ලෝක බැංකුව සෑම වසරකම ජූලි මාසයේ දී ලෝකයේ ඒ ඒ රටවල ඒක පුද්ගල ආදායම් සමාලෝචනය කර රටවල් වර්ගීකරණය කරයි. ඒ අනුව, 2026 වසරට අදාළව කරන ලද වර්ගීකරණයේ දී ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් වශයෙන් නම් කර තිබේ. මෙම වර්ගීකරණයේ දී සලකා බලනු ලබන ඒක පුද්ගල ආදායම් මට්ටම සෑම වසරක දීම සියයට 2 න් පමණ වැඩි වෙමින් තිබේ.

යම් රටක් ඉහළ මධ්‍යම ආදායම් ලබන කාණ්ඩයට ඇතුළත් වීමට නම් ඒක පුද්ගල ආදායම ඩොලර් 4,495 ඉක්මවිය යුතු ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව, මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 5,003 කි. එනිසා ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් කාණ්ඩයට ඇතුළත් වේ.

මෙම ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් කාණ්ඩයට ඉහළින් තිබෙන්නේ ඉහළ ආදායම් ලබන රටවල් අයත් කාණ්ඩය යි. එම රටවල ඒක පුද්ගල ආදායම ආරම්භ වන්නේ ඩොලර් 13,935නි. ශ්‍රී ලංකාව ද ඇතුළුව ඉහළ මධ්‍යම ආදායම් ලබන කාණ්ඩයට අයත් රටවල ඒක පුද්ගල ආදායම පවතින්නේ ඩොලර් 4,496 සිට 13,935 පරාසය ඇතුළත ය. ශ්‍රී ලංකාව මෙපරිදි ඉහළ මැදි ආදායම් ලබන රටක තත්වය ළඟා කරගෙන ඇතත් මීට ඉහත දී අපට ඒ මට්ටම අත්කර ගැනීමට හැකියාව තිබිණි. එහෙත් 2022 දී උද්ගත වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ඒ අවස්ථාව මග හැරුණි. එම අර්බුදය නිසා ශ්‍රී ලංකා ආර්ථිකය වසර 8 ත් 10 ත් අතර කාලයකින් පසුගාමී විය. එසේ වුවත් එම පසුගාමී තත්වය අබිබවමින් 2018 දී පැවැති තත්වය හා සම මට්ටමකට රටේ ආර්ථිකය පැමිණ ඇති අතර එහි බොහෝ ධනාත්මක ලක්ෂණ දැකිය හැකි ය.

මේ සහතිකය ලැබීමත් සමග ජාත්‍යන්තරය විසින් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් වශයෙන් සලකනු ලබන අතර දකුණු ආසියානු කලාපයේ එම මට්ටම දැනට ලබාගෙන තිබෙන්නේ මාලදිවයින පමණි. විශේෂයෙන්ම ආයෝජකයන් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් සම්බන්ධයෙන් ගොඩ නගා ගනු ලබන ප්‍රතිරූපය යහපත් එකක් වේ. ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් බවට පත්වීමත් සමග උද්ගත විය හැකි විශාලතම ධනාත්මක ලක්ෂණය වන්නේ ද මෙය යි. තමන්ගේ ව්‍යාපාර ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව සුදුසු රටක් ය යන ආකල්පය ආයෝජකයන් අතර ඇති වේ. ඉහළම විදේශ ආයෝජන ලැබීම් වාර්තා කරන ආසියානු කලාපීය රටවල් වන්නේ සිංගප්පූරුව හා චීනය යි. එම රටවල ව්‍යාපාර ආරම්භ කරන ආයෝජකයන් අපේක්ෂා කරන්නේ පුළුල් වෙළෙඳපොළ ප්‍රවේශය සහ තමන්ගේ ව්‍යාපාරවල ඉහළ කාර්යක්ෂමතාවයි. එහෙත් පහළ ආදායම් ලබන රටවල ව්‍යාපාර ආරම්භ කරන ආයෝජකයන් බලාපොරොත්තු වන්නේ එම රටවල තිබෙන ස්වාභාවික සම්පත් හා ලාබ ශ්‍රමය යි. ශ්‍රී ලංකාවට ඉදිරියේ දී ලැබෙන විදේශ ආයෝජන ඉහත කී කාණ්ඩ දෙක යටතට වැටෙන ඒවා වීමට ඉඩක් නැත. වඩා හොඳ ව්‍යාපාරික පරිසරයක් සහිත කාර්යක්ෂම වෙළෙඳපොළ සොයාගෙන යන රටක් ලෙස ලංකාව දකින ආයෝජකයන් මෙහි ආයෝජනය කරනු ඇත.

මේ අර්ථයෙන් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් බවට පත්වීමෙන් විදේශ ආයෝජකයන් වෙත ධනාත්මක පණිවුඩයක් ගෙන යනු ලැබේ. ආයෝජකයන් අධෛර්යවත් කරන නීතිරීති වෙනස් කර ගන්නේ නම් ලෝක බැංකුවෙන් ලැබුණු මේ සහතිකයත් සමග පුළුල් ආයෝජන අවස්ථා හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හොඳ දොරටුවක් විවර වී තිබේ. ඒ ඔස්සේ ඉදිරි අවුරුදු දෙක තුනක කාලයේ දී වේගවත් ආර්ථික වර්ධනයක් අත් කරගැනීමටත් තවත් අවුරුදු 10 ක පමණ කාලයක දී ඉහළ ආදායම් ලබන රටවල් කාණ්ඩයට ඇතුළත් වීමටත් ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇත.

වසර 2022 දී දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීමෙන් පසු සහ 2025 වසරේ අග භාගයේ රටට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් ආර්ථිකයට සැලකිය යුතු හානියක් සිදු වූ පරිසරයක මේ ආකාරයේ ආර්ථික ඇගයීමක් ලබා ගැනීම ආශ්චර්යවත් දෙයක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. ඊට හේතුව, මා ඉහත දී සඳහන් කළ පරිදි ආර්ථික අර්බුදයත් සමග රටේ ආර්ථිකය වසර 10 කින් පමණ පසුපසට ගමන් කළ පසුබිමක මෙවැනි ඇගයීමක් ලැබීම ය. ආර්ථික අර්බුදයෙන් පසු ආරම්භ කළ ප්‍රතිසංස්කරණ වැඩසටහන සහ උපයෝජනය නොවී තිබූ ආර්ථික ඉඩ ප්‍රස්ථා ප්‍රයෝජනයට ගැනීමට හැකිවීම මත මෙයාකාරයේ සහතිකයක් හිමි කර ගැනීමට හැකි විය.

ආර්ථික වර්ධනය වේගවත් කිරීමට අදාළ ප්‍රතිපත්ති හා සැලසුම් ගණනාවක් 2023 සිට සකස් කෙරුණු අතර ස්ථායීතාව අරබයා පැන නැගී තිබුණු ගැටලු ද නිරාකරණය කර ගැනීමට හැකි විය. එහිදී ජනතාව විශාල කැප කිරීමක් කළ බව අප අමතක නොකළ යුතු ය. ලංකාව අද වෙද්දී ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් බවට පත්ව තිබුණ ද එහි ප්‍රතිලාභ සියලු ජනතාවට ගලා යෑම කොතරම් දුරට සිදුවන්නේ ද යන්න අවධානය ගත යුතු ප්‍රශ්නයක් බව මගේ නිරීක්ෂණය යි. මේ සියලු අභියෝග මධ්‍යයේ 2023 සිට ආරම්භ කළ ප්‍රතිසංස්කරණ සහ සංශෝධන වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙස මේ ඇගයීම රටට හිමි විය.

ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක තත්වයට පත් වූ පසු ඇතැම් අන්තර් ජාතික මූල්‍ය ආයතනවලින් ලැබෙන ණය හෝ වෙනත් ප්‍රදාන අහිමි වේ. ඊට හේතුව, පහළ මැදි ආදායම් ලබන හෝ පහළ ආදායම් ලබන රටවලට ලැබෙන ඒ ආකාරයේ ණය හෝ ප්‍රදාන ලැබීමට හෝ ඉහළ මැදි ආදායම් ලබන රටවල් සුදුසුකම් නොලබන නිසා ය. අපට තවදුරටත් ඒ සහන අවශ්‍ය නම් දිගටම දුප්පත් රටක් ලෙස සිටීමට සිදු වේ. 2007 ට පෙර ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක තත්වයේ සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් කාණ්ඩයට ඇතුළු වූ පසු අපට තවදුරටත් අඩු ආදායම්ලාභී රටවලට ලබා දෙනු ලබන සහන ලබා ගැනීමට නොහැකි විය. 2007 න් පසු ලංකාව වැඩි වශයෙන් වාණිජ ණය ගැනීම් වෙත යොමු වීමටත් එය හේතුවක් විය. දැන් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් බවට පත්ව ඇති හෙයින් සහන කොන්දේසි මත ලැබෙන බහුපාර්ශ්වීය ණය සීමා වන අතර එනිසා ඉදිරියේ දී ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ණය ගැනීමට සිදු වේ. එසේ වුව ද ව්‍යාපෘති ණය සහ යටිතල පහසුකම්වලට අදාළ ණය පෙර පරිදිම ලබා ගැනීමට හැකියාව ඇත.

රටේ ආදායම් මට්ටම සමස්තයක් වශයෙන් ගත් විට වැඩිවීමක් සිදුවුවත් එහි අසමානතාව ද ඊට සාපේක්ෂව ඉහළ යයි. ඊට හේතුව, කොටසකගේ ආදායම් වේගයෙන් වැඩිවෙද්දී බහුතර පිරිසකගේ ආදායම් තවමත් පහළ අගයක පැවැතීම ය. දැන් උද්ගතව තිබෙන්නේ මේ ප්‍රශ්නය යි. මුළු ජනගහනයෙන් තුනෙන් එකක පිරිසක් දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින්නෝ නැතිනම් දුප්පත්තු වෙති. මෙපරිදි රටේ ජනගහනයෙන් තුනෙන් එකක් දිළින්දන් බවට පත්ව සිටියදී වුව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් බවට ශ්‍රී ලංකාවට පත්විය හැකි ය. මන්ද, ජනගහනයෙන් එක් කොටසකගේ ආදායම් වැඩිවීම මගින් ඒක පුද්ගල ආදායම් ඉලක්කය සම්පූර්ණ කළ හැකි නිසා ය. ඒක පුද්ගල ආදායම ගණනය කරනු ලබන්නේ රටේ සමස්ත ආදායම මුළු ජනගහනයෙන් බෙදීමෙනි. එම වර්ගීකරණයේ දී ඒක පුද්ගල ආදායම මිසක් ආදායම් ව්‍යාප්තිය සලකා බැලෙන්නේ නැත. මෙයින් ආර්ථික හැකියාව මිසක් අසමානතාව පෙන්නුම් කරන්නේ නැත.

දරිද්‍රතාව පිළිබඳ ප්‍රශ්නයට ආමන්ත්‍රණය කරන්නේ නම් ආර්ථික වර්ධනය එයට මනා පදනමක් සපයයි. නව ඉඩ ප්‍රස්ථා විවෘත වීම, ආදායම් මට්ටම් ඉහළ යෑම සහ රැකියා උත්පාදනය ආදිය සිදුවන්නේ ආර්ථික වර්ධනය හේතුවෙනි. මේ පසුබිමේ දුප්පත්කමට තිරසාර විසඳුමක් ලැබෙන්නේ ආර්ථික වර්ධනයෙන් බව පැහැදිලි ය. දරිද්‍රතාවට විසඳුම් ලැබෙන ආර්ථික වර්ධනය හඳුන්වනු ලබන්නේ සියලු දෙනා ඇතුළත් වූ ආර්ථික වර්ධනය (Inclusive Growth) යනුවෙනි.

මෙම වර්ධනය ඇතුළත කාර්මික අංශයේ පුනරුදයක් හා විදේශ ආදායම් ලැබීම්වල නිරූපිතයක් අන්තර්ගත ද යන ප්‍රශ්නයට මෙසේ ප්‍රවේශ විය හැකි ය. දළ දේශීය නිෂ්පාදිතය දළ ජාතික ආදායම බවට හැරවීමේ දී විදේශ ලැබීම් ද ඇතුළත් කරනු ලැබේ. ඒ අනුව, විදේශ ශ්‍රමිකයන්ගෙන් සංක්‍රාම වශයෙන් රටට ලැබෙන ආදායම් ද ඊට ඇතුළත් වේ. එම ආදායම් ඇතුළත් වීමෙන් ඒක පුද්ගල ආදායම් ඉහළ ගොස් තිබෙන්නට ද පිළිවන. එපරිදි ම අපි විදේශ රටවලට ණය සහ පොලී මුදල් ද ගෙවමින් සිටිමු. එසේනම් එම ගෙවීම් අඩු විය යුතු ය. ශුද්ධ විදේශ ආදායම් ලැබීම් සහ ගෙවීම් එකතු වීමෙන් මෙම ආදායම සකස් වේ. එහෙත් ඒවා නිසාම ආදායම් ඉහළ ගියේ යැයි කිව නොහැකි ය.

ශ්‍රී ලංකාව අපනයන ප්‍රවර්ධනය සහ කාර්මීකරණය අතින් ඉතා දුර්වල තැනක පසුවන බව කිව යුතු ය. එනිසා ඉදිරියේ දී විදේශ ණය ගෙවීම් ද අභියෝගයක් වන බව පෙනෙන්නට තිබේ. එබැවින් කිව හැක්කේ ඉහළ මධ්‍යම ආදායම් ලබන කාණ්ඩයට ඇතුළත් වීම අර්බුදයට පැටලී නොසිටීමට හේතුවක් නොවන බව ය. නිදසුනක් දක්වන්නේ නම් ඇමෙරිකාව ඉහළ ආදායම් ලබන රටක් වුවත් නිතරම ආර්ථික කඩා වැටීම්වලට මුහුණ දෙයි. මේ නිසා ශ්‍රී ලංකාව ස්ථාවර කාර්මීකරණයක් හා අපනයන ප්‍රවර්ධනයක් සහිත ආර්ථික සංවර්ධන මාවතකට යොමු විය යුතු ය. විදේශ සංචිත කොතරම් ප්‍රමාණයකින් වැඩි කරගන්නේ ද ඒ වෙනුවෙන් විදේශ ආයෝජන හා අපනයන ප්‍රවර්ධනය වේගවත් කරන්නේ ද යන කරුණු ද්විත්වය මත ණය ගෙවා ගැනීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීමට පිළිවන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවත් ණය වැඩසටහනකට අවතීර්ණ වීමට අවශ්‍ය වන්නේ ද යන්නත් ඒ අනුව තීරණය වනු ඇත.

ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක තත්වය ලැබීම අන්තර්ජාතික තලයේ දී ධනාත්මක දර්ශකයක් ලෙසින් භාවිත කළ හැකි ය. එයින් ධනාත්මක පණිවුඩයක් ආයෝජකයන්ට සහ ජාත්‍යන්තරයට ලැබේ. එහෙත් එය ප්‍රයෝජනයට ගැනීමට නම් රට ඇතුළත බොහෝ ප්‍රතිසංස්කරණ කළ යුතු ය. හේතුව, මේ වර්ගීකරණය පමණක් සලකමින් ආයෝජකයන් රටට නොපැමිණෙන නිසා ය. තෙල් සම්පත් බහුල වෙනිසියුලාවත් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් වශයෙන් තිබී පසුව ආයෝජන නොලැබීම හා විදේශ විනිමය ඉපැයීම් කඩා වැටීම හේතුවෙන් ආර්ථික අර්බුදයකට ඇදවැටුණි. මේ පූර්වාදර්ශයත් සිත්හි තබාගෙන අප කළ යුත්තේ මධ්‍යම ආදායම් ලබන රටක තත්වයට පත්වීම ගැන උදම් අනනවා වෙනුවට එය අවස්ථාවක් හැටියට හොඳින් ප්‍රයෝජනයට ගැනීම ය. ඉදිරි අවුරුදු දෙක තුනක කාලයේ දී ආර්ථිකය ශක්තිමත් කළ හැක්කේ එවැනි ප්‍රවේශයක් අනුගමනය කිරීමෙන් පමණි.

 

(*** සකස් කළේ උපුල් වික්‍රමසිංහ)