වසර හතකට පෙර 2019 පාස්කු ඉරිදා දිනෙක සිදුවූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා ගනු ලැබ සිටීම පිළිබඳව ඇතැම් විරුද්ධ පක්ෂ විරෝධය පළ කරමින් සිටී.
එම පක්ෂවල නායකයන් මුලදී කෙළින්ම මෙම අත්අඩංගුවට ගැනීම ගැන විරෝධය පෑව ද දැන් එය වෙනස් කර ඇතැමෙක් එය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි විරෝධයක් ලෙස ද තවත් පිරිසක් එය රහස් පොලීසිය සලේට කායික හා මානසික වශයෙන් වධ දෙන බව කියමින් ඊට දක්වන විරෝධයක් ලෙස ද පෙන්වීමට උත්සාහ කරති.
සලේ බලන්නට රහස් පොලිස් මූලස්ථානයට ගොස් ආපසු එන අතර ජනමාධ්‍යයට අදහස් දැක් වූ ඔහුගේ සොහොයුරා ද පැවැසුවේ දැනට කෙරෙන පරීක්ෂණවලට තමන් විරුද්ධ නොවන බවත් තමන් ඉල්ලා සිටින්නේ තම සොහොයුරාට මානුෂිකව සැලකිය යුතු බවත්ය.
රහස් පොලීසිය සලේට ආහාර හෝ නොදෙන බව ද රඳවා ගනු ලැබ සිටින වෙනත් සිරකරුවන් ඉදිරියේ ඔහු නිරුවත් කරමින් හා වෙනත් ආකාරවලින් අඩන්තේට්ටම් කරමින් ඔහු අවමානයට පත් කරන බව ද ආණ්ඩුව රහස් පොලීසිය ලවා එසේ කරන්නේ කොටි සංවිධානය විනාශ කිරීම නිසා කෝපයට පත් වී සිටින දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතා අනුව යැයි ද සලේ වෙනුවෙන් හඬ නඟන්නෝ චෝදනා කරති.
කෙසේ වෙතත් මෙම ප්‍රචාර මගින් මේ වන විටත් ඔවුන් සලේගේ ප්‍රතිරූපය බොහෝ දුරට විනාශ කර හමාරය. අප එසේ කියන්නේ ඔවුන් සලේ හමුදාවේ බුද්ධි අංශයේ දැවැන්තයකු බව කියමින්ම ඔහු තමන්ට රහස් පොලීසිය කරන හිරිහැර ගැන කියමින් හඬා වැළපෙන බව ප්‍රකාශ කරන හෙයිනි. යුද්ධය පැවැති සමයේ ඉතාමත් අනතුරුදායක අංශයක් වූ බුද්ධි අංශයේ කෙනකු කෙසේ වෙතත් සාමාන්‍ය හමුදා සෙබළකු වුව ද පුහුණු කෙරෙන්නේ දින ගණන් කුසගින්න හා වධ දීම් වැනි දෑ දරාගෙන මානසිකව නොවැටී සිටින අයුරිනි. එසේ තිබියදී ඔහු තමන්ට කරනවා යැයි කියන හිරිහැර ගැන කියා හඬා වැටෙන බව ඔවුන් කියන්නේ නම් ඔහු ඉතාමත් දුර්වල පුදගලයකු විය යුතුය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සලේගේ භාරයේ මාස ගණනාවක් රඳවා ගනු ලැබ සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ද ෆේස්බුක් සටහනකින් කියා තිබුණේ තමන් නිවැරැදි නම් සලේ ශක්තිමත්ව ප්‍රශ්නයට මුහුණ දිය යුතු බවය. එසේම සලේ යටතේ තමන් රඳවා ගනු ලැබ සිටියේ ඔහු දැන් සිටින තත්වයට වඩා ඉතාමත් නරක තත්ව යටතේ යැයි ද තමන් ශක්තිමත්ව ඒ තත්වයට මුහුණ දුන් බව ද හිස්බුල්ලා මහතා සඳහන් කර තිබිණි.
එහෙත් සලේ වෙනුවෙන් හඬ නගනවුන් අතිශයින් මර්දනකාරී හා අසාධාරණ වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට දැන් හෝ විරුද්ධ වන්නේ නම් එය අගය කළ යුතුය. එතැනදී ඔවුන් එසේ විරුද්ධ වන්නේ අවස්ථාවාදීවය යන්න ද ඉතා පැහැදිලිය. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සලේට චෝදනා කරන්නන් පවසන්නේ සලේ එසේ කළේ රාජපක්ෂවරුන් වෙනුවෙන් බවයි. ඇත්ත වශයෙන්ම සලේ වෙනුවෙන් හඬ නඟන්නේ හෝ හඬන්නේ ප්‍රධාන වශයෙන්ම හිටපු ජනාධිපත් මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කඳවුරේ සිටින්නන් බව ඉතා පැහැදිලිය.
ඔවුන් පසුගිය දශක තුනකට වැඩි කාලයක් තිස්සේ මෙම පනත වෙනුවෙන් පෙනී සිටී අයයි. ඊට එරෙහිවන්නන් ත්‍රස්තවාදයට පක්ෂපාතී දේශද්‍රෝහීන් වශයෙන් හැඳින්වූ අයයි. ඔවුන් දැන් හෝ ඊට එරෙහි වීම අවස්ථාවාදී වුව ද යහපත් දෙයකි. සලේ ද දීර්ඝ කාලයක් එම පනත ක්‍රියාත්මක කරන්නට පෞද්ගලිකව මැදිහත් වූ අයෙකි.
අත්අඩංගුවේදී නිරුවත් කර ගුද මාර්ගය පරීක්ෂාවට ලක් කරනු ලැබූ පළමු පුද්ගලයා සලේ නොවේයැයි බන්ධනාගාරගත වූවෝ කියති. ජනමාධ්‍යයට අදාළ ප්‍රශ්නයක් මත තමන් බන්ධනාගාරයේ සිටි කාලයේ තමන් ඇතුළු සෑම සිරකරුවකුම එළියට ගෙන ගොස් යළි ඇතුළට ගන්නා සෑම වාරයකම මෙම තත්ත්වයට මුහුණ දීමට සිදු වූ බව ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියකු දින කිහිපයකට පෙර යූටියුබ් සංවාදයකට සහභාගි වෙමින් පැවැසීය. මෙය අතිශයින් දරුණු මානසික වධයක් බවට සැකයක් නැත. එහෙත් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය හා ජංගම දුරකතන රහසින් ගෙන ඒම වැළැක්වීම මෙම පරීක්ෂාවේ අරමුණ වූ හෙයින් තමන් ද ඊට එරෙහි වීමට නොහැකි වූ බව එම ජනමාධ්‍යවේදියා පැවැසීය.
දෙමළ ඩයස්පෝරාවක් ගැන කියා තම විරෝධයට වාර්ගික ආවේගයක් ආරෝපණය කර මහජන සහයෝගය ලබා ගන්නට උත්සාහ කරමින් ඔවුන් පසුගිය සඳුදා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළ ද ඊට සහභාගි වී තිබුණේ ඉතා සුළු පිරිසකි. මෙය වත්මන් ආණ්ඩුවේ ජනප්‍රියතාව පෙන්වන දර්ශකයක් ලෙස කිසිවකු පිළිගත යුතු නැත. මෙය සලේ අත්අඩංගුවට ගන්නට පාදක වූ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව ජන හදවත් තුළ කොතරම් විශාල කම්පනයක් ඇති කර තිබේද යන්න හා ඒ පිළිබඳව දැනට කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් වූ ඔවුන්ගේ සංවේදී බව පෙන්වන්නේය යන්න අනුමානයයි.
වධ දීම වෙනත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද නීතියෙන් තහනම් කරන ලද වරදකි. එහෙත් ඇමෙරිකාවේ ඇතැම් අධිකරණ එරට විදේශ ඔත්තු සේවය වන මධ්‍යම ඔත්තු ආයතනය හෙවත් සී.අයි.ඒ ආයතනයේ වධ දීම් වසන් කිරීම අනුමත කර තිබේ.
“කිසිම තැනැත්තකු වධ හිංසාවලට හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය” යනුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ. එසේම වධ හිංසාවට එරෙහි එ.ජා. සම්මුතියට (UNCAT) හා එහි විකල්ප නීතිරීතිවලට ද ශ්‍රී ලංකාව අත්සන් කර ඇත.
එහෙත් සත්‍යය නම් ශ්‍රී ලංකාව ඇතුළු සෑම රටක්ම අපරාධ, ත්‍රස්තවාදී කටයුතු පමණක් නොව සාමාන්‍ය වැරැදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට පවා වධදීම නොනිල මට්ටමෙන් පිළිගෙන ක්‍රියාත්මක කරන්නේය යන්නයි. එසේම සෑම රටකම පාහේ කැරැලිකරුවෝ ද එය තම සතුරන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරති. සෑම රටකම සෑම පොලිස් ස්ථානයකම, හමුදා කඳවුරකම හා කැරැලිකරුවන්ගේ කඳවුරු ඇත්නම් ඒවායේ සැකකරුවන්ගෙන් හා සතුරන්ගෙන් තොරතුරු ලබා ගැනීම සඳහා මෙය නිතිපතා ක්‍රියාත්මක වේ. එහෙත් ඒවායින් ප්‍රවෘත්ති බවට පත්වන්නේ සිදුවීම් දහස් ගණනකින් එකක් පමණි.
1971 කැරැල්ලේ දී කමලබන්දු නම් තම සාමාජිකයාගෙන් ප්‍රශ්න කිරීමේ දී පොලීසිය විදුලි කියතකින් ඔහු කැබලිවලට කැපූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ පවසති. එම කැරැල්ලේ දී වධ දී මරා දැමූ සිය ගණනකගේ සිරුරු එකල ගංගාවල පා වූ බව ද කියවේ. දෙමළ සංවිධාන මර්දනය කිරීම සඳහා 1979 දී එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විශේෂ හමුදා කණ්ඩායමක් යැවීය. දකුණේ දී කමලබන්දු නම් තරුණයාට කළා සේ ඒ දිනවල ඉන්බම් නමැති තරුණයකු ද කැබලිවලට කපා මිනිසුන් බියගැන්වීම සඳහා එම සිරුරු කොටස් යාපනයේ මහමග දමා තිබුණු බව එකල පුවත්පත්වල පළවිය.
ජවිපෙ දෙවැනි කැරැල්ල සමයේ ක්‍රියාත්මක වූ බටලන්ද වධ කඳවුර පිළිබඳ කතාව ප්‍රබන්ධයක් නොවේ. එතැනට ගෙන යනු ලැබූ විජයදාස ලියනආරච්චි නම් මානව හිමිකම් පිළිබඳ නීතිඥයාගේ මළ සිරුරේ තුවාල සියයකට වැඩි සංඛ්‍යාවක් තිබූ බවත් ඉලඇට සියල්ලම පාහේ බිඳ දමා තිබූ බවත් ඔහුගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි විය. රෝහිත මුණසිංහ නම් හිටපු ජවිපෙ සාමාජිකයා විසින් ඒ කාලයේ අත්අඩංගුවට පත් වූවන් පිළිබඳව රචිත එළියකන්දේ වධ කඳවුර නම් පොතේ අදහා ගත නොහැකි ආකාරයේ වධ හිංසා විස්තර කෙරේ. අත්අඩංගුවට පත්වූවන් මුහුණ දුන් එවැනිම බියකරු සිදුවීම් පිළිබඳ විස්තරයක් හිටපු ජවිපෙ සාමාජිකයකු වූ ගාමිණී මුතුකුමාරණ ලියූ මතක ගිනි පුපුරු නම් පොතේ ද සඳහන් වේ.
ජවිපෙ තම සතුරන්ට හෝ වෙනත් අයට කළ වද හිංසා පිළිබඳව තොරතුරු පිළිගත හැකි අයුරින් කොහිවත් සඳහන් නොවුව ද ඔවුහු ද තම කැරැලි දෙකේදීම තමනට එරෙහිව කටයුතු කරන බවට සැකකර අමානුෂික ලෙස මිනිසුන් මරා දැමූහ. එම දෙවැනි කැරැලි සමයේ දී ආණ්ඩුව සෑම දේශපාලන පක්ෂයකටම පාහේ ලොරි ගණනින් ආයුධ දුන්නේය. ඒ බැව් පාර්ලිමේන්තුවේදී ද සඳහන් වී තිබේ. එම පක්ෂ ද ගම් මට්ටමේ ජවිපෙ ක්‍රියාකාරිනට එරෙහිව එම ආයුධ යොදා ගත්තේය.
අද දේශපාලන පක්ෂ වශයෙන් කටයුතු කරන උතුරේ විවිධ කණ්ඩායම් ද රජයේ ආයතනවල නිලධාරීන්ට හා තම සතුරු කණඩායම්වලට එරෙහිව අමානුෂික අයුරින් කටයුතු කර ඇත. යුද්ධයෙන් පසු මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රභාකරන්ගේ පස් මහල් භූගත නිවෙස පිහිටි පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ දී අඟල් 18ක් දිගින් හා පළලින් ද අඩි හයක් උසින් ද යුත් කටුකම්බි එතූ කම්බි කොටු විශේෂයක් සොයා ගැනිණි. මුරණ්ඩු සැකකරුවන් හා සතුරන්ගෙන් තොරතුරු ලබා ගැනීම සඳහා ඔවුන් එම කම්බි කොටු තුළට දමා වසා දින ගණන් ගිනි අව්වේ තබා ඔවුන් මානසිකව කඩා වට්ටවන්නට කොටි සංවිධානය ඒවා යොදාගත් බව කියවේ. එහෙයින් නොහැකියාව හා බිය නිසා ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටි පිරිස් විනා දේශපාලනයේ දී ශාන්තුවරයන් නැත.
ශ්‍රී ලංකාව පිළිබඳ එජා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා හා වාර්තාවල ද රජයේ හමුදා හා කොටි සංවිධානය කළ වධ දීම් ගැන සඳහන් වේ. එම යෝජනා ගණනාවක් ඉදිරිපත් කෙරුණේ ඇමෙරිකාවේ මූලිකත්වයෙනි. එහෙත් දියුණුවෙන් අඩු රටවලට මානව හිමිකම් ගැන දේශනා කරන ඇමෙරිකාවේ හා වෙනත් බටහිර රටවල සී.අයි.ඒ. වැනි ඔත්තු සේවා භාවිත කරන වධ හිංසා ද අතිශයින් කෲරය. අල් කයිඩා සංවිධානයට සම්බන්ධ යැයි සැකකර 2002 දී පාකිස්ථානයේ දී අත්අඩංගුවට ගනු ලැබූ අබූ උබයිදා නම් පුද්ගලයාට සී.අයි.ඒ. නිලධාරීන් කළ වධ හිංසා ඒ අතර විශේෂත්වයක් ගනී.
එම නිලධාරීන් ඔහු නිරුවත් කර මැණික් කටුවෙන් එල්ලා පහර දී ඇත. විටෙක ඔහු ඔසවා බිත්තියේ ගසා ඇත. එක දිගට 83 වතාවක් වොටර් බෝඩිං නම් වූ හුස්ම සිර කිරීමේ හිංසනය කර ඇත. එහිදී ඔහු විටෙක සිහිසුන්ව ඇත. ඔහුට වධ දීම දවසේ පැය විසි හතරේම දින ගණනාවක්ම සිදුවී ඇත. ඔවුන් දින 11ක් ඔහු මිනී පෙට්ටියක් වැනි පෙට්ටියක දමා වසා තිබී ඇත. තවත් දින එකහමාරක් ඔහුගේ උසට වඩා අඩු දිගින් යුතු පෙට්ටියක සිටින්නට ඔහුට සිදුවී ඇත.
අවසානයේ දී ඔවුන්ගේ නිගමනය වූයේ තමන් වැරැදි පුද්ගලයකුට වධ දී ඇති බවයි. එනම් අබූ උබයිදා අල් කයිදා සංවිධානයේ ප්‍රබලයකු නොවූ බවයි. එහෙත් ඔහු තවමත් කියුබාවට අයත් ගුවන්තනාමෝ කඳවුරේ සිර කරනු ලැබ සිටී. වධ හිංසා පිළිබඳ මෙම තොරතුරු හෙළිදරව් කළ නොහැකි යැයි ඇමෙරිකානු රජය දරන මතය එරට ශ්‍රේෂ්ඨාධිකරණය ද 2022 දී අනුමත කර ඇත. මෙසේ සිදුවන්නේ ලෝකයේ අංක එකේ ප්‍රජාතන්ත්‍රවාදී රට යැයි බොහෝ දෙනා කියන ඇමෙරිකාවේය.
එහෙත් දේශපාලන ශාන්තුවරයන් පවා එරෙහි නොවන එහෙත් ප්‍රසිද්ධියේ කියන්නට ඉදිරිපත් නොවන සත්‍යයක් නම් ප්‍රශ්න කිරීම්වල දී කායික හෝ මානසික හෝ ඒ දෙආකාරයේ හෝ පීඩනයක් එල්ල නොකර කිසිදු අපරාධකරුවකුගෙන් හෝ කැරැලිකරුවකුගෙන් හෝ ත්‍රස්තවාදියකුගෙන් හෝ කිසිදු තොරතුරක් ගත නොහැකිය යන්නයි. උදාහරණයක් වශයෙන් මෙවැනි පීඩනයකින් තොරව පාතාල නායකයකු වෙතින් ආයුධ සඟවා ඇති තැන් දැන ගත නොහැකිය.
ඒ පීඩනය එක්තරා සීමාවක් පසු කළ විට එය හැඳින්වෙන්නේ වධ දීමක් ලෙසය. මෙය හිංසනයක් බවට කිසිදු සැකයක් නැත. විශේෂයෙන්ම සැකයක් නිසා වැරැදි පුද්ගලයකු අත්අඩංගුවට පත් වූ විට එය ඛේදවාචකයකි. මෙය කිසිදු පුද්ගලයකුට සිදු නොවිය යුත්තකි. එහෙත් මෙම ප්‍රශ්නයට ප්‍රායෝගික විසඳුමක් ද නැත. ව්‍යාජ ගාන්ධවාදී හා ලිබරල්වාදී දේශනා විසඳුමක් නොවේ.
(*** එම්.එස්.එම්. අයුබ්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd