පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් පක්ෂ මාරු කිරීම වැළැක්වීම සඳහා ආණ්ඩුව අලුත් පනතක් ගෙන ඒමට යන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය සතියේ කළ ප්‍රකාශයට මෙරට දේශපාලන පක්ෂවලින් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් පළ වූයේ නැත.
වෙනකක් තබා පක්ෂ මාරු කිරීම පිළිබඳව ප්‍රසිද්ධ මන්ත්‍රීවරුන්, ජාතික ජන බලවේගය බලයට පත් වූ පසු ක්‍රියාකාරී දේශපාලනයෙන් ඈත් වී සිටින පුද්ගලයන් හා ආණ්ඩුව කුමක් කීවත් කළත් විශාල කලබලයක් කරන පුද්ගලයන් පවා සිටින්නේ එවැන්නක් නෑසුණාක් මෙනි.
ඇතැම් විට පක්ෂ මාරු කිරීම අවස්ථාවාදී ප්‍රතිපත්තියක් ලෙස පොදුවේ පිළිගැනෙන හෙයින් ආණ්ඩුවේ නව නීතියට එරෙහි වී ජනතාව අතර අප්‍රසාදයට ලක් වීමට ඇති අකැමැත්ත නිසා හා එම නීතියට පක්ෂ වී ආණ්ඩුවට ලකුණු දමා ගැනීමට ඉඩ දීමට ඇති අකැමැත්ත නිසා සියල්ලන්ම නිහඬව සිටිනවා විය හැකිය.
ශ්‍රී ලංකාව වැනි රටවල සිදුවන ආකාරයට පක්ෂ මාරු කිරීම සඳහා කෙනකු තුළ අසාමාන්‍ය ධෛර්යයක් හා ලජ්ජා විරහිත බවක් තිබිය යුතුය. මන්දයත් බොහෝ විට එය සිදුවන්නේ කිසිදු ප්‍රතිපත්තිමය පදනමක් නැතිවය. එය සිදුවන්නේ බලය, ධනය හා සමාජ තත්වය අරමුණු කරගෙනය. එසේ පක්ෂයකින් ඉවත් වූ පුද්ගලයෝ වෙනත් පක්ෂයකට එක් වී තමන් කලින් වන්දනා කරමින් සිටි පක්ෂයේ නායකයන් සොරුන් හා මිනීමරුවන් ලෙස හැඳින්වීමට පවා යොමුවෙති.
සමහරු එතැනින් නොනැවතී යළිත් පැරැණි පක්ෂයට එක් වී කිසිදු හිරිකිතයක් නැතිව දෙවැනුව තමන් එක් වූ පක්ෂයේ නායකයන් සොරුන් හා මිනීමරුවන් ලෙස හඳුන්වති. තවත් සමහරු මේ ආකාරයට කිහිප වතාවක් ඒ පක්ෂයෙන් මේ පක්ෂයටත් මේ පක්ෂයෙන් ඒ පක්ෂයටත් මාරු වෙමින් තමන් කලින් සිටි පක්ෂයේ නායකයන්ට පහර ගසති. තමන් අපහාස කළ නායකයන් ජාතික වීරයන්යැයි වර්ණනා කරති.
එහි අනෙක් පැත්ත නම් තමන්ගේ පක්ෂයේ සිට වෙනත් පක්ෂයකට ගොස් තමන්ට අපහාස කළ අයකු යළිත් තම පක්ෂයට එන විට ඔහු සාදරයෙන් පිළිගැනීමට පක්ෂ නායකයන් ද සූදානම්ව සිටීමයි. නායකයන් වුව ද අනුගාමිකයන් වුව ද මේ ආකාරයට දේශපාලනය කරන්නට ඔවුන් තුළ අසාමාන්‍ය ධෛර්යයක් හා ලජ්ජා විරහිත බවක් තිබිය යුතුයැයි අප පවසන්නේ එහෙයිනි.
තමන්ගේ ප්‍රතිපත්ති අනෙක් පක්ෂවල ප්‍රතිපත්තිවලට වඩා වෙනස්යැයි ද අනෙක් පක්ෂවල ප්‍රතිපත්ති විනාශකාරී යැයි ද සෑම දේශපාලන පක්ෂයකම දේශපාලනඥයන් රටට කියා සිටිය ද නිමල් සිරිපාල ද සිල්වා මහතා 1994 සිට බලයට පත්වූ සෑම ආණ්ඩුවකම ඇමැති ධුර හොබවා ඇත. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද එම කාලය තුළම ඊනියා යහපාලන ආණ්ඩුව හැර බලයට පත්වූ අනෙක් සෑම ආණඩුවකම ඇමැතිවරයකුව සිටියේය. ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ද මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන් යටතේ ඇමැති ධූර දැරීය. දයාසිරි ජයසේකර හා රාජිත සේනාරත්න වැන්නෝ ද වාර ගණනාවක් පිල් මාරු කළවුන් ලෙස ප්‍රකටව සිටිති.
වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් ලෙස සිට පිල් මාරු කළවුන් නැති පළමු හා එකම ආණ්ඩුව ජාතික ජන බලවේගය ආණ්ඩුවයි. කෙසේ වෙතත් පෙර පැවැති ආණ්ඩුවල මන්ත්‍රී ධුර හා ඇමැති ධුර දැරූ ඇතැම් පුද්ගලයන් පසුගිය ජනාධිපතිවරණයට පෙර ජාතික ජනබලවේගයට සම්බන්ධ වන්නට උත්සාහ දැරූ බව ඒ දිනවල අසන්නට ලැබිණි. පාර්ලිමේන්තුවේ නැති වුව ද ජාතික ජන බලවේගය සමග එක්ව ඇතැම් පළාත් පාලන ආයතන පාලනය කරන වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් අතර පිල් මාරු කළවුන් සිටිය හැකිය.
දේශපාලනඥයන් එක් පක්ෂයක සිට තවත් පක්ෂයකට යාම හෝ එක් පක්ෂයකින් ඉවත් වී අලුත් පක්ෂ පිහිටුවීම බොහෝවිට සිදුවී ඇත්තේ ප්‍රතිපත්තිමය පදනමින් හෝ සදාචාරමය පදනමින් හෝ නොවේ. කලාතුරකින් සිදුවන සිදුවීමක් දෙකක් හැර මෙවැනි පිල් මාරු කිරීම් සිදු වී ඇත්තේ බලය, නිලය, ධනය හා සමාජ තත්වය ඉලක්ක කරගෙනය. ප්‍රතිපත්තිමය වෙනස්කම් හා න්‍යායයික ගැටුම් හේතුවෙන් පිල් මාරුවීම් හා කැඩී යාම් සිදුවී ඇත්තේ බොහෝ දුරට වාමාංශික පක්ෂවල පමණි.
ප්‍රතිපත්තියෙන් තොර දේශපාලනය එක් රටකට සීමාවූවක් නොවේ. මහත්මා ගාන්ධි එය හැඳින්වූයේ සමාජය විනාශ කරන සදාචාරමය කඩාවැටීම් හතෙන් එකක් ලෙසය. ඔහු එම සදාචාරමය කඩාවැටීම් මහා පාප ක්‍රියා හත වශයෙන් ද දක්වා ඇත. ඒ අනුව නම් ප්‍රතිපත්තියෙන් තොරව ඇමැති ධූර, නිලය, බලය හා වරප්‍රසාද පතා පිල් මාරු කිරීම ද වැටෙන්නේ එම මහා පාප ක්‍රියාවල ගණයටය. මෙම පිල් මාරුවේ අරමුණ ඉතා පැහැදිලිය. එය අනෙකක් නොව දූෂණයයි. එහෙයින් ප්‍රායෝගික තත්ව කෙසේ වෙතත් දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නට පොරොන්දු වූ ජාතික ජන බලවේගය මෙවැනි නව පනතක් ගෙන ඒම සාධාරණය.
කෙසේ වෙතත්, මෙවැනි නව පනතක් නැති වුව ද මහජන නියෝජිතයන් පිල් මාරු කිරීම වැළැක්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇත. උදාහරණයක් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තමන් පාර්ලිමේන්තුවට පත්වූ පක්ෂයෙන් ඉවත් වී වෙනත් පක්ෂයකට යන්නේ නම් හෝ පාර්ලිමේන්තුව තුළ තමන් නියෝජනය කරන පක්ෂයට එරෙහිව කටයුතු කරන්නේ නම් එම පක්ෂයේ ලේකම්වරයාට ඔහු පක්ෂයෙන් නෙරපා දැමිය හැකිය. එවිට ඔහුගේ මන්ත්‍රී ධුරය ද අහෝසි වේ.
එහෙත් එම ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය කොන්දේසියකට යටත් වූවකි. ඔහුගේ මන්ත්‍රී ධුරය එසේ අහෝසි වන්නේ ලේකම්වරයා ඔහු නෙරපූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට දැනුම් දීමෙන් මාසයකට පසුවය. එම මාසය තුළ තමන් පක්ෂයෙන් නෙරපීම හා තම මන්ත්‍රී ධුරය අහෝසි කිරීම අවලංගු කරන ලෙස ඉල්ලා අදාළ මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිය හැකිය.
එසේ අධිකරණයේ පිහිට පැතුව ද තම මන්ත්‍රී ධුරය රැක ගත නොහැකි වූ හිටපු මන්ත්‍රීවරුන් මෙන්ම අධිකරණයේ පිහිටෙන් මන්ත්‍රී ධුරය රැක ගත් හිටපු මන්ත්‍රීවරු ද සිටිති. 1989 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ තිලක් කරුණාරත්න මහතා තම පක්ෂය විවේචනය කරමින් ජනමාධ්‍යයට විවිධ ප්‍රකාශ කිරීමේ චෝදනාව මත 1993 දී ඔහු පක්ෂයෙන් නෙරපා දමනු ලැබීය. මීට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර බහුතර එකඟතාවෙන් අධිකරණය තීන්දු කළේ ඔහු ප්‍රසිද්ධියේ පක්ෂය විවේචනය කරන්නට පෙර තම මතය වෙනුවෙන් ඔහු පක්ෂය තුළ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති හෙයින් ඔහු පක්ෂයෙන් නෙරපීම නීතියෙන් වලංගු නොවන බවයි.
මෙසේම 1999 ජනාධිපතිවරණය ආසන්නයේ දී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හමුවී ඇයට සහයෝගය පළ කළේය යන චෝදනාව මත සරත් අමුණුගම මහතා ඇතුළු පස්දෙනෙක් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා දමනු ලැබූහ. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී එජාප නොමනා පටිපාටියක් අනුගමනය කර ඇතැයි නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පස් දෙනා සම්බන්ධයෙන් යළිත් විනය පරීක්ෂණයක් පවත්වන්නැයි එජාපයට දැනුම් දුන්නේය. එහෙත් කුමක් හෝ හේතුවක් මත එජාපය එවැනි පරීක්ෂණයක් කළේ නැත. එහෙයින් ප්‍රායෝගිකව පිල් මාරු කළ ද එම පස්දෙනාගේ මන්ත්‍රී ධුර අහෝසි වූයේ නැත.
පක්ෂයෙන් නෙරපනු ලැබුව ද මන්ත්‍රී ධුරය රැකගත් තවත් අයකු වන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ බෂීර් සේගුදාවූද් මහතාය. 2001 මහ මැතිවරණ සමයේ මුස්ලිම් කොංග්‍රසය හා ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ ජාතික සමගි පෙරමුණ නමින් සන්ධානයක් ගොඩ නගාගෙන සිටියේය. එහි නායිකාව වූයේ ෆේරියල් අෂ්රෆ් මහත්මියයි. අභ්‍යන්තර ප්‍රශ්නයක් හේතුවෙන් ඇය සේගුදාවූද් මහතා තම සන්ධානයෙන් නෙරපා ඔහු මන්ත්‍රී ධුරයෙන් ද නෙරපීම සඳහා ඒ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට ද දැනුම් දුන්නාය. ප්‍රශ්නය 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිය විට අධිකරණය තීන්දු කළේ සෙගුදාවූද් මහතා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයකු මිස ජාතික සමගි පෙරමුණේ සාමාජිකයකු නොවන හෙයින් ඔහු එම පෙරමුණෙන් නෙරපිය නොහැකි බවයි. එමගින් ඔහුගේ මන්ත්‍රී ධූරය රැකිණි.
තමිල් අරසුකච්චි පක්ෂය වෙනුවෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ පී.එච්.පියසේන මහතා 2010 දී එම පක්ෂයෙන් නෙරපීම ද තාක්ෂණික කරුණු මත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවලංගු කෙරිණි.
මේ සිදුවීම් දාමය පෙන්වන්නේ පිල් මාරු කිරීම මත හා පක්ෂයට එරෙහි වීම මත පක්ෂයකට තම මන්ත්‍රීවරයකු පක්ෂයෙන් හා පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ හැකියැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වුව ද ඒ සමග එහි සඳහන් කොන්දේසිය අනුව අදාළ මන්ත්‍රීවරයාට තම මන්ත්‍රී ධුරය රැක ගැනීමට ද ඇතැම්විට අවස්ථාව ලැබෙන බවයි. පිල් මාරු කිරීම වැරැදියැයි ද එය වැළැක්වීමට නව නීතියක් අවශ්‍යයැයි ද අප පිළිගන්නේ නම් නව පනතෙන් මෙම තත්වයට ද පිළියම් යෙදිය යුතුය. එසේම මන්ත්‍රීවරුන්ගේ හෘදය සාක්ෂිය ජනතා වරම හා පක්ෂ විනය යන කරුණු ද එහිදී සලකා බැලිය යුතුවේ.
ධනය, නිලය, බලය වැනි දෑ අරමුණු කරගෙන දේශපාලනඥයන් පිල් මාරු කිරීම නිසා අප එය සදාචාර විරෝධීයැයිද එය වැළැක්වීමට නීති ගෙන ආ යුතුයැයි ද තර්ක කළ හැකි වුවත්, එසේ නොවන තත්ව යටතේ ද මන්ත්‍රීවරයකු තම පක්ෂයෙන් ඉවත් විය හැකිය. නැත්නම් ඉවත් කරනු ලැබිය හැකිය.
උදාහරණයක් වශයෙන්, අතිශයින් ජනතාවාදී පොරොන්දු දී බලයට පත් පක්ෂයක ආණ්ඩුවක් දූෂණයට යොමු වන්නේ නම් හෝ මර්දනකාරී නීති රීති ගෙන එන්නේ නම්, හෘදය සාක්ෂියට එකඟව එම කටයුතු අනුමත කළ නොහැකි එම පක්ෂයේ මන්ත්‍රීවරයකු කරන්නේ කුමක්ද? එක්කෝ ඔහු සිතට විරුද්ධව එම පක්ෂයේ කටයුතු අනුමත කරමින් සිටිය යුතුය. නැත්නම් පක්ෂයට එරෙහිව අරගල කළ යුතුය. යෝජිත පනත යටතේ මන්ත්‍රී ධුරය ද රැක ගනිමින් ඔහුට එසේ අරගල කළ නොහැකිය.
අප දැක්වූ මෙම උදාහරණය අනුව ජනතා වරමට අනුකූලව සිතන්නේ පක්ෂය නොව මන්ත්‍රීවරයාය. එහෙත් යෝජිත පනත අනුව එවැනි තත්වයක් යටතේ කටයුතු සිදුවන්නේ ජනතා වරමට පිටුපාන පක්ෂයට අවශ්‍ය පරිදිය.
අනෙක් අතට පක්ෂයක මන්ත්‍රීවරුන් සියලු දෙනාම එකසේ සිතන්නේ, පතන්නේ හෝ ප්‍රශ්න දෙස බලන්නේ නැති හෙයින් එකඟතා ඇති කර ගන්නා තෙක් පක්ෂ අභ්‍යන්තරයේ මත ගැටුම් ඇතිවිය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය එයයි. එහෙත් පක්ෂයේ සියලු දෙනාම පක්ෂයේ සීමාවෙන් පිටතදී හැකිතාක් එක මතයක සිටිය යුතුය. පක්ෂ විනය යනු එයයි. පක්ෂයක පැවැත්මට එය අත්‍යවශ්‍ය කොන්දේසියකි. පිල් මාරුව තහනම් කෙරෙන නීතියක මන්ත්‍රීවරුන්ගේ හෘදය සාක්ෂිය ජනතා වරම හා පක්ෂ විනය ආදිය තුලනය විය යුතුය.
පෙර පැවැති කේවල ආසන මැතිවරණ ක්‍රමය යටතේ පක්ෂය හා මන්ත්‍රීවරයා අතර ගැටුමක දී පක්ෂ විනයට වඩා මන්ත්‍රීවරයාගේ හෘදය සාක්ෂියට තැනක් ලැබිණි. එහෙත් 1978 දී හඳුන්වා දෙනු ලැබූ සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය යටතේ පක්ෂ විනයට වැඩි තැනක් ලැබේ.
මේ සියලු කරුණුවලට වඩා යෝජිත පනතේ ප්‍රායෝගිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් ද ඇත. පිල් මාරු කිරීමකින් අනතුරුව මන්ත්‍රීවරයකු යම් පක්ෂයකින් නෙරපා දමනු ලැබුවහොත් ඔහුට අධිකරණයට යාමට අවස්ථාව සලසා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනි. එය ව්‍යවස්ථා සංශෝධනයකින් විනා සාමාන්‍ය පනතකින් අහෝසි කළ හැකි සහනයක් නොවේ. ඒ අනුව ආණ්ඩුව යෝජිත පනත වැනි සාමාන්‍ය පනතකින් පිල් මාරුව අවසන් කරන්නේ කෙසේද යන්න පැහැදිලි නැත.
(*** එම්.එස්.එම්.අයුබ්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd