ඇමෙරිකාව සහ ඉරානය අතර අත්සන් කරන ලද සාම ගිවිසුම හේතුවෙන් ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් ගොඩ නැගුණු අවිනිශ්චිතතාව සහ අර්බුදය පහව යන තත්වයක් ඇතිව තිබේ. රටවල් දෙක අතර ගිවිසුම අත්සන් කිරීම සඳහා සූදානම් කර තිබූ උත්සවය අවලංගු කිරීම, ඊශ්‍රායලය ලෙබනනයට තවදුරටත් පහරදීම සහ ඉරානය හෝමෝස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමීම වැනි හේතු නිසා ඇති කර ගන්නා ලද එකඟතා සම්බන්ධයෙන් කිසියම් අපැහැදිලි බවක් මතුව තිබෙන නමුදු, පසුගිය ඉරිදා යළිත් සාකච්ඡා ආරම්භවීමෙන් පැහැදිලි වනුයේ යුද්ධය නිම කිරීමට හැකි තත්වයක් නිර්මාණය වෙමින් පවතින බවයි. ඇතිකර ගත් එකඟතා පිළිබඳව ඊශ්‍රායලය සතුටක් නොදක්වන බව දැනටමත් ප්‍රකාශ වී ඇත. ඇමෙරිකාව තුළ ද එරට ඩිමොක්‍රටික් පක්ෂය (Democratic Party) දැඩි ලෙස ට්‍රම්ප් විවේචනය කරමින් සිටී.

ඩොන්ල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ ගිවිසුම ඇති කර ගැනීමෙන් ඇමෙරිකාව ජයග්‍රහණය කර ඇති බවත්, ඉරානය පරාජයට පත්වී ඇති බවත්ය. එසේ වුව ද බොහෝ දෙනකුගේ පිළිගැනීම වී ඇත්තේ ඉරානය ජයග්‍රහණය කර ඇති බවය. ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය අත්හැර දැමීමට එකඟවී ඇති අතර හෝමුස් සමුද්‍ර සන්ධිය යළිත් විවෘත කිරීමට ද එකඟ වී තිබේ. ඒ වෙනුවෙන් ඇමෙරිකාව ඉරානයට පනවා ඇති නාවික අවහිරතා ඉවත් කිරීමට ද, ඉරානයට පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කිරීමට ද, ඉරානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඩොලර් මිලියන 300ක අරමුදල් සම්පාදනය කිරීමට ද එකඟ වී තිබේ. ඉරානය මීට පෙර ද තම න්‍යෂ්ටික කටයුතු අවි නිෂ්පාදනය සඳහා යොදා නොගන්නා බවට ප්‍රකාශ කළේය.

ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් පසු ලෝක තෙල් නිෂ්පාදනයෙන් සියයට 20ක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කරන මාර්ගයක් වැසී ගියේය. ඒ හේතුවෙන් ලෝකයේ ඉන්ධන මිල ගණන් අති විශාල ලෙස ඉහළ ගිය අතර ඇමෙරිකාව ඇතුළු බොහෝ රටවල ආර්ථික කටයුතු සම්බන්ධයෙන් දැඩි පීඩනයක් එල්ල විය. එවැනි තත්වයක් තුළ ලෝක ආර්ථිකයට මෙන්ම ඇමෙරිකානු ආර්ථිකයට ද, යුරෝපා රටවල් ඇතුළු බොහෝ බටහිර රටවලට ද ගැටලු‍ රැසකට මුහුණ දීමට සිදු විය. එබැවින් ලෝක ආර්ථික අර්බුදය තවදුරටත් ව්‍යාප්තවීම වළක්වා ගැනීමට නම් යුද්ධය නතර කර ගත යුතුව තිබුණි.

ඇමෙරිකාව සහ ඊශ්‍රාලය එකතු වී ඉරානයට පහර දුන් නමුදු බලාපොරොත්තු වූ ආකාරයෙන් ඉරානය පරාජය කිරීමට හෝ දුර්වල කිරීමට හෝ එම රටවලට නොහැකි විය. ඉතා ප්‍රබල ගුවන් ආරක්ෂක පද්ධති බිඳ හෙළමින් ඊශ්‍රායලයට පහරදීමට ඉරානයට හැකිවිය. ගල්ෆ් කලාපයේ පවත්නා ඇමෙරිකානු යුද කඳවුරුවලට සහ දේපළවලට විශාල හානියක් කිරීමට ද ඉරානයට හැකිවිය. ඇමෙරිකාව ඉරානයට යටත් වන ලෙස දන්වා සිටි නමුදු ඉරානය ඒ කිසිවක් මායිම් නොකර දිගටම ඊශ්‍රායලයට සහ ගල්ෆ් කලාපයේ ඇමෙරිකන් යුද කඳවුරුවලට ප්‍රහාර එල්ල කළේය. සාම සාකච්ඡාවලට එළැඹෙන ලෙස ඇමෙරිකාව තර්ජනය කරද්දී එම තර්ජන කිසිවකට ඇමෙරිකාවට අවශ්‍ය පරිදි ප්‍රතිචාර දැක්වීමට ඉරානය සුදානම් වූයේ නැත.

අවසානයේ දී කරුණු 14ක් අඩංගු ගිවිසුම පිළිබඳ එකඟතාවකට පැමිණීමට රටවල් දෙකට හැකියාව ලැබුණි. එසේ වුවත් ගිවිසුම අත්සන් කිරීම වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයට සහභාගි නොවීමට ඉරානය තීරණය කළේ ඊශ්‍රායලය දිගින් දිගටම ලෙබනනයට පහරදීම නිසාය. ඇමෙරිකාව එය වැළැක්වීමට කටයුතු කළ නමුදු ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟතාව පළ කර, ඒ සමගම නැවත වරක් ලෙබනනයට පහරදීමට කටයුතු කළේය. ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය යළිත් වරක් වසා දැමුවේ එයට විරෝධය පළ කරමිනි. මෙවර ඇමෙරිකා, ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය සම්බන්ධයෙන් දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයක් වනුයේ බොහෝ රටවල් ඊශ්‍රායලය හෙළා දකින තත්වයකට පත් වීමයි. සමහර රටවල් බෙන්ජමින් නෙතන්යාහු තම රටවල ගුවන් සිමාවට ඇතුළු වුවහොත් අත්අඩංගුවට ගන්නා බව ප්‍රකාශ කර තිබේ. එයට හේතුව ලෝක අධිකරණය ගාසා තීරයේ යුද අපරාධ සම්බන්ධයෙන් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කර තිබීමයි.

ඊශ්‍රායලය, ඇමෙරිකානු - ඉරාන සාම ගිවිසුමට පාර්ශ්වකරුවකු වූයේ නැත. ඊට හේතුව ඇමෙරිකාව විසින් ගනු ලබන තීරණවලට ඊශ්‍රායලය එකඟ විය යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් කර සිටීමයි. ඇමෙරිකාව ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා ඉරානයට එරෙහිව සටන් කළ නමුදු සාම ගිවිසුමේ පාර්ශ්වකරුවකු බවට ඊශ්‍රායලය පත්කර නොගැනීමෙන් ඊශ්‍රායලය නොසලකා හැර තිබේ. ඊශ්‍රායලය ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට ඊශ්‍රායලය කටයුතු කරන බවයි. මෙම තත්වයේ ප්‍රතිඵලය වී ඇත්තේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය අතර ද ගැටුම් නිර්මාණය වීමයි. ඇමෙරිකානු උප ජනාධිපති ජේඩී වෑන්ස් (J.D Vance) මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ ඊශ්‍රායලයට ඉතාම හිතවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් බවය. ඊශ්‍රායලය පවතින්නේ ඇමෙරිකාව නිසා බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

ඊශ්‍රායලය සහ ඇමෙරිකාව අතර හොඳ හිත පළුදුවීම සහ ගැටුම්කාරී තත්ව ඇතිවීම වළක්වා ගත නොහැකි යැයි සිතෙන තරමට එම අර්බුදය දුරදිග ගොස් තිබේ. කෙසේ වුව ද ඇමෙරිකානු - ඉරාන ගිවිසුමට අනුකූලව ඊශ්‍රායලය කටයුතු නොකරන්නේ නම් එහි එකඟතා තවදුරටත් පවත්වා ගෙනයාම දුෂ්කර වනු ඇත. ගිවිසුම ක්‍රියාත්මක වීම වැළැක්වීමට ඊශ්‍රායලය විවිධ උපාය මාර්ග අනුගමනය කරන බවක් ද පෙනෙන්නට තිබේ. එබැවින් කලාපය තුළ සාමය ඇති කිරීමට නම් ඇමෙරිකාවට ඊශ්‍රායලය දැඩි ලෙස පාලනය කිරීමට සිදුවනු ඇත. එය මැද පෙරදිග කලාපය තුළ බල තුලනය සම්බන්ධයෙන් නවමු අත්දැකීමක් වනු ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන යුද්ධයට පෙර ලෝක දේශපාලනය සහ ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රදර්ශනය කළ මහා බලවතකුගේ භූමිකාව දෙදරා යන තත්වයක් යුද්ධයෙන් පසු ඇතිව තිබේ. වෙනිසියුලාව යටත් කරගත් ආකාරයටම කියුබාව යටත් කර ගැනීමට දැරූ උත්සාහය තවමත් සාර්ථක වී නැත. ඕනෑම රටක් තමන් අභිමත පරිදි තම අණසකට යටත් කර ගැනීමට හැකියාව ඇතැයි ට්‍රම්ප් විසින් ඒ දක්වා අඟවන ලද තත්වය දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. ට්‍රම්ප් තම තිරුබදු ප්‍රතිපත්තියෙන් චීනය ඇතුළු රටවල් මෙල්ල කිරීමට දැරූ උත්සාහය ද සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ වී ඇත. ඇමෙරිකාව ගනු ලබන ඕනෑම ක්‍රියා මාර්ගයකට ඒ ආකාරයෙන්ම ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව චීනය ප්‍රායෝගිකවම ඔප්පු කිරීම නිසා ඇමෙරිකාවට චීනය සම්බන්ධයෙන් තර්ජනය වෙනුවට සුහදතාව අනුගමනය කිරීමට සිදුව තිබේ.

දෙවැනි වරට ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් සම්මුතිය වෙනුවට බලය යෙදවීමෙන් ආර්ථික කටයුතු පාලනය කිරීමට දැරූ උත්සාහය අසාර්ථකවීම නිසාත්, ඉරාන යුද පරාජය නිසාත් නැවත වරක් ලෝක ආර්ථිකය සම්මුති මගින් ක්‍රියාත්මක වන යුගයකට අවතීර්ණය වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. අවි බලයෙන් රටවල් පාලනය කිරීම සඳහා ඇමෙරිකාව තවදුරටත් උත්සාහ කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. එයට හේතුව ට්‍රම්ප්ගේ එම ප්‍රතිපත්තියට ඇමෙරිකාවට හිතෛෂි රටවල් බොහොමයක්ම විරෝධය පෑමයි. ඇමෙරිකා, ඉරාන යුද්ධයේ දී නේටෝ සංවිධානය කිසිදු අයුරකින් එයට සහයෝගය දීමට ඉදිරිපත් නොවීය.

ඇමෙරිකාව දැන් යුරෝපය තුළ තමන් විසින් පවත්වාගෙන ගිය යුද කඳවුරු සහ ආරක්ෂක විධි විධාන නවතා දැමීම ආරම්භ කර තිබේ. එයින් ඇමෙරිකාව නේටෝව තුළ මේ දක්වා ඉටු කළ නායකත්ව භූමිකාව වෙනස් වී නේටෝව බොහෝ දුරට යුරෝපීය සංවිධානයක් බවට පත්වීමට ඉඩ තිබේ. සමහර යුරෝපා රටවල් ප්‍රකාශ කර තිබුණේ යුරෝපය තමන්ගේම ආරක්ෂක පිළිවෙතකට එළැඹිය යුතුව ඇති බවයි. යුද්ධය හේතුවෙන් යුරෝපයට විඳීමට සිදුවී ඇති ආර්ථික අපහසුතා අවසන් වී නැත. ඉන්ධන අර්බුදයකට මුහුණ දීමට එම රටවලට සිදුවිය. ට්‍රම්ප්ගේ ඇමෙරිකාවට මුල් තැන (America First) ප්‍රතිපත්තිය හේතුවෙන් යුරෝපා රටවලට ද ආර්ථික ගැටලු‍වලට මුහුණ දීමට සිදුව තිබේ. එහි ප්‍රතිඵලය වන්නේ එක කඳවුරක් ලෙස චීනයට එරෙහිව ක්‍රියාත්මක වූ ආර්ථික යුද්ධය තවදුරටත් පවත්වා ගෙන යා නොහැකි තත්වයකට එම රටවල් මුහුණදීමයි.

සාම ගිවිසුම අත්සන් කිරීමත් සමග පකිස්තානය ඉන්ධන මිල පහළ දැමුවේය. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරිය ඇතුළු ඇමැතිවරුන් ප්‍රකාශ කළේ දැනට රටට ලැබෙමින් පවතින ඉන්ධන වැඩි මිලට මිලදී ගත් ඒවා නිසා ඒවායේ මිල අඩු කිරීමක් කළ නොහැකි බවයි. ආණ්ඩුව යුද්ධය ආරම්භ වනවිට ලංකාව තුළ ගබඩා කර තිබූ අඩු මිලට ගත් ඉන්ධනවල මිල ගණන් ක්ෂණිකව ඉහළ දැම්මේය. මිල වැඩි කරන විට එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කළ නමුදු මිල අඩුවී තිබිය දී එම සහන ජනතාවට ලබා දීමට සූදානම් නැති බව පෙනේ. ඉන්ධන මිල වැඩි කිරීමත් සමග ශ්‍රී ලංකාවේ මෝටර් රථ සඳහා වූ ඉන්ධන ඉල්ලු‍ම පහත වැටී ඇති ආකාරය විශ්ලේෂණය කරන්නේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමෙන් මහජනතාව විඳින පීඩාව අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත. යුද්ධය නිම වුවත් රටට ගෙන්වූ බාල ගල් අඟු‍රු තවත් බොහෝ කාලයක් යනතුරු භාවිත කිරීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත. ඒ තාක් කල් ඉන්ධන වෙනුවෙන් අධික මිලක් ගෙවීමට ලාංකික ජනතාවට සිදුවනු ඇත.

 

(***)