පළාත් සභා ඡන්දය පැවැත්වෙනවාද නැද්ද යන්න පිළිබඳව වන අවධානය දැන් කාලයක් පුරා මතුවෙමින් යට යමින් තිබෙන බව පෙනේ. මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය පවත්වා දැනට අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගත වී තිබේ.
මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වෙන මොනම හෝ අතුරු මැතිවරණයක් පවත්නා ආණ්ඩුව පිළිබඳ ජනතා ප්‍රසාදය හෝ අප්‍රසාදය මැන බලන සාධකයක් බවට පත් වේ. එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ එක ලක්ෂණයකි. ඒ අනුව බලන කල පැවැත්වීමට නියමිතව ඇති පළාත් සභා මැතිවරණය ආණ්ඩුව පිළිබඳ ජනමත විචාරණයක් බවට පත්වීමට ද පුළුවන.
බලයේ සිටින ආණ්ඩු මේ නිසාම පළාත් සභා ඇතුළු අතුරු මැතිවරණ කල් දමා ගැනීමට කැමැත්තක් දක්වන බව අතීත උදාහරණවලින් පැහැදිලි වේ. පළාත් සභාවලට අද වන විට මේ තත්වය ඇතිවී තිබෙන්නේ ද එහි ප්‍රතිඵලයක් වශයෙනි. 2017 දීද මෙම ගැටලුව මතුවූ අතර බලයේ සිටි ආණ්ඩුව කළේ පළාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමය. කේවල ඡන්ද කොට්ඨාස ක්‍රමය අනුව සීමා මායිම් නිර්ණය කිරීමට කොමිසමක් පත් කළ විට එම කොමිෂන් වාර්තාව එදා ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් ඇතුළු සමස්ත පාර්ලිමේන්තුවම ප්‍රතික්ෂේප කළේය. එදා සිටම පාලනය වන්නේ ඡන්දයෙන් පත්වූ පළාත් සභා නොවේ. එසේ නම් සීමා නිර්ණය කිරීමේ ක්‍රියාවලිය අවසන් කළ යුතුය. එය අවසන් කිරීමට නම් පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර යෝජනා සම්මත කළ යුතුය. එසේත් නැත්නම් කළ යුතුව තිබෙන්නේ පැරැණි ක්‍රමය යටතේම ඡන්දය පැවැත්වීමය. කෙසේ වෙතත් මේ වනවිට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර අදහස් විමසමින් සිටියි.
පෙනෙන්නට තිබෙන හැටියට පළාත් සභා මැතිවරණය කල්දමා ගැනීම පමා කිරීම හොඳය කියන අදහසේ ඇතැමුන් තවමත් සිටින බව පෙනේ. ගැටලුව මේ පමා කිරීම කොපමණ කාලයක් ඇදගෙන යා හැකි ද යන්නයි. මගේ අදහස නම් තවදුරටත් කල්මැරීමකින් තොරව පළාත් සභා ඡන්දය පැවැත්වීම ආණ්ඩුවට හිතකර බවය. එය ආණ්ඩුව සහ ජනමතය අතර සම්බන්ධය නැවත සකස් කිරීමට අවස්ථාවකි. ආණ්ඩුව මේ අවස්ථාවේදී ඊට මුහුණ දිය යුතුය.
කෙසේ වෙතත් පළාත් සභා ක්‍රමය පිළිබඳ දීර්ඝකාලීන සංවාදයක් අපේ රටේ පැවැතිණ. පළාත් සභා යෝජනාව මෙරටට ගෙනාවේ ඩොනමෝර් කොමිසම මගිනි. පසුව පළාත් සභා නාමය වෙනුවට දිස්ත්‍රික් සභා, සංවර්ධන සභා ආදී වශයෙන් පහළට පහළට මෙම සභා ක්‍රමය තල්ලු වී අඩපණ වී තිබුණු අවස්ථාවකය උතුරු නැගෙනහිර යුද්ධය පැන නැගුණේ. එම ප්‍රශ්නයේ දී ඉන්දියාව කළ මැදිහත්වීමත් ඉන්දු ලංකා ගිවිසුම ඇතිවීමත් නිසා පළාත් සභා ක්‍රමය පිළිබඳ සංශෝධනයක් කිරීමට එවකට ආණ්ඩුව එකඟ විය. එය 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. එම සංශෝධනය ඉන්දියාවේ බලපෑම නිසා ඇතිවූ එකක්ය යන අදහස සමාජයේ මතුවී තිබිණ. එහෙත් ඇත්ත තත්වය සලකා බැලුවොත් පළාත් සභා පිහිටුවීමේ අදහස නවසිය හතළිස් ගණන්වල සිටම බණ්ඩාරනායක මහතා මතු කළ බව පෙනේ. ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමේ දීද පළාත් සභා සංකල්පය පිළිබඳ සංවාදය ඉස්මතු වී තිබිණ. බලය විමධ්‍යගත කර ආණ්ඩුවේ කාර්යභාරයන් බෙදා වෙන්කර ගැනීම ආණ්ඩුවේ කාර්යක්ෂමතාවට අවශ්‍ය බව එහිදී තේරුම්ගෙන තිබිණ. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමෙන් මේ සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීමට උත්සාහ කළත් එය ජනවාර්ගික ප්‍රශ්නයක් පැත්තට තල්ලු වී ගියේය. මේ පසුබිම නිසා එම ගිවිසුම අතහැර දැමීමට බණ්ඩාරනායක මහතාට සිදු විය. මෙහි යෝජනා වී තිබුණේ උතුරට එක සභාවක් සහ නැගෙනහිරට සභා තුනක් වශයෙනි. අදහස තිබුණේ නැගෙනහිරට දෙමළ, සිංහල හා මුස්ලිම් වශයෙන් සභා තුනක් සැකසෙනු ඇති බවය. මේ අතර පළාත් සභාවලට සීමා මායිම් ඉක්මවා වැඩ කළ හැකිය යන අදහස මතුවීම නිසා මේ උත්සාහ කරන්නේ උතුර නැගෙනහිර එකතු කිරීමටය යන මතය ඇතැම්හු කරළියට රැගෙන ආහ. එය එක් කිරීමට ඉඩ නොදිය යුතුය යන අදහස ඔවුහු පෙරට රැගෙන ආහ.
කෙසේ වෙතත් ලංකාවේ පරිපාලනය ආණ්ඩුකරණය කොළඹ කේන්ද්‍ර කරගෙන පමණක් කළ නොහැකි එකකි. අදත් කොළඹින් පිට ඈත ප්‍රදේශවලට ගිය විට එම ප්‍රදේශවල ඇති අනේකවිධ ප්‍රශ්නවල ස්වභාවය හඳුනාගත හැකිය. එම ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට නම් පළාත් මට්ටමින් මැදිහත් විය යුතුය. ඈත පළාතේ මාර්ගවල දුෂ්කරතා කොළඹ ආණ්ඩුවට පෙනෙන්නේ නැත. ඊට සාර්ථකව මැදිහත් විය හැක්කේ පළාතේ පළාත් සභා නගර සභා ප්‍රාදේශීය සභා ආදියටයි. පළාතට අදාළ ප්‍රශ්න විසඳීමට නම් ඊට අවශ්‍ය තීරණ ගැනීමට එම පළාතේ පාලනයට අවශ්‍ය ශක්තිය ලබා දිය යුතුය. රාජ්‍යයේ බලය තුළ පවතින ව්‍යවස්ථා සම්පාදනය, විධායකය, පරිපාලනය, මුදල් ඉපයීමේ බලය, ඉහළ සිට පහළට ගලා යා යුතුය. නවසිය හතළිස් ගණන්වල පමණ පළාත් සභා මට්ටමින් මුදල් බලතල ලබා දීමට යෝජනා වීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඊට විරුද්ධ වූහ. ඇතැම් මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ පළාත් සභා පළාත් පාලන ආයතන ඒ තරමට දූෂිත බවය. අවසානයේ එකල මේ සඳහා අල්ලස් කොමිසමක් පවා පත් කරන්නට සිදුවිය. ඡන්ද බලයත් සමගම මුදල් ගනුදෙනු හා හොරකම් දූෂණ වර්ධනය වීම ද මේ තත්වය ඇතිවීමට බලපෑ බව පෙනේ. මන්ත්‍රීවරුන් පවා කෝටි ගණනට විකිණෙන තත්වයක් නිර්මාණය විය. පක්ෂ මාරු තහනම් පනත් පවා ගෙනෙන්නට සිදු වී ඇත්තේ මේ පරිසරය නිසාය. සමස්තයක් ලෙස බැලූ විට එය දේශපාලන සංස්කෘතියේ පවත්නා ගැටලුවකි.
13 වැනි සංශෝධනයේ දී බලය විමධ්‍යගත කිරීම ගැන කතා කළත් ඇත්ත වශයෙන්ම බලය බෙදීමක් සිදු වී නැත. එහි දී සිදු වී ඇත්තේ පාර්ලිමේන්තුව නීති සම්පාදනය කරන විෂයයන් කවරේදැයි ලැයිස්තුගත කර ප්‍රධාන ලැයිස්තුව පාර්ලිමේන්තුව සතුව තබාගෙන ද්විතීය ලැයිස්තුවේ යම් යම් විෂයයන් පළාත් සභාවලට පැවරීමය. පළාත් සභා විසින් කරනු ලබන්නේ නීති සම්පාදනය නොව ප්‍රඥප්ති සම්පාදනයයි. එය ද්විතියික නීතියකි. ඒ අනුව පළාත් සභාවට පැවැරෙන්නේ පාර්ලිමේන්තු නීතියක් නැවත ද්විතියික නීතියක් ලෙස අර්ථ නිරූපණය කරමින් පළාතට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමය. එහෙත් එය ක්‍රියාවට නැංවීමට නම් ආනුසාංගික විධිවිධාන අවශ්‍ය වේ. නැතහොත් කැබැලිවලට වෙන් කරගත යුතු වේ. උදාහරණයකට ලංගමයට බස් අවශ්‍ය වුවත් බස් මිලදී ගැනීමට ටෙන්ඩර් පටිපාටි අවශ්‍ය වේ. ඊට අවශ්‍ය වෙනත් කාරණා සම්පූර්ණ කළ යුතු වේ. ඒවා ආනුසාංගික විධිවිධාන යටතට වැටේ. එහෙත් මධ්‍යම ආණ්ඩුවෙන් පත් කළ ආණ්ඩුකාරවරයකු නැතිනම් පළාත් සභාව ඉදිරිපත් කරන ප්‍රඥප්ති ක්‍රියාත්මක කළ නොහැකිය. අවශ්‍ය නම් ආණ්ඩුකාරවරයාට අත්සන් නොකර සිටීමට ද පුළුවන. මේ අනුව බලන කල පළාත් සභාවට බලය බෙදී නැත. සිදු වී ඇත්තේ යම් යම් සීමා තුළ අතුරු විෂයයන් නම් කිරීමයි. සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය ඇතුළු සෑම විෂයයක්ම පාහේ පළාත් සභා තුළ ක්‍රියාත්මක වන්නේ මේ සීමාවලට යටත්වය. එහෙත් අවශ්‍ය වන්නේ නීතියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන පරිපාලන පටිපාටි විධිවිධාන පිළිබඳ කටයුතු සඳහා පළාත් සභාවලට ඉඩ දීමය. කෙසේ වෙතත් මධ්‍යම ආණ්ඩුවේ ඍජු මැදිහත්වීමකින් තොරව පළාත් සභාවල ක්‍රියාවට නැංවූ ඇතැම් ක්ෂේත්‍ර වඩාත් සාර්ථකව ඉදිරියට පැමිණි බවක් අපට නිරීක්ෂණය කළ හැකිය. උදාහරණයකට පෙරපාසල් ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය දැක්විය හැකිය. ඇතැම් පළාත් සභා මෙම ක්ෂේත්‍රය වඩාත් සාර්ථකව වර්ධනය කර ඇති සැටි දැකිය හැකිය.
පළාත් සභාව සුදු අලියෙක්ය යන්න බොහෝ දෙනා අතර පවතින අදහසකි. එහෙත් මෙය නිර්මාණය කළ මතයකි. පළාත් සභාවලට අවශ්‍ය සෑම බලයක්ම ලබා දුන්නේ නැත. එහෙත් එය මහජනතාව ඇතැම්විට නොදන්නා කාරණයක් විය හැකිය. පළාත් සභාවලට වෙන්වන මුදල්වලින් සියයට අසූවක්ම නැවත යෙදවෙන්නේ මධ්‍යම ආණ්ඩුව යටතේම තිබෙන ආයතන පවත්වාගෙන යාමටය. ඒවායේ කාර්ය මණ්ඩලවල වැටුප් ගෙවීමටය. එහෙත් මතය නිර්මාණය වන්නේ පළාත් සභාවලට විශාල මුදලක් වෙන් වුවත් සිදුවන දෙයක් නැති බවටය. පළාත් සභාවලට අවශ්‍ය බලතල නොදී ජනතාවට දැනෙන සේවයක් කරන්නේ කෙසේද? එය අත පය බැඳ දමා මුහුදට දමා පිහිනන්නට කීම හා සමානය. බදු ආදායමෙන් වුවත් පළාත් සභා සඳහා ලැබෙන්නේ සියයට දහයක පමණ සුළු ප්‍රමාණයකි. ඉතිරිය යන්නේ මධ්‍යම ආණ්ඩුවටය.
තමන්ගේම පරිපාලන ආයතනයක් පිහිටුවීමට පළාත් සභාවට බලය ලැබී නැත. පළාත් සභාවේ ඉහළ නිලතල පවා පවතින්නේ ඒකාබද්ධ සේවයක් ලෙසය. ඒවායේ බලය ඇත්තේ මධ්‍යම ආණ්ඩුව සතුවය. ප්‍රමාණවත් ව්‍යවස්ථාමය බලතල ලබා නොදුන් ආයතනයක් බාහිර සමාජයට සුදු අලියකු ලෙස පෙනීම සාධාරණය. ඒ අර්ථයෙන් ගත්තොත් ඇත්ත වශයෙන් සුදු අලියකු වී තිබෙන්නේ පළාත් සභාව නොව මධ්‍යම ආණ්ඩුවයි. ඇතැම් විට පළාත් සභාව සඳහා වෙන්වන සම්පූර්ණ මුදල් මධ්‍යම ආණ්ඩුවෙන් ලබා නොදෙන අවස්ථාව ද වේ. පළාත් සභා ක්‍රමය අසාර්ථකය යන මතය නිර්මාණය වීමට මේ සියලු කාරණා බලපා තිබේ.
අනෙක් කාරණය පළාත් සභා බෙදීම් රටේ ජනවාර්ගික කාරණා සඳහා බලපෑම් කරන්නක් සේ සැලකිය නොහැකිය. එය ඊට වඩා සංවර්ධනාත්මක ක්ෂේත්‍ර වෙත අවධානය යොමු කරමින් ක්‍රියාවට නැංවිය යුතු එකකි. ග්‍රාම සංවර්ධනය පළාත් සභාවේ දී අවශ්‍ය වුවත් එම විෂය පළාත් සභාවට ඇතුළත් නොවේ. එය අයත් වන්නේ මධ්‍යම ආණ්ඩුවටය. හරිනම් දැනට ක්‍රියාත්මක වන සමෘද්ධිය, ජනසවිය, අස්වැසුම ග්‍රාම සංවර්ධනය මේ සියල්ල පළාත් සභාව ලවා ක්‍රියාත්මක කරගත යුතුය. ඊට අවශ්‍ය මුදල් ලබා දිය යුත්තේ පළාත් සභාවටය. ඉන්දියාව මුළු රටටම සැලසුම් සකස් කළත් බලතල ලබා දෙන්නේ ඒ ඒ ප්‍රාන්ත සඳහාය. එහෙත් අපේ රටේ සියල්ල මධ්‍යම ආණ්ඩුව බදාගෙන සිටින නිසා පළාත් සභාවල බලතල සීමා වී තිබේ. පළාත් සභා නිසා රට බෙදෙන්නේ නැත. එබැවින් ඒ සඳහා අවශ්‍ය බලතල දීමය වඩාත් අවශ්‍ය වන්නේ. පළාත් සභාව වැඩ කළත් ඒවා මෙහෙයවන්නේ ආණ්ඩුකාරයායි. ආණ්ඩුකාරයා ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකි. ඒ අනුව බැලූ විට පළාත් සභාවේ තිබෙන්නේ ජනාධිපතිවරයාගේ පාලනයකි.
මූලික වශයෙන් අපේ ව්‍යවස්ථාව සකසා තිබෙන්නේ මධ්‍යගත විධායක පාලනයක් සඳහාය. පළාත් සභාවට නිසි බලතල පැවරීමට නම් නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුය. ජාතික ජන බලවේග ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් සැකසීමේ පොරොන්දුව පිට බලයට පැමිණි පිරිසකි. එබැවින් දැන් වුව ද ඒ සඳහා ඔවුන්ට අවස්ථාව තිබේ. ජාතික ප්‍රශ්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විසඳීම කළ නොහැකිය. ඊට වෙනත් විකල්ප අවශ්‍ය වේ. එය පැත්තක තබා පාලන ක්‍රමය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව සකස් කිරීමේ අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කිරීමය දැන් කළ යුත්තේ. ඒ සඳහා අවශ්‍ය සංවාදය ගොඩනැගීමය දැන් කළ යුතු වන්නේ.
(***)
සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd