පාස්කු ඉරු දින ප්‍රහාරය ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසයේ අතිශය වේදනාකාරි ජාතික තුවාලයකි. එදා මියගියේ අහිංසක මිනිස්සු පමණක් නොවෙති. රාජ්‍යය පිළිබඳ මහජන විශ්වාසය ද බරපතළ ලෙස තුවාල විය. එම නිසා පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍යය සෙවීම කිසිදු පක්ෂයක දේශපාලන ව්‍යාපෘතියක් නොවිය යුතුය. එය වින්දිතයන්ට, ඔවුන්ගේ පවුල්වලට, ආගමික සහ ජාතික සංහිඳියාවට, ආරක්ෂක අංශවල නිර්දෝෂි සාමාජිකයන්ට සහ රටේ නීති පද්ධතියට අයත් යුක්තිය පිළිබඳ ප්‍රශ්නයකි.

එහෙත්, අද පාස්කු විමර්ශනය වටා වෙනත් දේශපාලන ක්‍රියාවලියක් දක්නට ලැබේ. හිටපු බුද්ධි නිලධාරින්, ආරක්ෂක බල ව්‍යුහයන් හෝ පැරැණි දේශපාලන කඳවුරට සමීප පුද්ගලයන් හෝ පිළිබඳව නීතිය ක්‍රියාත්මක වීමට පටන්ගන්නා විට, එය “දේශපාලන දඩයමක්” ලෙස නම් කිරීමේ ප්‍රචාරණයක් ඉදිරියට එයි. මතුපිටින් එය නීත්‍යනුකූල පටිපාටිය ගැන කතා කරන බව පෙනේ. එහෙත්, එහි ගැඹුරු දේශපාලන කාර්යය වන්නේ නීතිය ක්‍රියාත්මක වීමට පෙරම එම ක්‍රියාවලිය අපකීර්තියට පත් කිරීමයි.

පාස්කු දා ප්‍රහාරය සහරාන් හෂීම් ප්‍රමුඛ ආගමික අන්තවාදි ජාලයක් ක්‍රියාත්මක කළ බව පිළිගැනීම, එම ප්‍රහාරය සිදු වීමට ඉඩ හැරුණේ කෙසේ ද යන ප්‍රශ්නය අහෝසි නොකරයි. ප්‍රහාරය කළ අය හඳුනාගැනීම එක කරුණකි. එය වැළැක්වීමට තිබූ අවස්ථා අහිමි වූයේ ඇයි ද, අනතුරු ඇඟවීම් නොසලකා හැරුණේ කෙසේ ද, විමර්ශන අවහිර වූයේ ද, බුද්ධි සේවා සහ දේශපාලන බල ව්‍යුහ අතර අසාමාන්‍ය සම්බන්ධතා තිබුණේ ද සහ ප්‍රහාරයෙන් පසු ඇති වූ ආරක්ෂක භීතියෙන් දේශපාලන වාසි ලැබුවේ කවුද යන්න සෙවීම තවත් කරුණකි.

“සහරාන් කළා” යන පිළිතුර “අනිත් කිසිවක් විමර්ශනය නොකරන්න” යන නිගමනයට ගෙන යා නොහැකිය. එය නීතියේ තර්කයක් නොව, සත්‍යය සීමා කිරීමට කරන දේශපාලන තර්කයකි. පාස්කු විමර්ශනයේ සැබෑ ප්‍රශ්නය වන්නේ, ප්‍රහාරය කළේ කවුද යන්න පමණක් නොවේ. එය සිදු වීම වැළැක්වීමට රාජ්‍යය අසමත් වූයේ ඇයි ද, එම අසමත් වීම අහම්බයක් ද, නැති නම් බල සම්බන්ධතා, නොසලකා හැරීම්, ආරක්ෂක දේශපාලනය සහ පසුව ලැබුණු දේශපාලන වාසි සමග බැඳී තිබුණේ ද යන්නයි.

මෙහිදී වත්මන් රජයේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රවේශයද නිවැරැදිව කියවිය යුතුය. පසුගිය දේශපාලන සංස්කෘතිය තුළ නීතිය බොහෝ විට බලය, පදවිය, පක්ෂ සම්බන්ධතා සහ පාලක වරප්‍රසාද ඉදිරියේ මන්දගාමි වූ බව ජනතාව අත්විඳ ඇත. එවැනි පසුබිමක, වත්මන් රජය නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඉහළම ස්වාධීන අවකාශයක් ලබා දී ඇති බව පෙනේ. නීතියට දේශපාලන අනුමැතියක් බලා නොසිට බලය ඇති අය වෙත ළඟා විය හැකි වාතාවරණයක් ඇති වීම, නීතියේ ආධිපත්‍යය සජීවි කිරීමකි.

 

දේශපාලන දඩයමක් ද?

එබැවින්, නීතිය බලවත් පුද්ගලයකු වෙත ළඟා වූ පමණින් එය “දේශපාලන දඩයමක්” බවට පත්වන්නේ නැත. දේශපාලන දඩයමක් තිබේ නම්, එය සාක්ෂි මත පෙන්විය යුතුය. විමර්ශනය පැරැණි පාලක කඳවුරකට, හිටපු ආරක්ෂක නිලධාරියකුට හෝ දේශපාලන වශයෙන් බලවත් පුද්ගලයකුට අදාළ වූ නිසා පමණක් එය පළිගැනීමක් යැයි කියවීම, නීතියේ ස්වාධීන ක්‍රියාකාරිත්වයට එරෙහි ආරක්ෂණ ප්‍රචාරණයකි. නීතිය නිදහස් කළ විට එය බලය නොබලා ගමන් කරයි. එය තමන්ගේ දොරටුවට පැමිණෙන විට පමණක් “දඩයමක්” ලෙස නම් කිරීම, වගවීමෙන් පලා යාමේ රටාවකි.

ඒ සමගම රජය සැකකරුවන්ගේ අයිතිවාසිකම් ද දැඩි ලෙස ආරක්ෂා කළ යුතුය. සැකකරුවකු සම්බන්ධයෙන් කිසිදු ආකාරයක නොසැලකිල්ලක්, අයිතිවාසිකම් උල්ලංඝනයක් හෝ දේශපාලන පළිගැනීමක් සිදු විය නොහැකිය. රැඳවුම් භාරයේ සිටින අධි අවදානම් පුද්ගලයකු රෝහල්ගත කළ විට, එය සාමාන්‍ය රෝහල්ගත කිරීමක් නොව රැඳවුම් භාර රෝහල්ගත කිරීමකි. එහිදී ඔහුගේ ජීවිතය, විමර්ශනයේ විශ්වසනීයභාවය සහ රාජ්‍යයේ නීතිමය වගකීම එකිනෙකට බැඳී ඇත.

මෙම විවාදයේ තවත් වැදගත් මූලධර්මයක් වන්නේ, ජාතික ආරක්ෂාව සහ ප්‍රජාතන්ත්‍රවාදී වගවීම අතර සම්බන්ධයයි. ඇතැම් ප්‍රචාරණ රේඛා “බුද්ධි නිලධාරින් විමර්ශනය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයකි” යන අදහස සමාජගත කරයි. මෙය සාමාන්‍ය නීතිමය ප්‍රශ්නයක් “ජාතික ආරක්ෂක තර්ජනයක්” ලෙස නම් කර, සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදි විමසීම පවා නවතා දැමීමේ උත්සාහයකි. එහෙත්, සැබෑ ජාතික ආරක්ෂාව යනු රහස්‍යභාවයෙන් ආවරණය වූ අසීමිත බලයක් නොවේ. එය නීතියට යටත්, අධීක්ෂණයට විවෘත, වෘත්තීයමය සහ මහජන විශ්වාසය හිමි ආරක්ෂක යාන්ත්‍රණයකි. බුද්ධි සේවා රටකට අත්‍යවශ්‍යය. එසේ වුවත් බුද්ධි සේවා රහස්‍යභාවය කිසිවකුට නීතියෙන් ඉහළින් සිටීමට බලපත්‍රයක් විය නොහැක. රහස්‍යභාවය රට ආරක්ෂා කිරීමට භාවිත විය යුතුය. බලය ආරක්ෂා කිරීමට නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයක ආරක්ෂක හා බුද්ධි ආයතන රහස්‍ය බලයේ හිමිකරුවෝ නොවෙති. ඒවා මහජනතාව වෙනුවෙන් බලය පවරා ඇති ආයතන වේ. මහජනතාවගේ බදු මුදලින් ක්‍රියාත්මක වන ආයතන මහජන ආරක්ෂාව වෙනුවෙන් බලය භාවිත කළ යුතුය. එම බලය පවරා ඇති නිසාම ඒවාට වගවීමේ වගකීම ද ඇත. එබැවින්, රහස්‍යභාවය අවශ්‍ය වුවත්, එය වගවීමෙන් මිදීමට පලිහක් විය නොහැකිය. යම් පුද්ගල බුද්ධි නිලධාරියකු පිළිබඳව විමර්ශනය කිරීම, සමස්ත හමුදාවට එරෙහි ප්‍රහාරයක් ලෙස පෙන්වීම වැරැදි සමානකරණයකි. හමුදාවේ ගෞරවය ආරක්ෂා වන්නේ වගවීමෙන් මිස, වගවීමෙන් පලා යාමෙන් නොවේ. නිර්දෝෂි පුද්ගලයන්ගේ නම පිරිසුදු කිරීමටත්, වරදක් කළ පුද්ගලයන් ඇත්නම් හඳුනා ගැනීමටත් අවශ්‍ය වන්නේ විනිවිදභාවයෙන් යුත් විමර්ශනයකි. හමුදාවේ නාමය පුද්ගල වගකීම් ආවරණය කරන දේශපාලන පලිහක් වූ විට, හානිය සිදු වන්නේ හමුදාවටමය.

 

සත්‍යය සොයා යාම

පාස්කු දා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන භූමිය වෙනස් විය. ජනතාව තුළ බිය, කෝපය, ආරක්ෂාව පිළිබඳ අවිශ්වාසය සහ ශක්තිමත් පාලනයක් පිළිබඳ ඉල්ලු‍ම එකවර ඉහළ ගියේය. දේශපාලන ආර්ථික විද්‍යාත්මකව බැලූ විට, එම අවස්ථාවේ “ආරක්ෂාව” හුදු රාජ්‍ය සේවාවක් නොව දේශපාලන වටිනාකමක් සහිත සම්පතක් බවට පත්විය. මහජන භීතිය, ආරක්ෂාව පිළිබඳ අවිනිශ්චිතභාව සහ ශක්තිමත් පාලනයක් පිළිබඳ ඉල්ලු‍ම, මැතිවරණ බලය බවට පරිවර්තනය කළ හැකි දේශපාලන ප්‍රාග්ධනයක් විය. එම භීතියෙන් දේශපාලන වශයෙන් වාසි ලැබූ බල කඳවුරු අද පාස්කු සත්‍යය සෙවීම නීතිමය හා දේශපාලන අවදානමක් ලෙස දැකීම පුදුමයක් නොවේ. එවැනි අවස්ථාවක, ඔවුන්ගේ ප්‍රචාරණ උපාය වන්නේ, නීතියේ ස්වාධීන ගමන “දේශපාලන දඩයමක්” ලෙස නැවත නම් කිරීමයි. මෙය හුදු මාධ්‍ය ප්‍රචාරණයක් නොව, වගවීමේ පිරිවැය අඩු කරගැනීමට කරන බල දේශපාලන උපායයකි.

ඒ නිසාම, පාස්කු විමර්ශනය “දේශපාලන දඩයමක්” ලෙස නම් කිරීම හුදු අදහස් ප්‍රකාශයක් නොවේ. එය වගවීමෙන් පලා යාමේ උපායයකි. වගවීමට මුහුණ දිය යුතු අවස්ථාවක, වගවීමේ ක්‍රියාවලියම පළිගැනීමක් ලෙස පෙන්වීම එහි මූලික ක්‍රමයයි. එමගින් මහජන අවධානය සත්‍යයෙන් ඉවත් කර, “කවුද විමර්ශනය කරන්නේ?”, “ඒ අයගේ දේශපාලන අරමුණ කුමක්ද?”, “මෙය හමුදාවට එරෙහිද?” වැනි ප්‍රශ්නවලට යොමු කරයි. එහෙත්, මූලික ප්‍රශ්නය අමතක නොකළ යුතුය: පාස්කු දා ප්‍රහාරය සිදු වීමට ඉඩ හැරුණේ කෙසේ ද?

විශාල ජන හානියක් සිදු වූ අපරාධයකදී යුක්තිය යනු මියගිය මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ නම් නැවත කියවීම නොවේ. යුක්තිය යනු, සම්පූර්ණ සත්‍යයයි. අනතුරු ඇඟවීම් ලැබුණේ කාට ද? ඒවා නොසලකා හැරුණේ ඇයි? සහරාන්ගේ ජාලය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට තිබූ අවස්ථා අහිමි වූයේ කෙසේද? විමර්ශනවලට බාධා කළේ කවුද? ප්‍රහාරයෙන් පසු දේශපාලන වශයෙන් බලයට ළඟා වුණේ කවුද? යන ප්‍රශ්න වින්දිතයන්ට හිමි සත්‍යය සොයා යන නීතිමය සහ සදාචාරමය ප්‍රශ්න වේ.

 

සැබෑ ජාතික සංහිඳියාව

එබැවින්, රටට අවශ්‍ය වන්නේ විමර්ශනය ශක්තිමත් කිරීමයි. එහෙත්, එය නීතියෙන් පිටත නොව, නීතිය තුළින් සිදු විය යුතුය. සැකකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුය. වින්දිතයන්ගේ සත්‍යය දැනගැනීමේ අයිතිය ආරක්ෂා කළ යුතුය. ආරක්ෂක අංශවල ගෞරවය සමූහ වශයෙන් අපකීර්තියට පත් නොකළ යුතුය. එසේම, ආරක්ෂක අංශවල නාමය කිසිදු පුද්ගලයකුට නීතියෙන් පලා යාමට භාවිත කිරීමට ඉඩ නොදිය යුතුය.

වත්මන් රජය නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඉහළ ස්වාධීන අවකාශයක් ලබා දී තිබීම සාධනීයය. එහෙත්, එම ආයතන දිගුකාලීන දේශපාලන බලපෑම්, පැරැණි පාලන සම්බන්ධතා සහ තෝරාගත් නීති ක්‍රියාත්මක කිරීමේ සංස්කෘතියක් තුළින් වර්ධනය වූ පසුබිමක ක්‍රියාත්මක වේ. එබැවින්, නීතියට නිදහස ලබා දීම පමණක් ප්‍රමාණවත් නොවේ. එම නිදහස අධිකරණ අධීක්ෂණය, මානව හිමිකම්, විනිවිදභාවය සහ ආයතනික වගවීම සමග බැඳී තිබිය යුතුය. නීතිය බලවත් පුද්ගලයන් වෙත ළඟා වීම “දේශපාලන දඩයමක්” ලෙස කලින්ම නම් කිරීමෙන් වින්දිතයාගේ සත්‍යය විනාශ වෙයි. එසේම, නීති ක්‍රියාත්මක කරන ආයතන තුළ පැරැණි දේශපාලන සංස්කෘතියේ සෙවණැලි තිබිය හැකි බව නොසලකා හැරීමෙන් සැකකරුවාගේ අයිතිවාසිකම් සහ විමර්ශනයේ විශ්වසනීයභාවය අවදානමට ලක් වෙයි. සැබෑ වගවීම යනු, මේ දෙකම ආරක්ෂා කරමින් සත්‍යය සෙවීමයි.

රටක් සුවපත් වීමේ පළමු කොන්දේසිය සම්පූර්ණ සත්‍යයයි. එය පළිගැනීමක් නොව, රාජ්‍යය නැවත විශ්වාස කළ හැකි ද යන්න පිළිබඳ පරීක්ෂාවකි. එබැවින්, මූලික ඉල්ලීම පැහැදිලිය. නීතියට ස්වාධීනව ක්‍රියා කිරීමට අවකාශය ලබා දිය යුතුය. එහෙත්, එම ස්වාධීනත්වය අධිකරණ වගවීම, විනිවිදභාවය සහ මානව හිමිකම් ආරක්ෂාව සමග බැඳී තිබිය යුතුය. සත්‍යයට ළඟා විය හැකි ප්‍රජාතන්ත්‍රවාදි මාර්ගය එයයි.

 

(***)

රුහුණු විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ

කථිකාචාර්ය ආචාර්ය

චන්දික ගුණසිංහ