හා විශ්වවිද්‍යාලවල දිග හැරුණු විරෝධය හමුවේ එය හකුළා ගැනිණ. පාසල් හා උසස් අධ්‍යාපනයෙහි 1965 සිට වසර 15 ක පමණ කාලයක කෙරුණු ප්‍රතිසංවිධාන හා ප්‍රතිසංස්කරණ සම්බන්ධ ඒ කෙටි විස්තරය කළේ සමාජ කතිකාවකින් තොරව, කොළඹ ඉහළ පෙළ නිලධාරීන් සමග කෙරෙන අධ්‍යාපන ප්‍රතිසංවිධාන හා ප්‍රතිසංස්කරණ සියල්ල අසාර්ථක වන බැව් කීමටය. අධ්‍යාපනයෙහි කෙරෙන එවැනි වෙනස්කම් විසින් පවතින අධ්‍යාපන ගැටලු සඳහා හරියාකාර විසඳුම් නොමැතිව, අලුත් ගැටලුද එකතු කරමින් ළමා පරම්පරාව අතරමං කෙරෙන්නේ යැයි කීමටය.
මේ රටේ ආර්ථිකය සමග සියලු සමාජීය බිද වැටීම්, පිරිහීම් හා දූෂණ සඳහා මුල පිරුම ඇත්තේ දසක ගණනාවක සිට අධ්‍යාපනයෙහි ගරා වැටීම සමග ඔඩුදුවන පිරිහීම් සමූහයෙහි ය. වසර 20 ට 30 ට පෙර මේ අධ්‍යාපනයෙන් බිහි කළ ගුරුවරුන් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් බිහිවුණු ඊළඟ පරම්පරාව, ඔවුන්ට වඩා දැනුමින්, හැදියාවෙන් හා වගකීම් දැරීමෙන් බාල පරම්පරාවක් විය. ඔවුන්ගෙන් ඊළඟට බිහි වූ පරම්පරාව ඊටද වඩා බාල, අඟුටු මිටි පරම්පරාවක් විය. මෙය මා හඳුන්වන්නේ ෆොටෝ කොපියකින් ෆොටෝ කොපි ගසනවා වැනි යැයි කියාය.
එවැනි පසුබිමක, ක්‍රමානුකූලව දේශපාලනීකරණය වූ දූෂිත, අකාර්යක්ෂම රාජ්‍ය සේවාවෙහි ඉන්නා මේ පිරිහුණු අධ්‍යාපනයෙන් වසරක් පාසා බිහි කළ හුදු සහතිකලාභි පරිපාලකයන්, වෘත්තිකයන් කිහිප දෙනකු ගොනුකර වල් වැදුණු මේ අධ්‍යාපනය වැදගත් දියුණු අධ්‍යාපන ක්‍රියාවලියක් ලෙස ප්‍රතිසංස්කරණය කළ නොහැකිය. ඒ ගැන ගුරු සංගම් නායකයන් කතා නොකරන්නේ ගුරු වැටුප්වලට වැඩි දෙයක් ඔවුන්ද නොදන්නා හෙයිනි.
මේ මාලිමා ආණ්ඩුවට එවැනි සමාජ කතිකාවකට හවුල් වීමේ හැකියාවක් හා වුවමනාවක් නැතැයි මෙතෙක් අධ්‍යාපන ඇමතිනිය වන අගමැතිනියගේ කල්කිරියාවෙන් පෙන්නුම් කරන්නකි. ඔවුන් බලයට පැමිණ තෙමසක් ගතව තිබියදී මා අධ්‍යාපන ඇමතිනී, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය වෙත පසුගිය පෙබරවාරි 24 වැනිදා “ලබන 2026 වසරේ සිට ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රසිද්ධ කරන මෙන් ඉල්ලීම” මැයෙන් වූ ලිපිය යොමු කරන විට, ඇය ජනවාරි 23 වැනිදා පාර්ලිමේන්තුවේදීත් පෙබරවාරි 15 වැනිදා කෝපායි හි ජාතික අධ්‍යාපන විද්‍යාලයේදීත් පෙබරවාරි 22 වැනිදා ආබාධිත දරුවන්ගේ නියෝජිත පිරිසක් පාර්ලිමේන්තුවේදී හමුවූ අවස්ථාවේදීත් විෂය මාලාව හා විභාග ක්‍රමය ලබන 2026 වසරේ සිට වෙනස් කරන බවත් ගුරු පුහුණුව, පාසල් සංවිධානය හා යටිතල පහසුකම් දියුණු කිරීම සහ ගුරු-ළමා ඇසුර යහපත් කිරීම එහි මූලික කාරණා බවත් අවධාරණය කර තිබිණ.
ඒ කතා අතරතුර, මේ රටේ ඕනෑ තරම් ප්‍රතිපත්ති ඇතැයිද ප්‍රශ්නය වන්නේ ඒවා ක්‍රියාත්මක කිරීම උදෙසා නිසියාකාරව මුදල් වෙන් නොකිරීම යැයිද එතුමිය ආබාධිත හා විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ නියෝජිතයන් සමග පවසා තිබුණේ මේ රටේ විධිමත් අධ්‍යාපනය ගැන ඇයට ඇත්තේ අල්ප දැනුමක් යැයි ප්‍රදර්ශනය කරමින්ය. මේ රටේ පිළිගත් “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්” නැත. අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන කතාවට පෙර මුදල් වෙන් කිරීම ගැන යමක් කෙටියෙන් සඳහන් කළ යුතුය. අනෙක් වත්තීන් හා වෘත්තීය සමිති කිසිවක් හා ගනුදෙනු නොකරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 2012 වසරේ දියත් කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩි වැටුප් ඉල්ලීමේ උද්ඝෝෂණය දින 100 ට පමණ කල් ඇදෙන විට, අනෙක් වෘත්තීය සමිතිවල සහයෝගය හා සමාජ අවධානය ලබා ගැනීමට ඔවුන් අධ්‍යාපනය සඳහා ආණ්ඩු වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 06 ක් ලබා දිය යුතු යැයි කීවේ, වැදගත් අධ්‍යයනයකින් පසුව නොවන බව, එදා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් සටනේ ඉදිරි පෙළ ක්‍රියාකාරිනියක වූ ආචාර්ය හරිනි අමරසූරියද දන්නී ය. ඒ වනවිට වාර්ෂිකව වෙන් කෙරුණු සියයට 02 ත් 03 ත් අතර වන මුදල පවා වසරක් තුළ වැය කර ගැනීමට තරම් කාර්යක්ෂමතාවක් නොමැති අධ්‍යාපන පාලනාධිකාරීන්ට කිසිදු සැලසුම්ක් නොමැතිව සියයට 06 ක් ලබා දිය යුත්තේ කුමට දැයි මා නැගූ ප්‍රශ්නයට එදා කිසිවකු උත්තර දුන්නේ නැත. “සියයට 06” වැදගැම්මකට නැති හිස් සටන් පාඨයක් පමණකි.
අධ්‍යාපන ඇමතිනී, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මේ සූදානම් වන්නේ ඊරියගොල්ල හා ප්‍රේමදාස උඩුගම එදා අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කළ පැරැණි අසාර්ථක ක්‍රමයටම යළි පාසල් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරන්නට ය. එනිසා ඊට වෙනස්ව සියල්ලට පෙර “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය” සමාජ සම්මුතියකට යටත්ව, සමාජ හිමිකාරිත්වයක් ඇතිව සම්පාදනය කරගත යුතුයැයි මම නැවත කියමි. එයද බරපතළ කාර්යයකි. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සැකසීමට අප පළමුව ඉදිරි වසර 15 ට හෝ 20 ට වලංගු වන අයුරු, අධ්‍යාපන අරමුණු කවරේදැයි තීන්දු කරගත යුතුව ඇත. මෙහි කිසිවකු කතා නොකරන හා පහසුවට කියන “තාක්ෂණ අධ්‍යාපනය” යනු කුමක්දැයි විස්තර කතා වන්නේද නැත.
අප තේරුම් ගත යුතු වැදගත්ම කාරණාව නම්, රැකියාභිමුඛ අධ්‍යාපනයක් සැලසුම් කිරීමට, ඉදිරි වසර 15 ක හෝ 20 ක කාලයේ අපේ දේශීය ආර්ථිකයෙහි උත්පාදනය කෙරෙන රැකියා කවරේදැයි අප දැන සිටිය යුතුය. දැන් අප ඉන්නේ ඉදිරි ඉලක්ක, අරමුණු ගැන කතා කළ හැකි ආර්ථිකයක නොවේ. මෙය ප්‍රධාන නගර කිහිපය කේන්ද්‍රගත වූ ජාවාරම්කාර වෙළඳපොළක් පමණි. මෙහි වැඩිමනත් හැදෙන්නේ අවිධිමත් ආර්ථිකයක් සමග වන සේවාවල තාවකාලික සිල්ලර රැකියාය. ගමෙන් හා වැවිලිකරයෙන් ප්‍රධාන නගර වෙත ලාභ ශ්‍රමය සංක්‍රමණය වන්නේ ඒ රැකියා සොයා ගෙනය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව මෙරට සමස්ත ශ්‍රමික සංඛ්‍යාව වන මිලියන 08 ට වැඩි ශ්‍රමිකයන්ගෙන් සියයට 67 ක් අවිධිමත් ක්ෂේත්‍රයෙහි තාවකාලික ආදායම්ලාභීයෝය මෙවැනි ආර්ථිකයක් වෙනුවෙන් සැලසුම් කළ හැකි අධ්‍යාපනයක් නැත. එනිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ සාකච්ඡා ආරම්භ කළ යුත්තේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමගින්ය.
අධ්‍යාපන ඇමතිනිය ලෙස අගමැතිනිය තවමත් විටින් විට ගුරුවර ගුරුවරියන්ද, ප්‍රාදේශීය අධ්‍යාපන නිලධාරීන්ද, මවුපියන්ද කිසිවක් නොදන්නා ඇයගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කරන්නාවූ කතාවල ඇති බරපතළකම වන්නේ ඒවා 2026 ක්‍රියාත්මක කිරීමට පියවර ගතහොත් මේ පිරිහුණු විධිමත් අධ්‍යාපනයෙහි ඇති වන ඊළඟ කඩා වැටීම, පාසල්වලට දරා ගත නොහැකි වීමය.
එනිසා මම නැවත අධ්‍යාපන ඇමතිනිය වන ජවිපෙ/මාලිමා ආණ්ඩුවේ අගමැතිනියට කියන්නේ, මොනවා හෝ ප්‍රතිසංස්කරණ තිබේ නම්, ඒවා වහා ප්‍රසිද්ධ කළ යුතු යැයි කියාය. ඒවා සමග මීට පෙර, 2020 සිට වසර 10 ක් සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සම්පාදනය කිරීමට පත් කරනු ලැබූ කොමිසම ඉදිරිපත් කළ වාර්තාවත් ඉන්පසු නැවත වසර 25 ක කාලයක් වෙනුවෙන් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සම්පාදනය කිරීම සඳහා 25 දෙනෙකුගෙන් යුත් “විශේෂඥ” කමිටුවක සහායද ඇතිව පත් කරනු ලැබූ ඇමති උප කමිටුවේ 2033 දක්වා වසර 10 ක් සඳහා වන ප්‍රතිපත්ති කෙටුම්පතද හවුල් කර ගනිමින් මේ සමාජයේ සියලු පාර්ශව සමග දුර දිග යන සාකච්ඡාවක් ආරම්භ කිරීම මේ ආණ්ඩුවේ වගකීමකැයි මම යළි අවධාරණය කරමි.
(*** කුසල් පෙරේරා)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනාගතය