2019 වසරේ සිදුවූ විනාශකාරී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් වසර හතකට ආසන්න කාලයක් ගතවී ඇතත්, ශ්‍රී ලාංකීය ජන සමාජයට ඉන් ඇතිවූ තුවාල තවමත් සම්පූර්ණයෙන් සුවවී නැත.
අහිංසක මිනිස් ජීවිත 260කට අධික සංඛ්‍යාවක් බිලි ගනිමින්, දශකයකටත් අධික කාලයක් පැවැති සාමය සුනු විසුනු කළ මෙම මහා ඛේදවාචකය වෙනුවෙන් පරම සත්‍යය අනාවරණය කර ගැනීමත්, කිසිදු පාර්ශ්වයකට පක්ෂපාතී නොවන නිරපේක්ෂ යුක්තිය ඉටුකර ගැනීමත් ජාතික අවශ්‍යතාවකි. එහෙත්, වත්මන් ජාතික ජන බලවේග (NPP) රජය යටතේ සිදුවන මෑතකාලීන වර්ධනයන් හමුවේ බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු වේ. අප මේ දකින්නේ සැබෑ මහමොළකරුවන් සෙවීමේ අවංක උත්සාහයක් ද, නැතහොත් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල ප්‍රතිරූපය කෙළෙසීම සඳහා දේශපාලන වුවමනාව මත ගොඩනගන ලද ව්‍යාජ මතවාදයක්ද?
තහවුරු වූ කරුණු සහ දේශපාලන ප්‍රවාද ඇමෙරිකානු FBI ආයතනය ඇතුළු දේශීය හා ජාත්‍යන්තර විමර්ශන ආයතන විසින් සිදු කරන ලද ස්වාධීන සහ පුළුල් පරීක්ෂණවලින් ඉතා පැහැදිලිව නිගමනය කෙරුණේ, මෙම සම්බන්ධීකරණ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සහරාන් හෂීම් නමැති අන්තවාදී දේශකයා ප්‍රමුඛ, අයිසිස් (ISIS) සංවිධානයට අනුබද්ධිත දේශීය ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් විසින් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද්දක් බවයි. මෙම පැහැදිලි කරුණු සහ සාක්ෂි නොසලකා හරිමින්, වත්මන් දේශපාලන අධිකාරිය තවදුරටත් වෙනත් මතයක් සමාජගත කිරීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටියි. එනම්, මෙම ප්‍රහාරය දේශපාලන වාසි තකා මිලිටරි බුද්ධි අංශ විසින් මෙහෙයවන ලද හෝ ඊට සහාය දක්වන ලද කුමන්ත්‍රණයක් බවයි.
දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ආගමික අන්තවාදයේ සැබෑ සහ ගැඹුරු අනතුරින් මහජන අවධානය වෙනතකට යොමු කිරීම හරහා, ඇතැම් දේශීය සහ ජාත්‍යන්තර බලපෑම් කණ්ඩායම් සතුටු කිරීමට රජය උත්සාහ කරන බවයි. මෙලෙස බුද්ධි අංශ සහ හමුදා නායකයන් ඉලක්ක කර ගනිමින් ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරන මෙම ප්‍රචාරණ, එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානයට එරෙහිව සන්නද්ධ හමුදා කියාත්මක කළ ඓතිහාසික මානුෂීය මෙහෙයුම දෙස ලෝකය වපර ඇසින් බැලීමට සැලැස්වීමේ උපක්‍රමයක් බවට සැකයක් පවතී. “හමුදාව තමන්ගේම රටේ ජනතාව දේශපාලන අරමුණු වෙනුවෙන් ඝාතනය කළේය” යන භයානක චිත්‍රයෙන් රණවිරුවන් යුද අපරාධවලට පැටලවීමට මාර්ගය සකසන අතරම, අනෙක් අතට ”සිංහල බෞද්ධයෝ කතෝලිකයන් ඝාතනය කිරීමට අනුබල දුන්හ.” වැනි දුෂ්ට මතවාද සමාජගත කිරීමට ද මෙයින් ඉඩ ප්‍රස්ථා සැලසෙන බව විචාරකයෝ පවසති.
විමර්ශන නායකත්වයේ පරස්පර විරෝධය
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම මෙම දේශපාලන න්‍යාය පත්‍රයේ තීරණාත්මක පියවරකි. ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම්, කළ යුත්තේ ඔහු අධිකරණයට ඉදිරිපත් කර නීතිමය පියවර ගැනීමයි. එහෙත් නඩු පැවැරීමට තරම් සාක්ෂි නොමැති බැවින්, විධායක බලතල භාවිත කරමින් ඔහු කුඩා සිරකුටියක අමානුෂික තත්ව යටතේ රඳවා තබාගෙන සිටින්නේ මැතිවරණ සමයේ දුන් ”මහමොළකරුවන් සෙවීමේ” පොරොන්දු ඉටු කිරීම සඳහා ඔහු බිල්ලට දීමට දැයි සාධාරණ සැකයක් මතු වේ.
මෙහි ඇති ලොකුම උත්ප්‍රාසය නම්, පාස්කු දා ප්‍රහාරයට පෙර විදේශීය සහ දේශීය බුද්ධි අංශ මගින් 97 වතාවක් පමණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ බවත්, ප්‍රහාරයට සති දෙකකට පෙර ඉතා නිවැරැදි තොරතුරු සහිතව අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත්, එවකට සිටි වගකිවයුතු නිලධාරීන් ඒ පිළිබඳ කිසිදු පියවරක් නොගැනීමයි. ශ්‍රේෂ්ඨාධිකරණය පවා මෙලෙස රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් නිලධාරීන් වැරැදිකරුවන් කර ඇත. සරදමකට මෙන්, එදා මෙම අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් අපරාධය වැළැක්වීමට පියවර නොගත්, එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ඉහළම තනතුරු හෙබවූ රවී සෙනෙවිරත්න (වත්මන් ආරක්ෂක ලේකම්) සහ ශානි අබේසේකර (වත්මන් CID අධ්‍යක්ෂ) යන මහත්වරුන් අද මෙම නව විමර්ශන මෙහෙයවීමයි.
මෙම ක්‍රියාවලිය මෑතක දී සිදුවූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිදුවීමට බොහෝ සෙයින් සමාන ය. එහිදී ද සුදුසු ඇපකරුවන් ඉදිරිපත් කර තිබියදීත්, පොලිසිය සහ අල්ලස් කොමිසම අධිකරණය නොමග යවමින් වරෙන්තු ලබාගෙන, ඔහු දැඩි මානසික පීඩනයකට ලක් කර දිවි නසාගැනීමේ තත්වයකට ඇද දැමූ බවට චෝදනා එල්ල විය. ජෙනරාල් සලේ සම්බන්ධයෙන් ද එවැනිම දරුණු මානසික වටපිටාවක් නිර්මාණය කර, ඔහු ලවා ව්‍යාජ පාපොච්චාරණයක් ලබාගැනීමට හෝ ඔහු විනාශ කර නඩුව වසා දැමීමට හෝ රජය උත්සාහ කරන්නේ ද යන බිය ජනතාව තුළ පවතී.
බුද්ධි තොරතුරු දේශපාලනීකරණය කිරීමේ ආදීනව
දේශපාලන අවශ්‍යතා සඳහා හෝ පාලකයන්ගේ පූර්ව නිගමන තහවුරු කිරීම සඳහා හෝ බුද්ධි තොරතුරු සහ විමර්ශන ආයතන අවභාවිත කිරීම ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවේ. ඉතිහාසය පුරා මෙවැනි ”ගින්දර සමග සෙල්ලම් කිරීම්” නිසා බොහෝ රාජ්‍ය දැඩි ව්‍යසනවලට මුහුණ දී ඇත.
ඉරාක ආක්‍රමණය සහ ජනසංහාරක අවි මීට කදිම ජාත්‍යන්තර උදාහරණය වන්නේ 2003 වසරේ සිදුවූ ඉරාක ආක්‍රමණයයි. එවකට ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය දේශපාලන නායකත්වයට ඉරාකය ආක්‍රමණය කිරීමේ දැඩි දේශපාලන වුවමනාවක් තිබුණි. ඒ සඳහා ඔවුහු “ඉරාකය සතුව මහා විනාශකාරී ආයුධ (WMD) පවතී” යන ව්‍යාජ මතය සමාජගත කිරීමට කටයුතු කළහ. එහිදී, එරට ස්වාධීන බුද්ධි අංශ ලබාදුන් නිවැරැදි දත්ත පසෙකලා, පාලකයන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට ගැළපෙන පරිදි බුද්ධි තොරතුරු වෙනස් කිරීමට, විකෘති කිරීමට සහ ඇතැම් කොටස් පමණක් තෝරාගෙන වාර්තා කිරීමට නිලධාරීන්ට බලපෑම් කෙරුණි.
පසුව සිදු කරන ලද පරීක්ෂණවලදී හෙළිවූයේ ඉරාකය සතුව එවැනි ආයුධ නොතිබූ බවත්, දේශපාලන වුවමනාකම් මත බුද්ධි තොරතුරු මෙහෙයවීම (Politicization of Intelligence) නිසා සමස්ත බුද්ධි ක්ෂේත්‍රයේ විශ්වාසනීයත්වය බිඳවැටී, ලෝකයම මහා යුද ව්‍යසනයකට ඇද වැටුණු බවත්ය.
ප්‍රවීණයන්ගේ අනතුරු ඇඟවීම්
දේශපාලන වාසි තකා ජාතික ආරක්ෂක උපකරණ සහ බුද්ධි අංශ අවභාවිත කිරීමේ බරපතළ අනතුර පිළිබඳව ලොව සුපතළ බුද්ධි විශේෂඥයන් සහ ආරක්ෂක විශ්ලේෂකයන් දිගින් දිගටම අනතුරු ඇඟවීම් කර ඇත. ඇමෙරිකානු දේශපාලන විද්‍යා සංගමයේ හිටපු සභාපති රොබට් ජර්විස් (Robert Jervis) මහතා මෙසේ පවසා ඇත.
”රජයක දේශපාලන ප්‍රවාද විසින් බුද්ධි අංශවල දැක්ම සීමා කරනු ලබයි. බුද්ධි අංශවල අසාර්ථකත්වය බොහෝ විට ආයතනික එකකට වඩා දේශපාලනික සහ මනෝවිද්‍යාත්මක එකකි.”
එනම්, රජයක් තමන්ට අවශ්‍ය දේ පමණක් බුද්ධි අංශ ලවා කියවා ගැනීමට උත්සාහ කරන විට, රටට එල්ල වන සැබෑ අනතුරු හඳුනා ගැනීමට එය අසමත් වේ.
එලෙසම, කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සහ ජාතික ආරක්ෂක උපදේශකයකු වන රිචඩ් බෙට්ස් (Richard Betts) පෙන්වා දෙන්නේ ස්වාධීන විමර්ශන සහ දේශපාලන අරමුණු අතර පවුර බිඳ දැමීමේ අනතුරයි.
”බුද්ධි අංශවලට දේශපාලනීකරණය සමග පැවැතිය නොහැකිය. එහෙත් පාලකයන් තමන්ගේ ක්‍රියාමාර්ග දේශපාලනීකරණය වූ ඒවා ලෙස දැකීමට කිසිවිටෙකත් කැමැති නොවේ.”
ශ්‍රී ලංකාව මුහුණ දෙන සැබෑ අනතුර
ඡන්ද පොරොන්දු ඉටු කිරීමට හෝ ආරක්ෂක අංශ සමග පවතින පෞද්ගලික හා දේශපාලන වෛරය පිරිමසා ගැනීමට, මෙවැනි සංකීර්ණ අපරාධ විමර්ශනවල සැබෑ ස්වරූපය වෙනස් කිරීම ”ගින්දර සමග සෙල්ලම් කිරීමකි”. ව්‍යාජ දේශපාලන මතවාද තහවුරු කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය යොදවන විට, රට තුළ සැබවින්ම ක්‍රියාත්මක වන ආගමික අන්තවාදී ජාල සහ නියම අනතුරුවලින් රාජ්‍යයේ අවධානය ගිලිහී යයි. 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවීමට පැහැදිලිව බලපෑවේ ද මේ කරුණයි. එනම් ආගමික අන්තවාදී කල්ලි අනතුරුදායක ලෙස නැගී එද්දී ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමයි.
සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට සියලු අවස්ථා තිබිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එසේ කිරීමෙන් වැළකී සිටි බව කොමිෂන් වාර්තාවලින් හෙළි වී ඇත. එක් අවස්ථාවක ත්‍රස්ත විමර්ශන අංශය සහරාන්ගේ බිරිය වූ හාදියා කුලියාපිටියේ දී අත්අඩංගුවට ගැනීමට ඔන්න මෙන්න තිබිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ට දුරකතනයෙන් කතා කර එම අත්අඩංගුවට ගැනීම වහාම වළකා ඇත. එසේ කළේ ඇයි ද යන්න තවමත් අබිරහසකි. එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ ද ශානි අබේසේකරය.
මෙවන් තත්වයක, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බැට කෑ වින්දිතයන්ට යුක්තිය ඉටු කළ හැක්කේ දේශපාලන පලිගැනීම් හෝ සන්නද්ධ හමුදා අධෛර්යවත් කිරීම හරහා නොව, නීතිමය සාක්ෂි මත පදනම් වූ විනිවිදභාවයකින් යුත් ක්‍රියාවලියකින් පමණි. රජය වහාම මෙම දේශපාලන දඩයම නතර කර, රටේ ජාතික ආරක්ෂාව අනතුරේ නොදමා, සැබෑ සාක්ෂි මත පමණක් පදනම්ව කටයුතු කළ යුතුය.
(***)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd