දූෂණයෙන් කාන්දු වන එක රුපියලක් හෝ බේරා ගැනීම යනු, නව බදු පැනවීමේ, රට තවත් ණය බරකට යට කිරීමේ, උද්ධමන පීඩනය වැඩි කිරීමේ හෝ මහජන සේවා කප්පාදු කිරීමේ අවශ්‍යතාව අඩු කිරීමයි. මෙය හුදෙක් පින්-පව් පිළිබඳ සදාචාරාත්මක කතාවක් නොවේ. එය රටක රාජ්‍ය මූල්‍ය ආර්ථිකයේ මූලිකම සහ යථාර්ථවාදී සත්‍යයයි.

දූෂණය හේතුවෙන් රජයේ අයවැයට දෙපැත්තකින් දැඩි හානියක් සිදු වේ. එක පැත්තකින් රේගු, බදු, බලපත්‍ර සහ වෙනත් නීත්‍යනුකූල ආදායම් මාර්ගවලින් රජයට ලැබිය යුතු මුදල් කාන්දු කරයි. අනෙක් පැත්තෙන් මහාමාර්ග, රෝහල්, පාසල්, විදුලි සේවා සහ සමාජ සුබසාධන වැඩසටහන් මහජනතාවට සැපයීමට වැයවන පිරිවැය අසාධාරණ ලෙස ඉහළ නංවයි. මේ නිසා රජය මත අනවශ්‍ය මූල්‍ය බරක් ගොඩගැසෙන අතර, බදු ගෙවන ජනතාව රජය කෙරෙහි තබා ඇති විශ්වාසය ද දුර්වල වේ.

ඒ නිසා දූෂණය සැඟවුණු බද්දකි. එහි බිල්පත පසුව රටම ගෙවයි. ඒ වැඩි ණය ලෙස, උද්ධමනය ලෙස, නව බදු ලෙස හෝ ගුණාත්මකභාවයෙන් දුර්වල මහජන සේවා ලෙසය. මහජන මුදල් කාන්දු වන විට අවසානයේ බිල්පත ගෙවන්නේ වැඩි බදු හා වැඩි මිල ගෙවන සාමාන්‍ය පවුලයි; ඖෂධ හිඟයක් හෝ අඩු සේවාවක් ලබන රෝගියායි; සම්පත් අඩු පාසලක ඉගෙන ගන්නා දරුවායි; නීතියට අනුව ගාස්තු හා බදු ගෙවන නමුත් නීති මගහරින ව්‍යාපාර සමඟ තරග කළ යුතු කුඩා ව්‍යාපාරිකයායි; අද ලබාදිය යුතු සේවා සඳහා හෙට ණය ගෙවිය යුතු අනාගත පරපුරයි.

මේ නිසා දූෂණය අල්ලසක් හෝ අපරාධයක් පමණක් නොවේ. එය රාජ්‍ය මූල්‍ය ධාරිතාව දුර්වල කරන, නිෂ්පාදනශීලී ආර්ථිකයට බාධා කරන, සමාජ අසමානතාව වැඩි කරන සහ ජනතාව හා රාජ්‍යය අතර විශ්වාසය බිඳ දමන ආර්ථිකයට එල්ල වන ගැඹුරු ප්‍රහාරයකි.

සැඟවුණු බද්ද ක්‍රියා කරන්නේ කෙසේද?
රජයක් පාසල්, රෝහල්, මාර්ග, ජලය, විදුලිය, සමාජ ආරක්ෂණය සහ අනෙකුත් මහජන සේවාව සඳහා මුදල් වැය කළ යුතුය. එහෙත් දූෂණය හේතුවෙන් රජයට ලැබිය යුතු ආදායම කාන්දු වුවහොත්, හෝ එකම සේවාවක් සැපයීමට වැයවන පිරිවැය අසාධාරණ ලෙස ඉහළ ගියහොත්, අවසානයේ එම හිඟය පියවෙන්නේ මහජනතාවගේ සාක්කුවෙනි. මහජනතාවගේ සාක්කුව හිස්කරවන ප්‍රධාන මාර්ග හතරක් තිබේ. රජයට බදු වැඩි කළ හැකිය. තවත් ණය ගත හැකිය. මුදල් මුද්‍රණය කරමින් අයවැය හිඟය පියවා ගැනීමට උත්සාහ කළ හැකිය. නැතහොත් රෝහල්, පාසල්, මාර්ග නඩත්තුව සහ සමාජ ආරක්ෂණය වැනි මහජන සේවා සඳහා වෙන් කරන මුදල් කප්පාදු කළ හැකිය. එබැවින් අල්ලසක් හෝ වංචාවක් මගින් හරවාගත් මුදල පළමු වටයේ අලාභය පමණි. දෙවන සහ බොහෝ විට විශාලතම, අලාභය වන්නේ එයින් ඇතිවන රාජ්‍ය මූල්‍ය හිඟය පියවීමට මුළු සමාජයටම පැටවෙන බරයි.

දූෂණය බහුල වන්නේ නිලධාරියකුට පුළුල් අභිමත බලයක්, පුරවැසියන්ට සම්පූර්ණයෙන් පෙනී නොයන තොරතුරු සහ දුර්වල අධීක්ෂණයක් ඇති විටය. රේගු, බදු, බලපත්‍ර සහ ප්‍රසම්පාදන ක්ෂේත්‍රවලදී භාණ්ඩයක හෝ සේවාවක අගය අඩුවෙන් හෝ වැඩියෙන් තක්සේරු කළ හැකිය. භාණ්ඩයක් වැරැදි ලෙස වර්ගීකරණය කළ හැකිය. ලිපිගොනුවක් ප්‍රමාද කළ හැකිය. බදු නිදහසක් ලබාදිය හැකිය. පරීක්ෂාවක් ලිහිල් කළ හැකිය. ටෙන්ඩරයක සුදුසුකම් කොන්දේසි වෙනස් කළ හැකිය. එවැනි තීරණ එක් පුද්ගලයෙකුගේ හෝ කුඩා කණ්ඩායමක අභිමතය මත රඳා පවතින තරමට, මහජන මුදල් කාන්දු වීමේ අවදානම වැඩි වේ.

මෙහිදී තවත් ආර්ථික ගැටලු‍වක් මතුවේ. බදු සහන, බලපත්‍ර, ආනයන අවසර, ඒකාධිකාරී වරප්‍රසාද සහ ප්‍රසම්පාදන කොන්ත්‍රාත් හරහා අසාමාන්‍ය වාසි ලබාගත හැකි විට, ඇතැම් පාර්ශ්ව තම නිෂ්පාදනශීලීත්වය වැඩිදියුණු කිරීමට නොව, එම වරප්‍රසාද අල්ලාගැනීමට මුදල්, කාලය සහ බලපෑම් යොදවයි. ආර්ථික විද්‍යාවේ මෙය “වරප්‍රසාද සෙවීම” (Rent Seeking) ලෙස හැඳින්වේ.

එහිදී රටට ලැබෙන්නේ වඩා හොඳ නිෂ්පාදනයක්, නව තාක්ෂණයක් හෝ උසස් සේවාවක් නොවේ. ලැබෙන්නේ සම්බන්ධතා, බලපෑම් සහ අභිමත තීරණ මත පදනම් වූ වාසි බෙදාහැරීමකි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ මහජන මුදලට ලැබිය යුතු වටිනාකම අඩුවීම සහ රටේ නිෂ්පාදනශීලී ආර්ථික හැකියාව දුර්වල වීමයි.

දූෂණයේ පුළුල් ආර්ථික මිල
දූෂණය බදු ගෙවීමට ජනතාවගේ කැමැත්ත ද දුර්වල කරයි. බදු මුදල් පාසල්, රෝහල් සහ මාර්ග වැනි මහජන සේවාවලට නොගොස්, අල්ලස්, වංචා හෝ වරප්‍රසාද ලෙස කාන්දු වන බව ජනතාවට හැඟෙන විට, නීතියට අනුව බදු ගෙවීමේ සාධාරණත්වය පිළිබඳ විශ්වාසය බිඳ වැටේ. එවිට බදු මගහැරීම වැඩි විය හැකි අතර, රජයට ආදායම රැස් කිරීම තවදුරටත් දුෂ්කර වේ. එය විශ්වාසය අඩුවීමෙන් ආරම්භ වී, ආදායම හා සේවා ගුණාත්මකභාවය තවදුරටත් දුර්වල කරන අහිතකර චක්‍රයකි.

දූෂණය රාජ්‍ය වියදම්වල ප්‍රමුඛතා ද විකෘති කරයි. ජනතාවට වඩාත්ම අවශ්‍ය පාසල, රෝහල හෝ මාර්ගය තෝරාගැනීම වෙනුවට, වැඩි කොමිස්, වඩා පහසු රහස් ගනුදෙනු හෝ දේශපාලන වාසි ලබාදෙන ව්‍යාපෘතිවලට සම්පත් යොමු විය හැකිය. එවිට මහජන මුදලට ලැබිය යුතු වටිනාකම අඩුවෙයි. එසේම අල්ලස්, ප්‍රමාද සහ අසාධාරණ තරගය නිසා නීතියට අනුව වැඩ කරන ව්‍යාපාරවල පිරිවැය ඉහළ යයි. නිෂ්පාදනය, නවෝත්පාදනය සහ ගුණාත්මකභාවය වෙනුවට සම්බන්ධතා හා බලපෑම් තීරණය කරන ආර්ථිකයකට ආයෝජනය ආකර්ෂණය වන්නේ අඩුවෙනි.

පර්‌යේෂණ සාක්ෂි පෙන්වන දේ
ලේඛන ගොනුවක් පරක්කු වන විට, කීයක් හෝ ගෙවා කාර්යය ඉක්මන් කරගැනීම ප්‍රායෝගික විසඳුමක් බව සමහරු සිතති. දූෂණය නිසා පද්ධතියේ වේගය වැඩි වන බවට පවතින මෙම මතයට බහුතර ජාත්‍යන්තර පර්‌යේෂණ සාක්ෂි සහාය නොදෙයි. අල්ලස නිසා සිදු වන්නේ පද්ධතිය සැබෑ ලෙස කාර්යක්ෂම වීම නොව, ප්‍රමාදය, අභිමතය සහ අපැහැදිලි ක්‍රියාපටිපාටි මුදල් උපයාගත හැකි අවස්ථා බවට පත් වීමයි.

එවිට නිලධාරියකුට කාර්යය නිසි වේලාවට ඉටු කිරීමට වඩා, එය ප්‍රමාද කර හෝ අතිරේක බාධා මතු කර අල්ලසක් ලබාගැනීමට පෙළැඹවීමක් ඇති විය හැකිය. එබැවින් අල්ලස පද්ධතියේ ගැටලු‍ව විසඳන්නේ නැත. එය එම ගැටලු‍වම තවදුරටත් පවත්වාගෙන යාමට ආර්ථික උත්තේජනයක් ලබාදෙයි. 

රේගු පරිපාලනය පිළිබඳ පර්‌යේෂණ ද තවත් වැදගත් පාඩමක් ලබාදෙයි. රේගු බදු අනුපාතය ප්‍රතිශත අංක 1කින් ඉහළ යන විට, දුර්වල පාලන පද්ධතියක් තුළ බදු මගහැරීම සියයට 3කින් පමණ වැඩි විය හැකි බව ජාත්‍යන්තර වෙළෙඳ දත්ත ඇසුරෙන් කළ අධ්‍යයනයක් පෙන්වා ඇත. එහි අර්ථය බදු අනුපාත ඉහළ දැමීම සැමවිටම ආදායම අඩු කරන බව නොවේ. එහෙත් නිසි අගය තක්සේරුව, භාණ්ඩ නිවැරැදිව වර්ගීකරණය කිරීම, ඩිජිටල් ලේඛන, අවදානම් මත පදනම් වූ පරීක්ෂණ සහ ශක්තිමත් බලාත්මක කිරීමක් නොමැති විට, ඉහළ බදු අනුපාතයම අගය අඩුවෙන් පෙන්වීමට, වැරැදි වර්ගීකරණයට සහ බදු මගහැරීම්වලට පෙළැඹවීමක් විය හැකිය.

දූෂණයේ සමාජමය ප්‍රතිවිපාක ද එතරම්ම බරපතළය. එය අසමානතාව සහ දරිද්‍රතාව වැඩි කළ හැකිය. එයට හේතු වන්නේ වර්ධනය දුර්වල වීම, බදු පද්ධතිය වඩා අසාධාරණ වීම, සමාජ ආරක්ෂණ මුදල් නිසි ඉලක්ක කණ්ඩායම් වෙත නොපැමිණීම සහ අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය පහළ යාමය.

එබැවින් දූෂණය සාර්ව ආර්ථික ප්‍රශ්නයක් පමණක් නොවේ. එය රෝහලක ඖෂධ ලැබේද, පාසලක අවශ්‍ය සම්පත් තිබේද, අඩු ආදායම් පවුලකට සහනය නිසි ලෙස ළඟා වේද යන්න තීරණය කරන සමාජ ප්‍රශ්නයකි.


දූෂණ විරෝධය ආර්ථික ප්‍රතිසංස්කරණයකි
දූෂණය අවම කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ, අල්ලස් හා වංචා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියකට පමණක් සීමා කර නොදැකිය යුතුය. මහජන මුදල් කාන්දුවීම් අවම කිරීම සඳහා ඩිජිටල්කරණය, අවදානම් මත පදනම් වූ පාලනය, විවෘත ප්‍රසම්පාදනය සහ රාජ්‍ය ව්‍යාපාරවල මූල්‍ය විනය ශක්තිමත් කිරීමට වත්මන් ආණ්ඩුව ප්‍රමුඛතාව ලබාදෙමින් සිටින බව පෙනේ. ඩිජිටල් ලේඛන හා පද්ධති මඟින් සෑම තීරණයකටම විගණනය කළ හැකි සටහනක් ඉතිරි වන බැවින්, අභිමත බලය සහ පසුව ලේඛන වෙනස් කිරීමට ඇති ඉඩ සීමා කළ හැකිය. අවදානම් ලක්ෂණ හඳුනාගෙන පරීක්ෂාව අවශ්‍ය ගනුදෙනු වෙත යොමු කිරීම මඟින් බලාත්මක කිරීම වඩා කාර්යක්ෂම කළ හැකිය. විවෘත ටෙන්ඩර් ක්‍රියාවලි හා පසු-කොන්ත්‍රාත් විගණන මහජන මුදලට වැඩි වටිනාකමක් ලබාදෙයි. පිරිවැය පිළිබිඹු කරන මිලකරණය සහ විනිවිද පෙනෙන පාලනය රාජ්‍ය ව්‍යාපාරවල සැඟවුණු මූල්‍ය බර අඩු කිරීමට උපකාරී වේ. 

එබැවින් දූෂණය අවම කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියකි. එය ආර්ථික වර්ධන ප්‍රතිපත්තියකි. එය සමාජ සුබසාධන ප්‍රතිපත්තියකි. එය බදු වැඩි නොකර රාජ්‍ය ආදායම ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළකි. අධික ණය ගැනීම් අවම කිරීමේ වැඩපිළිවෙළකි. උද්ධමනය හා ගාස්තු වැඩිවීම්වල බර සාමාන්‍ය ජනතාව වෙත තල්ලු‍ නොකිරීමේ වැඩපිළිවෙළකි. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, සමාජ ආරක්ෂණය සහ යටිතල පහසුකම් සඳහා ඇති මූල්‍ය අවකාශය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළකි. එමෙන්ම නීතිගරුක ව්‍යාපාර සඳහා සාධාරණ තරගකාරී පරිසරයක් ගොඩනැගීමේ වැඩපිළිවෙළකි.

මෑතකාලීන ආදායම් ප්‍රවණතා සහ ආරම්භ කර ඇති පාලන ප්‍රතිසංස්කරණ මගින්, වත්මන් ආණ්ඩුව මෙම දිශාවට ඉතා ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී ඇති බවට ධනාත්මක සංඥා ලැබේ. එහෙත් මෙය අවසානය නොව ආරම්භයයි. සැබෑ සාර්ථකත්වය තහවුරු වන්නේ එම ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල සාමාන්‍ය ජනතාවගේ බදු බර, ණය බර, ජීවන වියදම සහ මහජන සේවාවල ගුණාත්මකභාවය තුළ ඇස් පනාපිට දැකගත හැකි වන විටය. එවිට පමණක් දූෂණ විරෝධී ප්‍රතිපත්තිය සැබෑ රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණයක් වනු ඇත.

දූෂණයෙන් රැකගන්නා රුපියලක් යනු රුපියලක් ඉතිරි කිරීම පමණක් නොවේ. එය මහජන අරමුණ සඳහා එකතු කළ මුදල නැවත මහජන අරමුණටම යොමු කිරීමකි. කාන්දුව අඩු වන තරමට බදු බර අඩුවේ. ණය ගැනීමේ අවශ්‍යතාව අඩුවේ. උද්ධමන පීඩනය අඩුවේ. මහජන සේවාව වඩා ඉහළ ගුණාත්මකභාවයෙන් ජනතාව වෙත ළඟා කරවීමට මග පෑදේ.

(***)