මේ වසරේ ජනවාරි මාසයේ සිට මැයි මස අවසානය දක්වා වූ මාස පහක කාලය තුළ ඉන්ධන මිල හය වතාවක් වැඩිකර තිබේ. මාර්තු මාසයේ දී පමණක් තුන් වරක් ඉන්ධන මිල ඉහළ දමනු ලැබීය. එම කාලය තුළ, 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 140කින්ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 130 කින්ද ඉහළ නංවා ඇත. ඉන්ධන පාරිභෝගිකයකු රජයේ ජනමාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ මීට ඉහතදී සල්ලි තිබුණ ද ඉන්ධන හිඟ වී තෙල් පෝලීම් පැවැතුණ බවත්, දැන් එසේ නොවී තෙල් මිලදී ගැනීමට හැකිවී තිබීම පහසුවක් වන බවත්ය.
සැබෑ තත්වය වන්නේ රටේ මෝටර් රථ සඳහා වූ ඉන්ධන ඉල්ලුම අති විශාල ලෙස පහළ වැටී ඇති බවය. රජයේ අධික මිල ගණන්වලට තෙල් මිලදී ගැනීමට මහජනතාවට දැන් සල්ලි නැත. ආර්ථික කටයුතු අද වනවිට පත්ව ඇත්තේ බදු බර, ඉහළ ඉන්ධන මිල, විදුලි බිල හා පාරිභෝගික භාණ්ඩ මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇති තත්වයක් තුළ මහජනතාවගේ එදිනෙදා ජීවිතය ගැටගසා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ගැටලුවකටය.
මැදපෙරදිග යුද්ධය උත්සන්න වූ අවස්ථාවේ දී ලෝක ඉන්ධන මිල ගණන් අතිවිශාල ලෙස ඉහළ ගිය ද දැන් ඉන්ධන බැරලයක මිල ඩොලර් සියයකට වඩා අඩු මට්ටමකට පත්ව තිබේ. එසේ තිබියදී ඉන්ධන මිල ගණන් නැවත නැවත ඉහළ දැමීමට රජයට හේතු ඇති බව ද අමතක කළ යුතු නැත. ශ්‍රී ලංකාව ඩීසල් බැරලයකට ඩොලර් 288 ක් වැනි ඉහළ මිලක් ගෙවීම ලෝක ජනමාධ්‍යවල ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබුණි. එසේ වූයේ එවැනි අධික මිලක් ගෙවා ඉන්ධන මිලදී ගත් රටවල් අතර ශ්‍රී ලංකාව ද එකක් වීම නිසාය. ඒ අතර බාල ගල්අඟුරු ගෙන්වා සිදු කර ගෙන තිබෙන පාඩුව පියවා ගැනීම සඳහා ඉන්ධනවලින් සිදු කරන විදුලි නිෂ්පාදනය වැඩි කිරීමට සිදුව තිබේ. මහජනතාවට ඉන්ධන වෙනුවෙන් අධික මිලක් ගෙවීමට සිදුව ඇත්තේ රජය විසින් ගල්අඟුරු විදුලි නිෂ්පාදනය සම්බන්ධයෙන් ඇති කර ගෙන තිබෙන අතිවිශාල පාඩුව පියවීමට මිස, මැදපෙරදිග යුද්ධය නිසා ඉන්ධන මිල ඉහළ ගොස් ඇතැයි යන මිථ්‍යාව නිසා නොවේ.
පසුගිය ජනාධිපතිවරණ සහ මහමැතිවරණ සමයේ දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එහි නායකයන් පෙන්වා දුන්නේ රටේ වරාය දක්වා ඉන්ධන ගෙන්වීමේ දී යන වියදමට වඩා විශාල බද්දක් රජය අය කරන නිසා ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවය. දැන් ඊටත් වඩා වැඩි බද්දක් ඉන්ධනවලින් රජය අය කර ගනී. එසේ වුව ද පොරොන්දු වූ පරිදි බදු අඩු කර ඉන්ධන අඩු මිලට ලබාදීම පිළිබඳව රජයේ නායකයන් කිසිවකු කතා කරන්නේ හෝ කටයුතු කරන්නේ හෝ නැත.
ශ්‍රී ලංකා මහ බැංකුව වේගයෙන් ඉහළ යමින් තිබූ ඩොලරයේ අගය ක්ෂණිකවම පහළ දැමීමට කටයුතු කළ ආකාරය පිළිබඳව පසුගිය සතියේදී මෙම ලිපියෙන් සාකච්ඡා විය. ශ්‍රී ලංකා මහ බැංකුව විනිමය වෙළෙදුන්, බැංකු සහ මූල්‍ය ආයතන කැඳවා ඩොලරයේ මිල තීරණය වියයුතු ආකාරය පිළිබඳව එම ආයතනවලට දැනුම්දුන් බව පෙන්වා දුනිමු. එය බොහෝ විට සමාන වන්නේ 88/89 කාල පරිච්ඡේදයේ දී ජනතා විමුක්ති පෙරමුණ තුණ්ඩු කෑලි මගින් නියෝග නිකුත් කළ ආකාරයටයි. කෙසේ වුව ද මහ බැංකුව නියම කළ විනිමය අනුපාතය පැවැතුණේ දින කිහිපයක් පමණි. දැන් නැවත වරක් ඩොලරයේ අගය ඉහළ යෑමට පටන් ගෙන තිබේ. විශේෂත්වය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පස්වැනි සහ හයවැනි ණය වාරික ශ්‍රී ලංකාවට ලබාදීමෙන් පසුව ද ඩොලරයේ මිල ඉහළ යෑමයි. වෙළෙඳපොළේ රුපියල තවදුරටත් පිරිහීමට ඉඩ ඇතැයි යන අපේක්ෂාව නිසා මේ ආකාරයට ඩොලරයේ අගය ඉහළ යන බව පෙනේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විනිමය ආයතන සහ බැංකු ආයතන කැඳවා විනිමය අනුපාතය පැවැතිය යුතු ආකාරය පිළිබඳව උපදෙස් දුන්න ද, රුපියලේ අගය ස්ථාවර වන බවක් පෙනෙන්නට නැත. එයින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවට ඉදිරි කාලය තුළදී මුහුණ දීමට සිදුවන ආර්ථික අර්බුදයේ බරපතළකමයි. මෙම දිනවල සිදුවන ආර්ථිකයට අදාළ වෙනස්වීම්වලින් ද එම තත්වය තවදුරටත් පැහැදිලි වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රටේ පොලී අනුපාතය සියයට එකකින් ඉහළ දමනු ලැබීය. එහි එක් අපේක්ෂාවක් වන්නේ රුපියල ශක්තිමත් කිරීමයි. අනෙක් බලාපොරොත්තුව වන්නේ ආර්ථිය තුළ මුදල් සැපයුම අඩුකර උද්ධමනය පාලනය කිරීමයි. දිගුකලක් අවධමන මට්ටමක පැවැති මිල මට්ටම් පසුගිය කාලය තුළදී තරමක වැඩිවීමක් පෙන්නුම් කරන බව පෙනී යයි. එසේ වුව ද පොලී අනුපාතය ඉහළ දැමීම තුළ නිෂ්පාදන හා සේවා ආයතනවල මූල්‍ය පිරිවැය ඉහළ ගොස් ඒවායේ මිල ගණන් තවදුරටත් ඉහළයෑමට ඉඩ තිබේ. මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමේ දී වඩාත් විචක්ෂණ ස්වරූපයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාව ඉස්මතු වෙමින් පවතී.
මානව හිමිකම් කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති තෙන්නකෝන් මහතා පුළුල් මුදල් සැපයුම මුදල් අච්චු ගැසීම නිසා ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසුව ඒ පිළිබඳව රට තුළ සංවාදයක් ඇති විය. මහ බැංකුව ප්‍රකාශ කළේ තාක්ෂණික කරුණු පිළිබඳව කිසිදු වැටහීමකින් තොරව කෙරෙන එබඳු ප්‍රකාශවලට නොරැවටෙන ලෙසයි. නව මහ බැංකු පනත මගින් මුදල් අච්චු ගැසීම සීමා කර ඇති නිසා සහ අයිඑම්එෆ් ගිවිසුමෙන් මුදල් අච්චු ගැසීමෙන් වැළකීමට රජයට නියම කර ඇති බැවින් දැන් මුදල් අච්චු ගැසීමක් සිදු නොවන බව මේ පිළිබඳව අදහස් දක්වමින් ඇතැමෙක් ප්‍රකාශ කළහ.
නව මහ බැංකු පනතෙන් සහ අයිඑම්එෆ් ගිවිසුමෙන් මුදල් අච්චු ගැසීම තහනම් කර ඇත්තේ මහ බැංකුව රජයේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සඳහා ඒවා මුද්‍රණය කරන්නේ නම්ය. එසේ වුව ද මහ බැංකු ප්‍රකාශනවලින්ම පෙනී යන්නේ වෙළෙඳපොළෙන් විදේශ විනිමය මිලදී ගැනීමට තවමත් මහ බැංකුව මුදල් මුද්‍රණය කරන බවය. ඒ පිළිබඳවම කිසිදු සීමාවක් පැනවී නැති බැවින් මහ බැංකුව මුදල් අච්චු නොගසන බවට කර ඇති ප්‍රකාශය සත්‍යයක් නොවන බව පෙනී යනු ඇත.
පසුගිය කාලයේ දී රටේ පුළුල් මුදල් සැපයුමේ ඉහළයෑමට විනිමය මිලදී ගැනීම සඳහා මුදල් මුද්‍රණය කිරීම සැලකිය යුතු ලෙස බලපා ඇති බව පැහැදිලිය. මුදල් අච්චු ගැසීම යන්නෙන් එක් එක් අවස්ථාවලදී ක්ෂණිකව මුද්‍රණාලයකින් මුදල් නෝට්ටු මුද්‍රණය කරවා ගැනීමක් අදහස් නොවේ. මහ බැංකුව දැනටමත් මුද්‍රණය කර ඇති, එහෙත් භාවිතයට ගෙන නැති අතිවිශාල මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ වොල්ට් (Volt) වශයෙන් හඳුන්වන ගබඩා තුළ තැන්පත් කර තිබේ. එම ගබඩාවල ඇති මුදල් භාවිතයට එකතු කිරීම මුදල් අච්චු ගැසීම ලෙස හඳුන්වනු ලැබේ. එයට හේතුව ඒ දක්වා නොතිබුණු මුදල් ප්‍රමාණයක් අලුතෙන් ආර්ථිකයට එකතු කරන බැවිනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර ඇති ගිවිසුමේ කාලය 2027 වසරේ මාර්තු මාසයේ දී අවසන් වේ. ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුතු වන්නේ 2028 වසරේ සිටය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීරණ ණය ගිවිසුම යටතේ ලබා දී ඇති ණය මුදල සහ ණය පියවීම සඳහා ගතවන කාලය සලකා බලන විට එම ණය මුදල ප්‍රමාණාත්මක වශයෙන් එතරම් වැදගත් නොවන බව පැහැදිලිය. එනම් සමහර මාසවල විදේශ ප්‍රේෂණ වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන මුදලට වඩා ණය වාරිකයේ අගය අඩුවීමය. එසේ වුව ද ණය ගිවිසුම ඉතා වැදගත් වූයේත්, වැදගත් වන්නේත් එම ගිවිසුම රටේ මූල්‍ය සුරක්ෂිතතාව පිළිබඳ සහතික වීමක් වූ නිසාය. එවැනි තත්වයක් යටතේ එම ණය ගිවිසුම වෙනුවට වෙනත් ගිවිසුමක් ඉදිරි කාලය සඳහා ඇති කර ගන්නේ ද යන්න පිළිබඳව රජයේ අවධානය යොමු කිරීම සඳහා දැන් අවස්ථාව පැමිණ තිබේ.
ඉන්ධන මිල ඉහළ දැමීම සහ ඒ හා බැඳුණු උද්ධමනාත්මක බලපෑම, රුපියලේ අගය පිරිහීම සහ ඒ හා බැඳුණු ආනයන මිල ඉහළ යෑම හා විදුලිබිල ඉහළ යෑම වැනි සියලු කරුණු වලින් පැහැදිලි වන්නේ ඉතා කෙටිකලක් තුළදී මහජනතාවට එල්ලවන ආර්ථික පීඩනය ඉතා ඉහළ මට්ටමක පවතින බවය. එබැවින් ඒ සඳහා මුහුණදීමට සුදුසු වැඩපිළිවෙළක් ඉතා ඉක්මනින්ම සකසා ගැනීමෙන් සමහර අහිතකර බලපෑම් අවම මට්ටමකට පත්කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.
(***)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd