ලංකාවේ වර්තමාන ආර්ථික සහ දේශපාලනයේ වඩාත්ම සංවේදී මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාමයි. මීට හේතුව වන්නේ බලශක්ති වෙළෙඳපොළේ නිරන්තරයෙන්ම සිදුවන මිල උච්ඡාවචන සහ ශ්‍රී ලංකාව දැඩි ලෙසම බලශක්ති ආනයනය මත රඳා පැවැතීමයි. ඉන්ධන යනු ජනජීවිතයට අත්‍යවශ්‍ය, ආර්ථික විද්‍යාවේ දී හඳුනා ගන්නා අනම්‍ය භාණ්ඩයක් වන අතර එවැන්නක මිල ඉහළයාම පාරිභෝගිකයන්ගේ ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරකම් අඩපණ කිරීමට සමත් වේ.
2026 පෙබරවාරි මාසයේ 28 වැනිදා රුපියල් 293 ක්වූ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල මැයි අවසානය වන විට රුපියල් 434 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඩීසල් ලීටරයක මිල රුපියල් 281 සිට රුපියල් 407 දක්වා ඉහළ ගොස් ඇත. එනම් මාස තුනක පමණ කාලයක් තුළ පෙට්‍රල් මිල සියයට 48 කින් සහ ඩීසල් මිල සියයට 45කින් පමණ ඉහළ ගොස් ඇත. මෙවැනි තත්වයක් තුළ මතුවන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ “මෙම ඉන්ධන මිල කම්පනය ජනතාව විසින්ම දරා ගත යුතු ද?” යන්නයි. මෙය ආර්ථික, සමාජීය සහ දේශපාලනික වශයෙන් සංකීර්ණ ප්‍රශ්නයකි.
ගෝලීය බොර තෙල් වෙළෙඳපොළේ බලපෑම
ඉන්ධන මිල ඉහළ යාම සම්පූර්ණයෙන්ම දේශීය ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් නොවේ. ලංකාව සිය ඉන්ධන අවශ්‍යතාවෙන් සියයට 100කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කරයි. 2026 වසරේ මැද භාගයේදී මැද පෙරදිග කලාපයේ භූ දේශපාලනික සටන්, ඉරානය ආශ්‍රිත අර්බුද සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ද ඉක්මවා ගිය අතර, මැයි මස අග භාගයේ දී සටන් විරාම සාකච්ඡා හේතුවෙන් එය නැවත ඩොලර් 90-95 අතර මට්ටමකට පහත වැටුණි. එහෙත් ජාත්‍යන්තර විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ බලශක්ති සැපයුම් බාධා හේතුවෙන් 2026 පුරාම තෙල් මිල ඉහළ මට්ටමක පවතිනු ඇති බවයි.
දකුණු ආසියානු රටවල් සමග සංසන්දනය
දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල් ඉන්ධන ආනයනකරුවන් වන නමුත් මිල උච්චාවචනයට දක්වන ප්‍රතිපත්ති ප්‍රතිචාර රටින් රටට වෙනස් වේ. ඉන්දියාව වැනි රටවල් ඇතැම් අවස්ථාවල ඉන්ධන බදු අඩු කිරීම හෝ තාවකාලික බදු සහන ලබා දීමෙන් පාරිභෝගිකයන්ට සහන ලබා දෙයි. පකිස්තානය සහ බංග්ලාදේශය ද දේශපාලනික සහ සමාජීය පීඩන හේතුවෙන් සහනාධාර ක්‍රමවේ ද භාවිත කරයි.
කෙසේ වෙතත් ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ වෙළෙඳපොළ පදනම් වූ පිරිවැය පිළිබිඹු කරන මිල සූත්‍රයක් අනුගමනය කරයි. එබැවින් ජාත්‍යන්තර මිල ඉහළ යාම වඩාත් වේගයෙන් දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිලට මාරුවේ. මෙලෙසින් දකුණු ආසියානු කලාපයේ ඉහළ ඉන්ධන මිලක් සහිත රටක් බවට ලංකාව පත්ව ඇත.
ලංකාවේ ඉන්ධන මිල ඉහළ යාමට බලපාන ප්‍රධාන හේතු මොනවාද?
ජාත්‍යන්තර බොරතෙල් මිල ඉහළයාම, ශ්‍රී ලංකා රුපියලේ අගය පහළ යාම සහ හෝ අවප්‍රමාණයවීම (ඩොලරයට සාපේක්ෂව රුපියල දුර්වල වනවිට ආනයන වියදම වැඩිවේ), මැදපෙරදිග කලාපයේ යුද්ධ සහ භූ දේශපාලනික ගැටුම් නිසා නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු සහ සැපයුම්දාම පිරිවැය ඉහළයාම, රජය විසින් අය කරනු ලබන බදු සහ ගාස්තු, දිගු කාලීන ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ස්ථානීය (spot) වෙළෙඳපොළෙන් ඉහළ මිලක් ගෙවා බොරතෙල් මිලට ගැනීම, ගල් අඟුරු ගැටලුව හේතුවෙන් තාප විදුලිය සඳහා ඩීසල් ඉල්ලුම හදිසියේ ඉහළ යාම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයට තේ වෙළෙඳපොළ මත පදනම් වූ පිරිවැය නිරූපිත මිල සූත්‍රය පවත්වාගෙන යාම යනාදිය ප්‍රධාන වේ.
ඩීසල් මිල ඉහළ යාම ආර්ථිකයට සිදු කරන්නා වූ බලපෑම
ඉන්ධන වර්ග අතරින් ආර්ථිකයට වැඩිම බලපෑමක් ඇති කරන්නේ ඩීසල් මිලයි. පෙට්‍රල් ප්‍රධාන වශයෙන් පෞද්ගලික වාහන භාවිතය සමග සම්බන්ධ වන නමුත් ඩීසල් යනු ආර්ථික ක්‍රියාකාරකම්වල ගාමක බලවේගයකි. මගී ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, ධීවර කර්මාන්තය, කර්මාන්ත ශාලා සහ ජනන යන්ත්‍ර, ඉදිකිරීම් කර්මාන්තය ආදී සියලු අංශ ඩීසල් මත රඳා පවතී. 2026 මාර්තු මාසයේ රුපියල් 281 ක්වූ ඔටෝ ඩීසල් ලීටරයක මිල මැයි අවසානය වනවිට රුපියල් 407 දක්වා ඉහළ ගොස් ඇත. එනම් රුපියල් 126 ක වැඩිවීමකි.
සරලව කිවහොත් ඩීසල් මිල ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රවාහන ගාස්තු ඉහළ යයි. ගොවියාගේ නිෂ්පාදන පිරිවැය වැඩිවේ. ධීවර කර්මාන්තයේ මෙහෙයුම් වියදම් ඉහළ යයි. භාණ්ඩ ප්‍රවාහන වියදම් ඉහළ යාමෙන් වෙළෙඳපොළේ සියලුම භාණ්ඩවල මිල ඉහළ යයි. ආර්ථික විද්‍යාවේ දී මෙය පිරිවැයෙන් තල්ලු වූ උද්ධමනයක් (Cost-Push Inflation) ලෙසට හඳුනා ගනී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේම අධ්‍යයනවලින් පෙනී යන්නේ ඉන්ධන මිල කම්පන දියුණු ආර්ථිකයන්ට වඩා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි පුළුල් හා නිරන්තර උද්ධමනයක් ඇති කරමින් ආර්ථික වෘද්ධි මාවත අඩපණ කරන බවයි.
ලංකාවේ වාර්ෂික උද්ධමනය අනුපාතයේ සියයට පහේ සීමාවෙන් ඔබ්බට පසුගිය අප්‍රේල් මාසයේ සිට පැමිණෙමින් සිටින අතර එය මහබැංකුවේ අපේක්ෂිත මට්ටම් වන සියයට පහේ මට්ටමට වඩා ඉහළින් පවතිනු ඇතැයි මහා බැංකුවම ප්‍රකාශ කරයි. එමෙන්ම, අඩු ආදායම්ලාභී හා ග්‍රාමීය පවුල්වල ආහාර පිසීමට, ආලෝකය සඳහා සහ ධීවර කර්මාන්තයේ බහුලව භාවිත වන භූමිතෙල් මිල ද මෙම කාලය තුළ සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. 2026 මුල් භාගයේ දී රුපියල් 195 ක් වූ භූමි තෙල් ලීටරයක මිල මැයි අවසානය වන විට රුපියල් 285 දක්වා ඉහළ ගොස් ඇත. භූමිතෙල් ප්‍රධාන වශයෙන් සමාජයේ ආර්ථික වශයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් භාවිත කරන බැවින්, මෙම මිල ඉහළ යාම ඔවුන්ගේ ජන ජීවිතය තව තවත් අර්බුදයට ලක් කරයි.
ජනතාවම මෙම කම්පනය දරා ගත යුතු ද?
ආර්ථිකමය වශයෙන් බැලූවිට ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචන සම්පූර්ණයෙන්ම රජය විසින් අවශෝෂණය කිරීම ප්‍රායෝගික නොවේ. අතීතයේ දී ඉන්ධන සහනාධාර සඳහා දැවැන්ත මුදලක් වැය කිරීම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය පීඩනය ඉහළ ගොස් තිබුණි. එහෙත් ජනතාවට ඉන්ධන මිල ඉහළ යාමේ සම්පූර්ණ බරම පවරාදීම ද සාධාරණ නොවේ. විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී පවුල්, ගොවීන්, ධීවරයන් සහ පොදු ප්‍රවාහන සේවා සපයන්නන් මෙම කම්පනයෙන් දැඩි ලෙස පීඩාවට පත්වේ. එබැවින් සමාජීය වශයෙන් සාධාරණ විසඳුම වන්නේ සම්පූර්ණ සහනාධාර හෝ සම්පූර්ණ වෙළෙඳපොළකරණය නොව, ඉලක්ක ගත සහනාධාර ක්‍රමවේදයකි. අඩු ආදායම්ලාභී සහ ආර්ථික වශයෙන් අවදානමට ලක්විය හැකි පිරිස් ආරක්ෂා කරමින් වෙළෙඳපොළ මිල සංඥා පවත්වාගෙන යාම වඩාත් යෝග්‍ය ප්‍රායෝගික ප්‍රවේශයකි.
දිගුකාලීන විසඳුම කුමක්ද?
ලංකාව සෑම වසරකම බලශක්ති ආනයන සඳහා ඩොලර් බිලියන ගණනක් වැය කරයි. එබැවින් ඉන්ධන මිල ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් වන්නේ සහනාධාර නොව, බලශක්ති අංශයේ ප්‍රතිසංස්කරණයයි. සූර්ය බලශක්තිය, සුළං බලශක්තිය සහ අනෙකුත් පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව ප්‍රවර්ධනය කළ යුතුය. පොදු ප්‍රවාහන පද්ධතිය නවීකරණය කළ යුතුය. දුම්රිය සේවාව ශක්තිමත් කළ යුතුය.
ලංකාවේ ඉන්ධන මිල සහ ආර්ථික බලපෑම් පිළිබඳ කෙටි අනාගත නිමිති විශ්ලේෂණය (Scenario Analysis)
2026 වසරේ ඉන්ධන මිල ප්‍රවණතා ලංකාවේ ආර්ථික ගමන් මගට බලපාන ප්‍රධාන බාහිර අවදානම් සාධකයක් බවට පත්ව ඇත. IMF සහ ජාත්‍යන්තර ආයතන පෙන්වා දෙන්නේ මැද පෙරදිග අර්බුදය, ඉහළ බොර තෙල් මිල සහ විදේශ විනිමය පීඩනය හේතුවෙන් ලංකාවේ ආර්ථික වර්ධනය 2025 වසරේ සියයට 5 සිට 2026 දී සියයට 3 පමණ දක්වා මන්දගාමී විය හැකි බවයි.
හොඳම තත්වය (Optimistic Scenario) යටතේ ඉදිරිය පිළිබඳ නිමිති විශ්ලේෂණය
මැද පෙරදිග ගැටුම් ඉදිරි මාස කිහිපය තුළ සමනය වී බ්‍රෙන්ට් බොර තෙල් මිල බැරලයකට ඩොලර් 75-85 අතර මට්ටමට නැවත පහළ ගියහොත් ලංකාවේ ඉන්ධන මිල පීඩනය අඩු විය හැකිය. එවැනි තත්වයක් තුළ උද්ධමනය පාලනය වී රුපියල ස්ථාවරවීමේ හැකියාවක් පවතී. සංචාරක ආදායම් සහ විදේශ ප්‍රේෂණ තවදුරටත් වර්ධනය වුවහොත් විදේශ විනිමය සංචිත ශක්තිමත් විය හැකි අතර ආර්ථික වර්ධනය සියයට 3-4 අතර මට්ටමක පවත්වා ගැනීමට හැකි වනු ඇත.
මධ්‍යස්ථ තත්වය (Base Scenario) යටතේ ඉදිරිය පිළිබඳ නිමිති විශ්ලේෂණය
වර්තමාන තත්වය දිගටම පැවතුණහොත් ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවැතිය ද තවදුරටත් විශාල කම්පනයක් නොමැතිව පවතිනු ඇත. මෙම තත්වය යටතේ ලංකාව IMF නිර්දේශිත මිල සූත්‍රය පවත්වාගෙන යන අතර, ඉන්ධන සහ විදුලි මිල වරින් වර සංශෝධනය කිරීමට සිදු වනු ඇත. උද්ධමනය සියයට 5-7 අතර පවතින අතර ආර්ථික වර්ධනය සියයට 3ක පමණ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. කෙසේ වෙතත් පාරිභෝගික වියදම් සහ පෞද්ගලික ආයෝජන මන්දගාමී විය හැකිය.
අහිතකර තත්වය (Pessimistic Scenario) යටතේ ඉදිරිය පිළිබඳ නිමිති විශ්ලේෂණය
මැද පෙරදිග යුද්ධය දීර්ඝ වී හෝ හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත සැපයුම් බාධා තවදුරටත් උග්‍ර වුවහොත් බොර තෙල් මිල බැරලයකට ඩොලර් 100-120 ඉක්මවිය හැකිය. එවැනි තත්වයක් තුළ ලංකාවේ ඉන්ධන ආනයන වියදම දැඩි ලෙස ඉහළ යනු ඇත. විදේශ විනිමය සංචිත මත පීඩනය වැඩිවන අතර රුපියල තවදුරටත් පහළ යාමේ හෝ අව ප්‍රමාණය වීමේ අවදානමක් පවතී.
ඉදිරි වසර තුළ ලංකාවේ ආර්ථිකය සඳහා ප්‍රධාන තීරණාත්මක සාධකය වන්නේ ලෝක තෙල් වෙළෙඳපොළේ දිශානතියයි. කෙටිකාලීනව ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවැතිය හැකි අතර, ආර්ථික ප්‍රතිපත්තියේ අභියෝගය වන්නේ IMF නිර්දේශිත පිරිවැය පිළිබිඹු කෙරෙන මිල සූත්‍රය පවත්වා ගෙන යමින් අඩුආදායම්ලාභී පවුල්, ගොවීන්, ධීවරයන් සහ පොදු ප්‍රවාහන අංශ සඳහා ඉලක්කගත සහන සැපයීමයි.
එබැවින් අප මූලික වශයෙන් විසඳුම් සොයා ගත යුතු ප්‍රශ්නය වන්නේ ජනතාවම මෙම කම්පනය දරා ගත යුතුද? යන්න නොව, මෙම මිල කම්පනයෙන් සමාජයේ ආර්ථික වශයෙන් අවදානමට ලක්විය හැකි පිරිස් සහ දිළිඳු පුද්ගලයන් ආරක්ෂා කර ගනිමින් ආර්ථිකය සමාජ සාධාරණත්වයේ මූලධර්ම මත පිහිටා මැනවින් කළමනාකරණය කර ගත යුත්තේ කෙසේද යන්නයි.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd