දේශපාලනය බොහෝ විට අපට පෙනෙන්නේ අදහස්, චෝදනා, විරෝධතා සහ මැතිවරණ තරග ලෙසය. එහෙත් ආර්ථික විද්‍යාවෙන් බලන විට එය විවිධ පාර්ශ්ව එකිනෙකාගේ හැසිරීම අපේක්ෂා කරමින් ගන්නා තීරණ මාලාවකි. දේශපාලනඥයන්ට අමතරව ව්‍යාපාරික ජාල, රාජ්‍ය නිලධාරීහු, මාධ්‍ය ක්‍රියාකාරීහු, වෘත්තීය කණ්ඩායම්, ඡන්දදායකයෝ සහ ආයතන ද එහි කොටස්කරුවෝ වෙති.
ආර්ථික විද්‍යාවේ ක්‍රීඩා න්‍යාය (Game Theory) අපට කියා දෙන්නේ පුද්ගලයකුගේ හෝ කණ්ඩායමක හෝ තීරණයක ප්‍රතිඵලය, ඔවුන්ගේ තීරණයෙන් පමණක් නොව අනෙක් පාර්ශ්ව කුමක් කරන්නේ ද යන අපේක්ෂාව මත ද රඳා පවතින බවය. ඒ නිසා දේශපාලන පද්ධතියක් තේරුම් ගැනීමට, නිල නීති පමණක් නොව එහි ක්‍රියාත්මක වන සැඟවුණු අවිධිමත් නීති ද තේරුම් ගත යුතුය.
ස්වාර්ථයේ සාමූහික පිරිවැය
ක්‍රීඩා න්‍යායයේ ප්‍රසිද්ධම ආකෘතියක් වන්නේ සිරකරුවන්ගේ උභතෝකෝටිකයයි. මෙම ආකෘතියේ දී සැකකරුවන් දෙදෙනකු වෙන වෙනම සිර මැදිරි දෙකක තබන අතර, එක් එක් සැකකරුවාට අනෙකාව පාවාදීම හෝ නිහඬව සිටීම යන තේරීම් දෙකක් ඉදිරිපත් කෙරේ. දෙදෙනාම නිහඬව සිටියහොත් දෙදෙනාටම සුළු දඬුවමක් ලැබේ. එක් අයකු පාවාදී අනෙක් පුද්ගලයා නිහඬව සිටියහොත්, පාවාදුන් පුද්ගලයාට වාසිය ලැබී, නිහඬව සිටි පුද්ගලයා දැඩි දඬුවමකට ලක් වේ. දෙදෙනාම සැකයෙන් පාවාදීම තෝරා ගත්තොත්, දෙදෙනාම අවාසිදායක ප්‍රතිඵලයකට පත් වෙති. මෙහි දෙදෙනාටම එක්ව ලැබිය හැකි හොඳම ප්‍රතිඵලය සහයෝගයයි. එහෙත් “අනෙකා මාව පාවා දෙයි ද?” යන සැකය නිසා දෙදෙනාම පාවාදීම තෝරා ගනිති.
එයින් පෙනෙන්නේ, පෞද්ගලික වාසියට තාර්කික යැයි පෙනෙන තීරණයක්, සාමූහික වශයෙන් විනාශකාරී ප්‍රතිඵලයක් ඇති කළ හැකි බවය.
මෙම ආකෘතිය අපගේ සාකච්ඡාවේ දේශපාලන-ආර්ථික සන්දර්භයට යොදාගත් විට, “සිරකරුවන් දෙදෙනා” යනු පුද්ගලයන් දෙදෙනකු නොව, පුළුල් පාර්ශ්ව දෙකකි. එක් පැත්තක නව නීතිබද්ධ පද්ධතියක් ගොඩනැගීමට උත්සාහ කරන වත්මන් ප්‍රතිසංස්කරණවා දී ආණ්ඩුව ඇත. අනෙක් පැත්තක පැරැණි පද්ධතියෙන් වාසි ලැබූ වරප්‍රසාද ජාල ඇත. ආණ්ඩුවේ තේරීම වන්නේ ප්‍රතිසංස්කරණය ඉදිරියට ගෙන යාම හෝ පීඩනය හමුවේ පසු බැසීමය. දෙවැනි පාර්ශ්වයේ තේරීම වන්නේ සාක්ෂි මත පදනම් වූ සාධාරණ විවේචනයක් කිරීම හෝ “ඔවුනුත් එකමයි” යන කතාව මගින් ජන විශ්වාසය බිඳ දැමීමය.
හොඳම සාමූහික ප්‍රතිඵලය වන්නේ ප්‍රතිසංස්කරණය විනිවිදභාවයෙන් ඉදිරියට යාමත්, විවේචනය සාක්ෂි සහ දත්ත මත පදනම් වීමත්ය. නරකම ප්‍රතිඵලය වන්නේ, සැක නිෂ්පාදනය හමුවේ ප්‍රතිසංස්කරණය පසුබැසී, සමාජය නැවත පැරණි දූෂිත සමතුලිතතාවට ඇද වැටීමය.
දූෂණය සමතුලිතතාවක් වූ පැරැණි ක්‍රමවේදය
ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශපාලන-ආර්ථික අර්බුදය ද මෙවැනිම ක්‍රීඩා න්‍යායාත්මක උභතෝකෝටිකයක් ලෙස තේරුම් ගත හැකිය. මෙහිදී දූෂණය තනි පුද්ගල වැරැදි කිහිපයක එකතුවක් පමණක් නොව, බදු කාන්දුවීම්, ප්‍රසම්පාදන අක්‍රමිකතා, රාජ්‍ය සම්පත් වරප්‍රසාද ලෙස බෙදාහැරීම, බලයට සමීප ව්‍යාපාරික ජාල සහ නීතියේ තෝරාගත් ක්‍රියාත්මකභාවය එකට බැඳුණු අවිධිමත් පද්ධතියක් විය. එවැනි පද්ධතියක අවංකව ක්‍රියා කිරීම පවා පෞද්ගලිකව අවාසිදායක විය හැකිය. “අනිත් අය පද්ධතිය අවභාවිත කරලා වාසි ගන්නවා නම්, මා පමණක් නීතියට අනුව ක්‍රියා කළාට මට ලැබෙන්නේ කුමක් ද?” යන අදහස බලවත් වේ. මෙය සාමූහික ක්‍රියා ගැටලුවකි. එවිට දූෂණය අහඹු වැරැද්දක් නොව, බොහෝ පාර්ශ්ව එකිනෙකාගෙන් අපේක්ෂා කරන සාමාන්‍ය හැසිරීමක් බවට පත්වේ.
ආයතනික ආර්ථික විද්‍යාව මෙවැනි පද්ධතියක් සීමිත ප්‍රවේශ ක්‍රමය (Limited Access Order) ලෙස හඳුන්වයි. එයින් අදහස් වන්නේ, රාජ්‍යයේ බලය, සම්පත්, කොන්ත්‍රාත්, අවසර සහ ආර්ථික අවස්ථා සියලු දෙනාට විවෘත නොවී, බලයට සමීප කණ්ඩායම් කිහිපයකට පමණක් විවෘත වන පද්ධතියකි. බලවත් කණ්ඩායම්වලට වරප්‍රසාද ලැබෙන තාක් ඔවුහු පද්ධතියට එරෙහිව නැගී නොසිටිති. එවැනි පද්ධතියක් බාහිරින් “ස්ථාවර” ලෙස පෙනුණත්, අභ්‍යන්තරයෙන් එය ජනතාවට බරක් වන රාජ්‍ය මූල්‍යය දුර්වල කරන සහ නීතියේ ආධිපත්‍යය විනාශ කරන ක්‍රමයකි.
වරප්‍රසාද කම්පනයට ලක් කළ 2024 ජනවරම
2024 ජනවරම ආණ්ඩුවක් පමණක් නොව පැරැණි ලාබ හා දඬුවම් ක්‍රමය ද වෙනස් කළ මොහොතක් විය. ජනතාව ඉල්ලා සිටියේ නීතියේ සමාන ක්‍රියාත්මකභාවය, දූෂණ විරෝධය, රාජ්‍ය මූල්‍ය විනය සහ විනිවිදභාවයයි. එයින් පැරැණි වරප්‍රසාදලාභී කණ්ඩායම්වල ලාබ පද්ධතිය කම්පනයට ලක් විය. කලින් නිහඬව කළ හැකි වූ ගනුදෙනු දැන් විගණනයට, අධිකරණ ක්‍රියාවලියට සහ මහජන විමසුමට යටත් විය. එවිට ඔවුන්ට ප්‍රතිසංස්කරණය පෙනෙන්නේ සාධාරණත්වය ලෙස නොව තමන්ගේ අහිමි වීමක් ලෙසය.
චර්යාත්මක ආර්ථික විද්‍යාවේ අහිමිවීමේ වේදනාව (Loss Aversion) මෙහිදී වැදගත් වේ. කානමන් සහ ටවර්ස්කිගේ අපේක්ෂණ න්‍යාය අනුව, අහිමි වීමේ වේදනාව ඒ හා සමාන ලාබයක සතුටට වඩා බලවත් විය හැකිය.
රාජ්‍ය සම්පත්, කොන්ත්‍රාත්, බලපත්‍ර සහ දේශපාලන ආරක්ෂාව “ස්වාභාවික අයිතියක්” ලෙස භුක්ති විඳි කණ්ඩායම්වලට, ඒවා අහිමිවීම සාමාන්‍ය පරාජයක් නොව, ජීවන ක්‍රමයක් අහිමි වීමක් ලෙස දැනේ. එම වේදනාව අද දකින “ඔවුනුත් එකමයි” කතාව තේරුම් ගැනීමට උපකාරී වේ. චෝදනා, කටකතා, අර්ධ සත්‍යය සහ පරීක්ෂණයට යටත් සිද්ධි එකට ගොනු කිරීම, බලවත් දේශපාලන රාමුකරණයකි. එහි අරමුණ සෑම චෝදනාවක්ම ඔප්පු කිරීම නොව, ජන මනස තුළ සැකය නිර්මාණය කිරීමය. එවැනි සැකය සාක්ෂි රහිතව පැතිරුණු විට, සාධාරණ විවේචනය ශක්තිමත් කරනවා වෙනුවට, ප්‍රතිසංස්කරණයට අවශ්‍ය ජන විශ්වාසය දුර්වල කරයි. රොබට් ෂිලර්ගේ ආඛ්‍යාන ආර්ථික විද්‍යාව කියා දෙන්නේ දත්තයට වඩා කතාවට වේගයෙන් ජන මනස අල්ලාගත හැකි බවය.
මෑතක දී සමාජගත වූ බහාලුම් 323 සිදුවීම, බාල ගල්අඟුරු ආනයන චෝදනා, ඩොලර් මිලියන 2.5ක භාණ්ඩාගාර සයිබර් ප්‍රහාරය සහ 6 ශ්‍රේණියේ පෙළපොත් ආන්දෝලනය වැනි සිදුවීම් දෙස ද මෙම කෝණයෙන් බැලිය හැකිය. මේවා සියල්ල එකම වර්ගයක සිද්ධි නොවේ. සමහරක් තහවුරු කළ යුතු චෝදනාය. සමහරක් පරීක්ෂණ යටතේය. සමහරක් අර්ධ සත්‍යයන් හෝ සමාජ මාධ්‍ය උද්වේගය මගින් විශාල කර දැක්වූ සිද්ධීය. මෙහි අරමුණ එම සිද්ධිවල නීතිමය සත්‍යතාව තීරණය කිරීම නොවේ. ඒවා මහජන මනස තුළ භාවිත වන ආකාරය විග්‍රහ කිරීමය. කතා දේශපාලනය තුළ, සිද්ධියක සත්‍යයට වඩා එහි මානසික බලපෑම වේගවත් විය හැකිය. එවිට මහජන මනසට ඇතුළු කරන පණිවිඩය සරලය: “වෙනසක් නැහැ.”
සාධාරණ විවේචනය සහ උපායමාර්ගික පාවාදීම
ආණ්ඩුවක් විවේචනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය අයිතියකි. රාජ්‍ය ප්‍රතිපත්ති වැරැදි නම්, ප්‍රසම්පාදනයේ අඩුපාඩු තිබේ නම්, පරිපාලන ප්‍රමාද හෝ රාජ්‍ය සේවා අකාර්යක්ෂමතාව තිබේ නම් ඒවා ජනතා විමසුමට ලක් විය යුතුය. එහෙත් සාක්ෂි, දත්ත සහ විගණන මත පදනම් වූ විවේචනය සහ ජන විශ්වාසය බිඳ දැමීම සඳහා සැකය සංවිධානාත්මකව නිෂ්පාදනය කිරීම එකම දෙයක් නොවේ. පළමුවැන්න ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරයි. දෙවැන්න ප්‍රතිසංස්කරණය බිඳ දැමීමට උත්සාහ කරයි.
ක්‍රීඩා න්‍යාය භාෂාවෙන් මෙය ප්‍රතිසංස්කරණයට එරෙහි උපාය මාර්ගික පාවාදීමක් (Strategic Defection) ලෙස හැඳින්විය හැකිය.
නව නීතිබද්ධ සමතුලිතතාවකට සමාජය ගමන් කරන මොහොතක, ජන විශ්වාසය හිතාමතා බිඳ දැමීම, පැරණි අහිතකර සමතුලිතතාවට සමාජය නැවත ඇද දමන ක්‍රියාවකි. ප්‍රතිසංස්කරණය සාර්ථක වීමට ජනතාවගේ විශ්වාසය අත්‍යවශ්‍යය. නීතිය සමානව ක්‍රියාත්මක වේ, බදු මුදල් නාස්ති නොවේ, ප්‍රසම්පාදනය විනිවිද වේ, වැරැදි සිදුවුවහොත් පරීක්ෂණ සිදුවේ යන විශ්වාසය නව පද්ධතියට අවශ්‍ය සමාජ ප්‍රාග්ධනයකි. එම විශ්වාසය කඩා වැටුණොත්, “කවුරු ආවත් එකමයි” යන නිෂ්ක්‍රීය උදාසීනභාවය පැරැණි දූෂිත පද්ධතියට ලැබෙන විශාලම දේශපාලන තෑග්ග වෙයි.
මෙවැනි තත්වයක දී රජයේ පිළිතුර හුදු ප්‍රකාශ නොවිය යුතුය. “අපි දූෂිත නැහැ” යන්න පමණක් ප්‍රමාණවත් නොවේ. කතාවකට තවත් කතාවක් දුන්නොත්, ජනතාවට ඉතිරි වන්නේ කතා දෙකක් පමණි. සැකය එලෙසම පවතී. එබැවින් හොඳම පිළිතුර වන්නේ සැකයට ඉඩ නොතබන විනිවිද පද්ධතියකි. ඩිජිටල් ප්‍රසම්පාදන පද්ධති, මහජන දත්ත පුවරු, විගණන සලකුණු, පරීක්ෂණ සඳහා නිශ්චිත කාලසීමා, ස්වාධීන අධීක්ෂණය, පාර්ලිමේන්තු විමසුම් සහ අධිකරණ අධීක්ෂණය යටතේ වගවීම වැනි මෙවලම් අත්‍යවශ්‍ය වේ. එවිට කටකතා සඳහා ඉඩ අඩු වේ. විනිවිදභාවය ආණ්ඩුවට එරෙහි මෙවලමක් නොව, ජනතාවත්, සත්‍ය විවේචකයනුත්, ආණ්ඩුවත් ආරක්ෂා කරන පද්ධතියකි.
නව සමතුලිතතාව
ක්‍රීඩා න්‍යාය අපට දෙන ප්‍රධාන පාඩම වන්නේ, හැසිරීම වෙනස් කිරීමට නම් ලාබ හා දඬුවම් ක්‍රමය වෙනස් කළ යුතු බවය. දූෂණය අඩු කිරීමට නම්, දූෂණයේ ලාබය අලාභයක් බවට පත්කර, එහි අවදානම වැඩි කළ යුතුය. නීතියට අනුව ක්‍රියා කිරීමේ වාසිය වැඩි කළ විට පමණක්, පැරැණි සමතුලිතතාව වෙනස් කළ හැකිය. පැරැණි පද්ධතියේ සමතුලිතතාව වූයේ, “සියලු දෙනාම වංචා කරති. එබැවින් මමත් වංචා කළ යුතුය” යන්නයි. නව පද්ධතියේ සමතුලිතතාව විය යුත්තේ, “සියලු දෙනාම නීතියට යටත්ය. එබැවින් නීතිය කඩ කිරීම අලාභදායකය” යන්නයි.
මෙය පුද්ගලයන්ගේ යහපත්කමට පමණක් භාර කළ නොහැකිය. හොඳ මිනිසුන් වැදගත් වුවත්, හොඳ පද්ධති නොමැති නම් ඔවුන් ද පැරණි අවිධිමත් නීතිවලට හසුවිය හැකිය. ඒ නිසා ප්‍රතිසංස්කරණයේ සැබෑ ජයග්‍රහණය වන්නේ, නරක ක්‍රීඩාවක් ක්‍රීඩා කිරීමට නොහැකි නව නීති පද්ධතියක් ගොඩනැගීමයි.
වරප්‍රසාදයෙන් නීතියට
අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින්නේ හුදු ආණ්ඩු-විපක්ෂ ගැටුමකට නොවේ. එය පැරැණි දේශපාලන සැලැස්ම සහ නව නීතිබද්ධ ක්‍රමවේදය අතර ගැටුමකි. එක් පැත්තක වරප්‍රසාද, අවිධිමත් ගනුදෙනු, දේශපාලන ආරක්ෂාව සහ ආයතනික නිහඬතාව මත ගොඩනැගුණු පැරැණි සැලැස්ම ඇත. අනෙක් පැත්තක විනිවිදභාවය, නීතියේ සමාන ක්‍රියාත්මකභාවය, රාජ්‍ය මූල්‍ය විනය සහ මහජන වගවීම මත ගොඩනැගිය යුතු නව ක්‍රමවේදය ඇත. අහිමි වරප්‍රසාද මානසිකත්වයට අවශ්‍ය වන්නේ “වෙනසක් නැහැ” යන අදහස සාමාන්‍යකරණය කර, ජනතාව නැවත උදාසීනභාවයට පත් කිරීමය. එහෙත් රටක් ලෙස අපට නැවත යා යුත්තේ එම පරණ පද්ධතියට නොවේ.
ප්‍රතිසංස්කරණය රැක ගැනීම යනු රජයක් රැක ගැනීම නොවේ. එය සමාජය පැරැණි පාවාදීමේ සමතුලිතතාවට නැවත ඇද වැටීමෙන් රැක ගැනීමය. පැරැණි සැලැස්ම අවසන් කළ ජනවරම සාර්ථක වන්නේ, නව පද්ධතියේ නීති සියලු දෙනාට සමානව, විනිවිදව සහ නොනවත්වා ක්‍රියාත්මක වූ විට පමණි. එවිට පමණක් අහිමි වරප්‍රසාද මානසිකත්වය පරාජය වී, නීතියට යටත් නව සමාජ සමතුලිතතාවක් ශ්‍රී ලංකාවේ ගොඩනැගිය හැකිය.
(***)
රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව
පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය
චන්දික ගුණසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd