ඩොලරයේ අගය පසුගිය සතියේ අඛණ්ඩව ඉහළ ගිය අතර බොහෝ දෙනකු සිතුවේ ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම කඩා වැටීමට ඉඩ ඇති බවයි. මැයි 21 වැනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයට අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 342 ක් ද, විකුණුම් මිල රුපියල් 354ක් ද විය. එසේ වුව ද 22 වැනි සිකුරාදා එහි ගැනුම් මිල රුපියල් 342 ක් ද, විකුණුම් මිල රුපියල් 353ක් ලෙස ද වෙනස් වී තිබුණි. ප්‍රධාන වෙනසක් දක්නට ලැබුණේ මහ බැංකුව විසින් දිනපතා ප්‍රකාශයට පත් කරනු ලබන අන්තර් බැංකු ඩොලර් හුවමාරු අනුපාතය පිළිබඳවය.
ඩොලරයක ගැනුම් මිල 21 වැනිදා රුපියල් 331ක් ලෙස ද, විකුණුම් මිල රුපියල් 348 ක් ලෙස ද මහ බැංකුව නියම කර තිබුණ ද 22 වැනිදා ඩොලරයක ගැනුම් මිල රුපියල් 329 ක් ලෙස ද, විකුණුම් මිල රුපියල් 335ක් ලෙස ද විකුණුම් මිල රුපියල් 13කින් පහත වැටී තිබුණි. එකවරම මේ ආකාරයට ඩොලරයේ අගය අඩු වුයේ කෙසේද යන්න පිළිබඳව මහ බැංකුවෙන් කිසිදු අදහස් දැක්වීමක් ඉදිරිපත් වූයේ නැත.
මැයි 21 වැනිදා මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විනිමය නියෝජිත ආයතන සමග රැස්වීමක් පැවැත්වුණු බව ද, ඒ ආකාරයටම 22 වැනිදා වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ රැස්වීමක් පැවැත්වුණු බව ද මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.
එහිදී විනිමය වෙළෙඳපොළ සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව මහ බැංකු පාර්ශ්වයෙන් අවධාරණය වූ බව ප්‍රකාශ වේ. මහ බැංකුව ඩොලරයේ අගය වැඩිවීම නවතා ගැනීම සඳහා සෘජුවම මැදිහත් වූයේ ද යන්න පිළිබඳව හෝ අනියම් ආකාරයකින් මැදිහත් වූයේද යන්න පිළිබඳව තොරතුරු ප්‍රකාශයට පත්වී නැති නිසා ඒ පිළිබඳව ස්ථිරව යමක් ප්‍රකාශ කළ නොහැකිය. ඉහත කී රැස්වීම් දෙකටම සහභාගි වූ පිරිස කොළඹ විදේශ විනිමය වෙළෙඳපොළේ පාර්ශ්වකරුවෝ වෙති. එබැවින් ඩොලරයේ අගය ඉහළ යෑම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද සෘජු හෝ අනියම් මැදිහත්වීම ඩොලරයේ අගය දිගින් දිගටම ඉහළ යෑම වැළැක්වීම සඳහා හේතුවී ඇති බව පෙනී යයි.
ඩොලරයේ මිල ඉහළ යෑම හෝ පහළ යෑම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට කීහිප ආකාරයකින් විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් විය හැකිය. ඩොලරයේ අගය ඉහළ යනවිට තමන් සතු ඩොලර් වෙළෙඳපොළට මුදාහැරීම මගින් තවදුරටත් මිල ඉහළ යෑම වළක්වා ගැනීමට මහ බැංකුව කටයුතු කරයි. එමගින් ඩොලර් වෙළෙඳපොළේ සැපයුම ඉහළ ගොස් මිල පහළ වැටීමක් සිදුවේ. මේ වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය වෙළෙඳපොළට තමන් සතු ඩොලර් මිලියන 12.9ක මුදල් ප්‍රමාණයක් මුදා හරිනු ලැබීය. ඒ ඩොලරයේ මිල ඉහළයෑම වළක්වා ගැනීම සඳහාය. පසුගිය සතිය තුළ ඒ අකාරයට විනිමය වෙළෙඳපොළට තමන් සතු ඩොලර් මුදාහැරියේ ද යන්න හෝ එසේ නම් කොපමණ ඩොලර් ප්‍රමාණයක් මුදා හැරියේ ද යන්න පිළිබඳව තවමත් කිසිවක් නිල වශයෙන් වාර්තා වී නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් විස්තීර්ණ ණය ගිවිසුම අනුව මේ වසර තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලර් බිලියන 8.9ක නිල සංචිත ප්‍රමාණයක් එක් රැස් කරගත යුතුව ඇත.
එසේ වුව ද අප්‍රේල් මස අවසානය වනවිට මහ බැංකුව සතු මුළු සංචිතවල වටිනාකම ඩොලර් බිලියන 6.76ක් විය. මේ වසර අවසන් වීමට පෙර විදේශ ණය ආපසු ගෙවීම සඳහා ඩොලර් බිලියන 2කට වැඩි මුදලක් මහ බැංකුව විසින් ණය ලබාගෙන ඇති ආයතනවලට ගෙවිය යුතුව තිබේ. පසුගිය දිනවල ඩොලරයේ මිල විශාල ලෙස ඉහළ යනවිට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 700ක ප්‍රමාණයකුත්, අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ඩොලර් මිලියන 300කුත් වශයෙන් ඩොලර් බිලියනයක් ලැබීමට නියමිතව ඇති බැවින් රට ඩොලර් අර්බුදයකට මුහුණ නොදෙන බවය. එසේ වුව ද මීට පෙර විදේශ ශ්‍රමිකයන්ගෙන් ශ්‍රී ලංකාවට මුදල් නොඑවන ලෙස ඉල්ලා සිටි ඇමැතිවරුන් විසින්ම අඩුම තරමින් මේ මාසයේ සිට ඩොලර් 1000ක මුදලක් හෝ ශ්‍රී ලංකාවට එවන ලෙස විදේශ ගත පිරිස්වලට ආයාචනා කරන කරන ආකාරය ද සමාජ මාධ්‍යයෙන් දැක ගැනීමට හැකිවිය. එක පැත්තකින් ඩොලර් බිලියනයක් ලැබීමට නියමිතව ඇති බැවින් ඩොලර් අර්බුදයක් පැන නැගි නැතැයි ප්‍රකාශ කරද්දී මැති ඇමැතිවරුන් ඩොලර් එවන ලෙස ආයාචනා කිරීමෙන් පැහැදිලි වන්නේ රට විදේශ විනිමය සම්බන්ධයෙන් විශාල අර්බුදයකට මුහුණදී සිටින බවක් නොවේද?
ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ වෙළෙඳපොළේ පාර්ශ්වකරුවන්ට පැවැතිය යුතු විනිමය අනුපාතය පිළිබඳව බලපෑම් කිරීම මගින් සමහර විට ඩොලරයේ අගය ඉහළ යාම වළක්වා ගත හැකි වුව ද එය තාවකාලික පියවරක් බව පෙන්වා දිය යුතුව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම ආරම්භයේ දී කිසියම් ආකාරයකට ආනයන තහනම් කිරීම සඳහා එකඟතාවක් ලැබී තිබුණි. ඒ නිසාම 2022 මූල්‍ය අර්බුදයෙන් පසු සමහර ආනයන තහනම් කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. එසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස වන්නේ තාවකාලිකව එවැනි පියවර අනුගමනය කළ හැකි වුවත් වෙළෙඳපොළ මගින් විනිමය අනුපාතය තීරණය විම සඳහා ඉඩදිය යුතු බවයි. මහ බැංකුව තමන් සතු ඩොලර් වෙළෙඳපොළට මුදා හැරීමෙන් වෙළෙඳපොළට බලපෑම් කිරීම පිළිබඳව එය කැමැත්තක් දක්වන්නේ නැත.
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබේ. ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ ඒ හේතුවෙන් විශාල ඩොලර් ප්‍රමාණයක් ඉන්ධන ආනයනය සඳහා වැය කිරීමට සිදුව ඇති බවත්, ඩොලර් හිඟයට හේතුව යුද්ධය බවත්ය. යුද්ධය නිසා සංචාරක පැමිණීම අඩුවී එම අංශයෙන් ලැබෙන ආදායම සැලකිය යුතු මට්ටමකින් පහළ බැස තිබේ. එසේ වුව ද සංචාරක ආදායම වර්ධනය නොවීමට යුද්ධය හේතුවක් වුව ද, අධි වියදම් සංචාරකයන් රටට ගෙන්වා ගැනීම සඳහා කිසිදු උනන්දුවක් නොදැක්වීම නිසා පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වැඩි වුව ද සංචාරක ආදායම වැඩිවී නැත. ඩොලර් හිඟයට හේතුව යුද්ධය නොව අවශ්‍ය අවස්ථාවල දී අවශ්‍ය පියවර නොගැනීම බව පෙනී යයි. එවැනි තත්වයක් තුළ යුද්ධයක් නොපැවතුණ ද රජයට අද පවත්නා ආකාරයේ ඩොලර් හිඟයකට මුහුණදීමට සිදුවීම අනිවාර්ය බව පැහැදිලිය.
මේ වසර සඳහා ගල් අඟුරු විදුලි බලාගාර වෙනුවෙන් ගල් අඟුරු ආනයනය ආරම්භ කරන ලද්දේ මැද පෙරදිග යුද්ධය ආරම්භ වීමට පෙරය. යුද්ධය හේතුවෙන් ගල් අඟුරු මිල ඉහළ ගිය බවක් හෝ ආනයනය කළ මුළු ගල් අඟුරු ප්‍රමාණය වෙනුවෙන් පෙරට වඩා විශාල ඩොලර් ප්‍රමාණයක් ගෙවීමට සිදු වූයේ නැත. එසේ වුව ද බාල ගල් අඟුරු ගෙන්වීම නිසා නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් නිපදවන විදුලි නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහත වැටුණි. එම අඩුව පිරිමසා ගැනීමට තාප බලාගාර සඳහා වැඩියෙන් ඉන්ධන ආනයනය කිරීමට සිදුව තිබේ. රජයේ අසාර්ථක කළමනාකරණය හේතුවෙන් සහ දූෂිත ගනුදෙනු හේතුවෙන් වැඩිපුර ඉන්ධන ගෙන්වීමට සිදුව ඇති අතර ඒ සඳහා ගෙවීමට ආණ්ඩුව සතු ඩොලර් වැය කිරීම හේතුවෙන් රට ඩොලර් හිඟයකට මුහුණ දී සිටී.
ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කර ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ද පසුගියදා ජාත්‍යන්තර මට්ටමින් කරුණු වාර්තා විය. රජය ඩීසල් මිලදී ගෙන තිබෙන්නේ බැරලයකට ඩොලර් 258ක් වැනි ඉතා ඉහළ මිලක් ගෙවීමෙන් බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. එවැනි තත්වයක් තුළ රටට එන ඩොලර් ප්‍රමාණය කවර ආකාරයකින් වැඩි වුව ද එය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම නිසා ඩොලර් වැඩි කර ගැනීමෙන් පමණක් එම ප්‍රශ්නයට විසඳුම් ලැබේයැයි සිතිය නොහැකිය.
රජයේ වගකිව යුතු ආයතන වගකීම බාර නොගන්නා තත්වයක් ඇතිව තිබේදැයි යන සැකය මතුවෙමින් පවතී. භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන්වීම සහ වාණිජ බැංකුවක අතිවිශාල මුල්‍ය වංචාවක් සිදුවීම සම්බන්ධයෙන් තමන්ට වගකීමක් නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. උද්ධමනය සහ මූල්‍ය පාලනය තමන්ගේ වගකීම බවත්, ආර්ථික වර්ධනය පිළිබඳව තමන්ට සෘජු වගකීමක් නැති බවත් මහ බැංකුවෙන් ප්‍රකාශ වන ආකාරය දැකගත හැකිවිය. කලින් කලට ඒ ඒ අවස්ථාවල ඇතිවන ගැටලු අනුව රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති හැඩගස්වන්නේ නම් සහ ගල් අඟුරු, ඉන්ධන මිලදී ගැනීම ආදියේ දී දක්නට ලැබුණු අසංවිධිත තත්වයක් නොතිබුණේ නම් ඩොලර් හිඟයක් ඇති නොවීමට අවස්ථාව තිබුණි. බැංකුවලට සහ විනිමය වෙළෙඳුන්ට විනිමය අනුපාත බලෙන් නියම කිරීමෙන් ඩොලරයේ මිල ඉහළ යෑම කෙටි කලකට පාලනය කර ගැනීමට ඉඩ ලැබුණ ද එය අතිශයින්ම තාවකාලිකය. ඩොලර් මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මගින්ය යන සරල සිද්ධාන්තය ආණ්ඩුව හෝ මූල්‍ය අධිකාරින් විසින් හෝ අමතක කර ඇති බවක් පෙනේ.
එවැනි තත්වයක් තිබියදී මහ බැංකුව බැංකුවලට සහ මූල්‍ය ආයතනවලට තර්ජනාංගුලිය දිගු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් නැත. මහ බැංකුව නියම කර ඇති අනුපාතවලට ඩොලර් සොයා ගැනීමට නොහැකි වන තත්වයක් ඇති වෙද්දී කළු කඩය සහ උන්ඩියල් වෙළෙඳුන් විනිමය වෙළෙඳපොළ පවත්වා ගෙන යනු ඇත.
(***)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd