දෙදහස් විසිහතර ජනාධිපතිවරණයට ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 167 පිටුවේ මෙසේ සඳහන් වේ. “සියලුම ප්‍රදේශවල සියලුම පුරවැසියන්ගේ පුරවැසි අයිතිය සහතික වන අයුරින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලු මර්දනකාරී පනත් අහෝසි කරනු ඇත”. කෙසේ වුවද ජනාධිපතිවරණයෙන් පසු වසර එකහමාරකට වැඩි කාලයක් ගතවී ඇති නමුදු එම පනත අහෝසි කිරීමක් හෝ සංශෝධනය කිරීමක් මෙතෙක් සිදුව නැත.
එසේ වුවද ජනාධිපතිවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම සඳහා වූ නියෝග නිකුත් කරමින් සිටියි. 2026 පෙබරවාරි මාසයේ නිකුත් කළ නියෝගයක් මගින් හිටපු බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා පොලිස් රැඳවුම් භාරයේ දින 90ක් තැබීම සඳහා වූ නියෝගය නිකුත් කළ අතර ඉන්පසු එය තවත් දින 90කට දිගුකිරීම සඳහා වූ නියෝගයක් ද නිකුත් කර තිබේ.
සුරේෂ් සලේ පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ඔහු සම්බන්ධ වී තිබේද යන්න පිළිබඳව පරීක්ෂා කිරීම සඳහාය. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවට මුලින්ම සුරේෂ් සලේ මහතා සම්බන්ධ කරමින් ප්‍රකාශයක් ලබා දී තිබුණේ අසාද් මව්ලානා නමැති තැනැත්තා විසිනි. එම වීඩියෝ පටයේ සුරේෂ් සලේ මහතා මෙම සිද්ධියට සම්බන්ධ කරමින් අසාද් මව්ලානා සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබු කරුණු එම චැනලය විකාශය කර තිබුණි. පාස්කු දා ප්‍රහාරය සිදුවීමට බොහෝ කලකට පෙර සුරේෂ් සලේ මහතා මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරමින් සිටියේය. ඔහු පාස්කු දා ප්‍රහාරය සිදුවන විට සිටියේ ඉන්දියාවේ පැවැත් වූ වැඩමුළුවකට තනාපති කාර්යාලයේ නිලධාරියකු ලෙස සහභාගි වෙමිනි. පාස්කු දා ප්‍රහාරය එල්ල වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයේ සහ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ කටයුතු කළ යහපාලන ආණ්ඩු සමයේදීය.
චැනල් 4 නාලිකාවෙන් එම වීඩියෝ පටය විකාශය වීමෙන් පසු ප්‍රකාශයක් කරමින් එම නාලිකාවේ ප්‍රකාශකයකු සඳහන් කළේ විකාශය වූ අදාළ වීඩියෝ පටයේ නිරවද්‍යතාව පිළිබඳව සහතික වීමට එම නාලිකාවට කිසිදු හැකියාවක් නැති බවයි. එම ප්‍රකාශ විකාශය කිරීම හැර ඒවායේ නිරවද්‍යතාව පිළිබඳව පරීක්ෂා කිරීමට තම නාලිකාවට කිසිදු හැකියාවක් නොතිබුණු බවද ඔහු ප්‍රකාශ කර තිබුණි. චැනල් 4 නාලිකාව විකාශය කළා යැයි පැවසෙන වීඩියෝව පිළිබඳව ඇතැමුන් ප්‍රකාශ කරන නමුදු එහි අන්තර්ගතය පිළිබඳව සහතිකවීමට එම චැනලයට කිසිදු හැකියාවක් නැති බවට පසුව ඔවුන් කළ ප්‍රකාශය බොහෝ දෙනකු අමතක කර ඇති බව පෙනේ. එසේ නොමැති නම් එය යටපත් කර ඇති බව පෙනේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී අසාද් මව්ලානා හමුවී ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව වාර්තා විය. බොහෝ දෙනකු ඒ පිළිබඳව ප්‍රශ්න කර සිටියේ ශ්‍රී ලංකාවේ අනාරක්ෂිත බව ප්‍රකාශ කරමින් ප්‍රංශයේ සරණාගතභාවයක් ලබා සිටින පුද්ගලයකු ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කැඳවා ප්‍රශ්න කළ ආකාරය පිළිබඳවය. එසේම ඔහුට නඩු කිහිපයක් පවතින බවද ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇති බවටද වාර්තා පළවී තිබුණි. කෙසේ වුවද ඔහු ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කැඳවා ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි.
පාස්කු දා ප්‍රහාරය සිදුවුයේ 2019 අප්‍රේල් මස 21 දිනය. මේ පිළිබඳව පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තුව විශේෂ කාරක සභාවක් පත්කළ අතර ජනාධිපති කොමිසමක්ද පත් කරනු ලැබිය. එම වාර්තාවල අදාළ සිදුවීමට සුරේෂ් සලේ මහතගේ සම්බන්ධතාවක් පිළිබඳව කිසිදු සඳහනක් දක්නට නොලැබේ. ඉතාම වැදගත් කරුණ වන්නේ මේ සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘එෆ්බිඅයි’ (FBI) ආයතනය මගින් ඇමෙරිකාවේ අධිකරණයට වාර්තා කර ඇති කරුණුය. මෙය සම්පූර්ණයෙන්ම මුස්ලිම් අන්තවාදී සංවිධානයක ක්‍රියාවක් බව නිශ්චිතවම වාර්තා කර තිබුණි. එසේ වුවද මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා ඇතුළු බොහෝ දෙනකුට ඒවා පිළිගැනීමට නොහැකි වී ඇති අතර දිගින් දිගටම ඒ හා සම්බන්ධ මහ මොළකරුවා’ සොයා දෙන ලෙස කතෝලික සභාව රජයට බල කරමින් සිටී. ඒ අතරම පාස්කු දා ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවති.
පාස්කු දා ප්‍රහාරය මෙහෙය වූයේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යැයි පැවසෙන මතවාදයක් ජනගත කිරීමට පසුගිය කාලය තුළදී ඇතැම් පිරිස් සංවිධානාත්මකව ක්‍රියා කරන ආකාරය දැකගත හැකිවිය. දැඩි මුස්ලිම් විරෝධියකු ලෙස ඇතැම් පිරිස් හංවඩු ගසා තිබු ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා අන්තගාමී මුස්ලිම් අදහස් දැරූ පුද්ගලයන් තම ජීවිත විනාශ කර ගන්නේද යන ඊට ප්‍රතිවිරුද්ධව නැගුණු මතයට පිළිගත හැකි පිළිතුරක් මේ දක්වාම ලැබි නැත. 2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතිවිශාල ජයග්‍රහණයක් ලබා තිබියදී එවැනි ක්‍රියාවකට ගෝඨාභය මහතාට පැවැති අවශ්‍යතාව කුමක්ද යන්න සමහරු ප්‍රශ්න කරති. ඇමෙරිකානු පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයකට පැටළී සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන එක්සත් පෙරමුණ විසින් තම ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනු ලැබුවේ පාස්කු දා ප්‍රහාරයෙන් බොහෝ කලකට පසුවය.
ඒ අතර පාස්කු දා ප්‍රහාරයෙන් පසු වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් කරන ලද ප්‍රකාශයක් පිළිබඳ වීඩියෝද බොහෝ කාලයක සිට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවති. ඔහු සෘජුවම ප්‍රකාශ කරන්නේ එම ප්‍රහාරය ඉන්දියාවේ ක්‍රියාවක් බවය. ජාතික ජන බලවේගයේ ඉතා වගකිව යුතු පුද්ගලයකු කර ඇති මෙම ප්‍රකාශය පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදුවු බවක් වාර්තා නොවේ. ශ්‍රී ලංකාවේ ජීවත්වීමට නොහැකි බව ප්‍රකාශ කර වෙනත් රටක සරණාගතභාවය ලබාගෙන ඇති පුද්ගලයකු චැනල් 4 නාලිකාවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වාගෙන යයි. එසේ වුවද රජයේ වගකිව යුතු ප්‍රධානියකු මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව පිළිබඳ කර ඇති ප්‍රකාශයට අදාළව අඩුම තරමින් කටඋත්තරයක් හෝ සටහන් කළ බවක් වාර්තා නොවේ. සිද්ධියට සම්බන්ධ සාරා ජෙස්මින් නමැති කාන්තාවක් මියගිය බවට වාර්තා පළ වුවද ඇය ඉන්දියාවට පළා ගොස් ඇති බව ඇතැම් අය ප්‍රකාශ කර ඇත. ජාතික ජන බලවේග රජය ඉන්දියාව සමග ඉතා දැඩි සම්බන්ධතාවක් පවත්වා ගෙන යන බැවින් මෙම තොරතුරු පිළිබඳ සැබෑ තත්වය රටට හෙළිකිරීම රජයේ වගකීමක් වනු ඇත.
