රුපියලේ ක්‍රමික අවප්‍රමාණය වීම අද ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම ආර්ථික සංඥාවලින් එකකි. එය විනිමය අනුපාතයක වෙනසක් පමණක් නොවේ. රටක ආර්ථික ශක්තිය, රාජ්‍ය මූල්‍ය විනය, ආයෝජන විශ්වාසය, දේශපාලන ස්ථාවරභාවය සහ ජනතාවගේ අනාගත බලාපොරොත්තු පිළිබඳ ප්‍රබල පණිවුඩයකි.

මුදල් ඒකකයක අගය පහළ යාමෙන් පෙනෙන්නේ එම රටේ නිෂ්පාදන හැකියාව, විදේශ විනිමය උපයා ගැනීමේ ශක්තිය, ආර්ථික කළමනාකරණය සහ ආයතනික විශ්වාසය දුර්වල වී ඇති බවය. ඒ අර්ථයෙන් බලන විට, රුපියලේ අවප්‍රමාණය වීම ශ්‍රී ලංකාවේ දැනටමත් බිඳවැටෙමින් පවතින ආර්ථික, සමාජ සහ දේශපාලන අර්බුදය තවදුරටත් ගැඹුරු කරන සාධකයකි.

අදින් වසර කිහිපයකට පෙර ඇමෙරිකානු ඩොලරයක් මිලදී ගැනීමට රුපියල් 130ක් හෝ 150ක් පමණ ප්‍රමාණවත් විය. එහෙත් 2022 ආර්ථික අර්බුදය සමග එම අගය රුපියල් 360 ඉක්මවා ගිය අවස්ථා ද තිබුණි. පසුව යම් ස්ථාවරතාවක් ඇති වූවත්, රුපියලේ සැබෑ ආර්ථික ශක්තිය නැවත සම්පූර්ණයෙන් ගොඩනැගී ඇතැයි කිව නොහැකිය. මෙහි සරල තේරුම වන්නේ, ඉන්ධන, ඖෂධ, ආහාර, යන්ත්‍රෝපකරණ සහ අමුද්‍රව්‍ය වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට ශ්‍රී ලංකාවට පෙරට වඩා බොහෝ රුපියල් වැය කිරීමට සිදු වන බවය.

 

ආනයන මත රඳා පවතින ආර්ථිකයක උද්ධමන පීඩනය

රුපියල අවප්‍රමාණය වීමේ පළමු සහ වඩාත් සෘජු ප්‍රතිඵලය වන්නේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටම ඉහළ යාමයි. වෙනත් වචනවලින් කිවහොත්, එය උද්ධමනය වැඩි කරයි. ශ්‍රී ලංකාව තවමත් ආනයන මත සැලකිය යුතු ලෙස රඳා පවතින ආර්ථිකයකි. ලෝක බැංකු දත්ත අනුව, 2024 දී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා ආනයන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 22.5ක් පමණ විය.

එබැවින් රුපියලේ අගය පහළ යන සෑම අවස්ථාවකදීම ආනයන වියදම් ඉහළ යයි. ඉන්ධන මිල වැඩි වේ. ප්‍රවාහන වියදම් ඉහළ යයි. කර්මාන්ත නිෂ්පාදන පිරිවැය වැඩි වේ. අවසානයේ එම බර සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතයට පතිත වේ.

2022 සැප්තැම්බර් මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 69.8ක් වූ අතර, ආහාර උද්ධමනය සියයට 94.9ක් විය. මෙය සංඛ්‍යාවක් පමණක් නොවේ. එය පවුල්වල ආහාර වේල, දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය වියදම් සහ මධ්‍යම පන්තියේ ජීවන තත්වය සෘජුවම කම්පනයට ලක් කළ තත්වයකි.

එහි ප්‍රතිඵලයක් ලෙස දරිද්‍රතාව ද ඉහළ ගියේය. ලෝක බැංකු ඇස්තමේන්තු අනුව, 2022 දී නාගරික දරිද්‍රතාව සියයට 15ක් දක්වාත්, ග්‍රාමීය දරිද්‍රතාව සියයට 26ක් දක්වාත් ඉහළ ගියේය. වතු ප්‍රදේශවල ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වූ බව ද එම දත්ත පෙන්වයි.

 

ස්ථාවර වැටුප් ලබන ජනතාවගේ නිහඬ අර්බුදය

රුපියල අවප්‍රමාණයවීමෙන් වඩාත්ම පීඩාවට පත්වන්නේ ස්ථාවර වැටුප් ලබන ජනතාවයි. ඔවුන්ගේ වැටුප සංඛ්‍යාත්මකව එලෙසම පැවැතිය ද, එහි සැබෑ මිලදී ගැනීමේ හැකියාව දිනෙන් දින අඩු වෙයි.

රුපියල් 100,000ක මාසික වැටුපක් ලබන පුද්ගලයකුට, වසර කිහිපයකට පෙර පවත්වාගෙන ගිය ජීවන තත්වය අද පවත්වා ගැනීම අතිශයින් දුෂ්කර වී ඇත. ආහාර, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ප්‍රවාහන වියදම් අඛණ්ඩව ඉහළ යාම නිසා මධ්‍යම පන්තිය වේගයෙන් දුර්වල වී ඇත.

මෙය “වැටුප් ලබන දුප්පත්කම” (working poverty) ලෙස හැඳින්විය හැකි තත්ත්වයකි. පුද්ගලයා රැකියාවක නිරත වුව ද, එම ආදායමෙන් ගෞරවනීය ජීවිතයක් පවත්වා ගැනීමට නොහැකිවීම සමාජ ස්ථාවරත්වයට බරපතළ අනතුරකි. මන්ද, ඕනෑම රටක සමාජ ස්ථාවරත්වයේ ප්‍රධාන පදනම වන්නේ ශක්තිමත් මධ්‍යම පන්තියයි.

තරුණ අපේක්ෂා බිඳවැටීම සහ බුද්ධි ප්‍රාග්ධනයේ පිටවීම මෙම ආර්ථික පීඩනය තරුණ පරපුරේ අපේක්ෂා ද බිඳ දමයි. අධ්‍යාපනය, උත්සාහය සහ කුසලතාව මගින් රට තුළ ඉදිරියට යා හැකි බව පිළිබඳ විශ්වාසය දුර්වල වූ විට, තරුණයන් රට ගොඩනැගීම වෙනුවට රට හැර යාම ගැන සිතන්නට පටන් ගනී.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත අනුව, 2022 දී විදේශ රැකියා සඳහා පිටත්වූ සංඛ්‍යාව 310,948ක් විය. 2024 දෙසැම්බර් 13 වන විට එම සංඛ්‍යාව 300,162ක් දක්වා නැවත ඉහළ ගොස් තිබුණි. 2025 පළමු මාස හය තුළ පමණක් 144,379 දෙනෙක් විදේශ රැකියා සඳහා පිටත්වී සිටියහ.

මෙය කෙටිකාලීනව විදේශ විනිමය ලැබීම් වැඩි කළ හැකි වුවද, දිගුකාලීනව රටට බරපතළ අභියෝගයක් නිර්මාණය කරයි. දක්ෂ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්, වෘත්තීයවේදීන් සහ උපාධිධාරීන් විශාල වශයෙන් රට හැර යාම, රටේ බුද්ධි ප්‍රාග්ධනය, නවෝත්පාදන හැකියාව සහ නිෂ්පාදන ශක්තිය දුර්වල කරයි.

 

විදේශ ණය බර සහ රාජ්‍ය මූල්‍ය අර්බුදය

රුපියලේ අවප්‍රමාණයවීම රාජ්‍ය මූල්‍යයට ද බරපතළ බලපෑමක් ඇති කරයි. ශ්‍රී ලංකාවේ විදේශ ණය බොහොමයක් ඩොලර්වලින් ලබාගෙන ඇති බැවින්, රුපියලේ අගය පහළ යන විට එම ණය ගෙවීමට අවශ්‍ය රුපියල් ප්‍රමාණය ස්වයංක්‍රීයව ඉහළ යයි.

උදාහරණයක් ලෙස, ඩොලර් බිලියන 1ක ණයක්, ඩොලරය රුපියල් 200ක් වන විට රුපියල් බිලියන 200කි. එහෙත් ඩොලරය රුපියල් 300ක් වූ විට, එම ණයම රුපියල් බිලියන 300ක් බවට පත්වේ. රට අලු‍තින් ණය නොගත්ත ද, රුපියල දුර්වල වීම නිසා ණය බර වැඩි වන ආකාරය මෙයින් පැහැදිලි වේ.

භාණ්ඩාගාරයේ 2024 අවසාන ණය දත්ත අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත බාහිර ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 36.7ක් පමණ විය. IMF දත්ත අනුව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 2022 දී සියයට 125.8ක් වූ අතර, 2024 දී එය සියයට 105.7ක් දක්වා අඩු වී තිබුණ ද, එය තවමත් ඉතා ඉහළ මට්ටමකි.

මෙවැනි තත්වයකදී රජයට වැඩි බදු අය කිරීමට, රාජ්‍ය වියදම් කපා හැරීමට සහ අත්‍යවශ්‍ය සේවා සීමා කිරීමට සිදු වේ. එය නැවතත් ජනතාවගේ ජීවන වියදම, ව්‍යාපාර පිරිවැය සහ ආර්ථික විශ්වාසය තවදුරටත් දුර්වල කරයි.

 

ආර්ථික අර්බුදයෙන් දේශපාලන අර්බුදයට

මුදල් ඒකකයක බිඳවැටීම ජනතාව බොහෝවිට දකින්නේ ආණ්ඩුවක අසාර්ථකත්වයේ සංකේතයක් ලෙසය. ජීවන වියදම පාලනය කිරීමට නොහැකිවීම, බදු බර වැඩිවීම, රැකියා අවස්ථා අඩුවීම සහ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාව ජනතා විශ්වාසය බිඳ දමයි.

2022 “අරගලය” මෙහි ප්‍රබල උදාහරණයකි. එය හුදෙක් දේශපාලන විරෝධයක් නොව, ආර්ථික අර්බුදයක් සමාජ සහ දේශපාලන අර්බුදයක් බවට පරිවර්තනය වූ අවස්ථාවකි. ආර්ථික පීඩනය වැඩිවන විට ජනතාව බොහෝවිට ඉක්මන් සහ සරල විසඳුම් පොරොන්දු කරන ජනප්‍රියවාදී දේශපාලනය වෙත ආකර්ෂණය වේ. එවිට දීර්ඝකාලීන ප්‍රතිසංස්කරණ වෙනුවට කෙටිකාලීන ජනප්‍රිය තීරණ ප්‍රමුඛවීමේ අවදානම වැඩි වේ.

 

ගැටලු‍වේ මූලය: දුර්වල ආර්ථික ව්‍යුහය

රුපියලේ අවප්‍රමාණයවීම හුදෙක් විනිමය වෙළෙඳපොළේ සිදුවීමක් ලෙස පමණක් තේරුම් ගැනීම ප්‍රමාණවත් නොවේ. එය ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහයේ පවතින ගැඹුරු දුර්වලතා පිළිබඳ අනතුරු ඇඟවීමකි.

දශක ගණනාවක් තිස්සේ රට නිෂ්පාදනයට වඩා පරිභෝජනය මත, අපනයනයට වඩා ආනයනය මත සහ ආදායමට වඩා ණය මත රඳා සිටියේය. දේශපාලන තීරණ බොහෝවිට ආර්ථික තර්කය වෙනුවට කෙටිකාලීන ජනප්‍රියත්වය මත ගොඩනැගුණි. එහි ප්‍රතිඵලය වන්නේ අද අප මුහුණ දෙන ව්‍යුහාත්මක අර්බුදයයි.

 

ප්‍රතිපත්ති සම්පාදකයන් කළ යුත්තේ කුමක්ද?

මෙම ගැටලු‍වට විසඳුම තාවකාලික මුදල් පාලන පියවරවලින් පමණක් ලබාගත නොහැක. රුපියල කෘත්‍රිමව ආරක්ෂා කිරීමට විදේශ සංචිත වැය කිරීම දීර්ඝකාලීන විසඳුමක් නොවේ. කළ යුත්තේ රුපියලට සැබෑ ආර්ථික පදනමක් ලබාදීමයි.

ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් අපනයන ආදායම වැඩි කිරීමට, ආනයන ආදේශක නිෂ්පාදන ශක්තිමත් කිරීමට, රාජ්‍ය වියදම් විනයගත කිරීමට, බදු පදනම සාධාරණව පුළුල් කිරීමට සහ විදේශ ආයෝජන සඳහා ස්ථාවර ප්‍රතිපත්ති පරිසරයක් නිර්මාණය කිරීමට කටයුතු කළ යුතුය.

තොරතුරු තාක්ෂණය, වෘත්තීය සේවා, අගය එකතු කළ කෘෂිකර්මාන්තය, ඖෂධ නිෂ්පාදනය, සැහැල්ලු‍ කර්මාන්ත, උසස් අධ්‍යාපන සේවා සහ නවෝත්පාදන ව්‍යාපාර වැනි නව විදේශ විනිමය මාර්ග ගොඩනැගිය යුතුය.

එසේම, දූෂණය පාලනය කිරීම, රාජ්‍ය ආයතනවල විශ්වාසය නැවත ගොඩනැගීම, ප්‍රතිපත්ති අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සහ ව්‍යාපාරික පරිසරය සරල කිරීම ද අත්‍යවශ්‍යය. රුපියලේ ස්ථාවරත්වය ආරක්ෂා කළ හැක්කේ මහ බැංකුවේ පොලී අනුපාත ප්‍රතිපත්තියෙන් පමණක් නොව, රටේ නිෂ්පාදන ආර්ථිකය, අපනයන හැකියාව සහ රාජ්‍ය මූල්‍ය විශ්වාසය නැවත ගොඩනැගීමෙන්ය.

රුපියලේ අවප්‍රමාණයවීම යනු මුදල් අගයක පහළ යාමක් පමණක් නොවේ. එය ජාතියක ආර්ථික ශක්තිය, දේශපාලන ගුණාත්මකභාවය සහ සමාජ විශ්වාසය පිළිබඳ දර්පණයකි.

රුපියල ආරක්ෂා කිරීම යනු විනිමය අනුපාතයක් කෘත්‍රිමව පාලනය කිරීම නොවේ. එය රටේ නිෂ්පාදන ශක්තිය, ආයතනික විශ්වාසය, මූල්‍ය විනය, අපනයන හැකියාව සහ ජනතාවගේ අනාගත බලාපොරොත්තු නැවත ගොඩනැගීමයි.

ශ්‍රී ලංකාවට සැබෑ අභියෝගය ඇත්තේ එහිදීය. රුපියල ශක්තිමත් වන්නේ ආර්ථිකය ශක්තිමත් වූ විටය. ආර්ථිකය ශක්තිමත් වන්නේ රට නිෂ්පාදනය කරන විටය. රට නිෂ්පාදනය කරන්නේ ජනතාවට, ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට අනාගතය පිළිබඳ විශ්වාසයක් ඇති වූ විටය. එම විශ්වාසය නැවත ගොඩනැගීම අද ශ්‍රී ලංකාවේ ප්‍රධානම ජාතික කාර්යය විය යුතු ය.

(*** මහාචාර්ය රංජිත් බණ්ඩාර විසිනි)