ඕනෑම අපරාධයක් පිළිබඳ සැක කරන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නීත්‍යනුකුලව සහ සාධාරණ අයුරින් පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ ගැටලුවක් නැත. ජාතික ජන බලවේගය රටේ බලය ලබා ගත්තේ නීතිය සුරක්ෂිත කරන බවට සහ ජාත්‍යන්තර ප්‍රඥප්තින්ට අනුකූලව මානව හිමිකම් සහ පුද්ගල හිමිකම් ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දෙමිනි. සැකකරුවන්ගේ මානව අයිතීන්, ඔවුන් රඳවා තබාගැනීම්, ඔවුන්ට වධහිංසා පැමිණවීම් ආදිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රඥප්ති රැසකට ලංකාව අත්සන් තබා තිබේ. එවැනි තත්වයක් තුළ රටේ ජනාධිපති මන්දිරයට හා ජනාධිපති ලේකම් කාර්යාලයට ආසන්නයේ පිහිටා ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ ත්‍රස්තවාදය පිළිබඳ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති රැඳවියකුට සලකන ආකාරය පිළිබඳ පැතිර යන තොරතුරු ජනාධිපතිවරයාට මෙන්ම රජයට ද ඉතා අහිතකර බව පෙන්වා දිය යුතුව ඇත.
මාධ්‍යවල පළවී ඇති වාර්තා අනුව මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා නිලධාරීන් පිරිසක් ඉදිරියේ නිරුවත් කර දෑතට මාංචු දමා තිබේ. ඔහු රඳවා ඇත්තේ අඩි හතරක් පළල සහ අඩි අටක් දිග කාමරයකය. උදය ගම්මම්පිල මහතා මෑතක දී මාධ්‍ය මගින් ප්‍රකාශ කළේ ඔහුට පත්තර කොළ කෑල්ලකට බත් බෙදා රාබු හොද්දක් එයට එක්කර ආහාර ලෙස ලබාදී තිබු බවත්, හොදිවලින් තෙත් වූ කොළ කැබැල්ල ඉරීයෑම නිසා ආහාර බිමට පතිත වූ බවත්ය. වෛද්‍යවරුන් පිරිසක් ඔහු පිළිබඳව පරීක්ෂා කර බලා යම් යම් නිර්දේශ ඉදිරිපත් කර තිබුණද ඒවා ක්‍රියාත්මක කර නැති බවක් ද වාර්තා විය. ඔහු ආහාර සහ බෙහෙත් නොගෙන උපවාසයක් ආරම්භ කළේය. ඉන් පසු ඔහු රෝහල් ගතකර තිබේ.
සුරේෂ් සලේ මහතාට වධහිංසා පැමිණවීම පිළිබඳ ඉහත තොරතුරු වැරැදි යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බවක් මේ දක්වා වාර්තා නොවේ. සලේ මහතාට අනෙක් රැඳවියන්ට සමාන ලෙස සලකන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණි. සුරේෂ් සලේ මහතාගේ තත්වය පිළිබඳව ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා තැබු සටහනක මෙසේ සඳහන් වේ. “සුරේෂ් සලේ අධිකරණ අත්අඩංගුවේ පසු නොවේ. විධායකය විසින් එනම් ජනරජයේ ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ඇමතිවරයා ලෙස ඔහු අත්අඩංගුවේ තබාගෙන සිටී. පොලිසිය මහජනතාව නොමග යවයි”. සියල්ලේ අපකීර්තිය යොමු වන්නේ ජනාධිපතිවරයාටය. ඔහු භාරයේ සිටින රැඳවියකුට ශිෂ්ට ලෙස නොසලකන බවට නැගෙන චෝදනාවට රජය පිළිතුරු ලබාදිය යුතුව ඇත. සුරේෂ් සලේ මහතාට ශිෂ්ට ලෙස සලකන්නේ නම් එය දැක ගැනීමට හා ඔහු හමුවීමට මානව හිමිකම් සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ආයතනවලට ඉඩ ලබාදීමෙන් රජය රටේ මානව හිමිකම් සුරකින බව සහතික කිරීමට දැන් අවස්ථාවක් ලැබී තිබේ.
(***)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd