ශ්‍රී 2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව තවමත් ආර්ථික ස්ථාවරත්වය සොයමින් ඉතා අපහසු කාල පරිච්ඡේදයක් ගත කරමින් පසු වේ. විදේශ විනිමය හිඟය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ඉහළ ජීවන වියදම සහ දුර්වල ආදායම් වර්ධනය වැනි ගැටලු‍ අතරේ රට යළි ගොඩ නැගීමට උත්සාහ කරන පසුබිම තුළ 2026- 27 කාලයේ ඇතිවිය හැකි ප්‍රබල එල්නිනෝ තත්වය ශ්‍රී ලංකාවට තවත් බරපතළ ආර්ථික සහ සමාජ අභියෝගයක් බවට පත් විය හැකි බවට ජාත්‍යන්තර දේශගුණික ආයතන අනතුරු අඟවා ඇත.

සාමාන්‍ය අර්ථයෙන් සලකා බැලීමේ දී එල්නිනෝ යනු පැසිෆික් සාගරයේ මධ්‍යම හා නැගෙනහිර ප්‍රදේශවල ජල උෂ්ණත්වය සාමාන්‍යයට වඩා ඉහළ යාම නිසා ලෝක කාලගුණ රටා වෙනස්වන ස්වාභාවික දේශගුණික සංසිද්ධියක් වන අතර එය වසර 2 සිට 7 අතර කාලයකට වරක් ඇතිවිය හැකිය. එමගින් ඇතිවන බලපෑම් ලෝකයේ විවිධ ප්‍රදේශවලට විවිධ ආකාරයෙන් බලපෑම් ඇති කරනු ලබන අතර දකුණු ආසියාව සලකා බැලීමේ දී එල්නිනෝ තත්වය හරහා වියළි පාරසරික උෂ්ණත්වය ඉහළ යාම, මෝසම් දුර්වල වීම හරහා කෘෂි අංශයට ප්‍රබල බලපෑමක් ඇති කරයි. ඒ හරහා නිෂ්පාදන ප්‍රමාණය පහළ යාම දැක ගත හැකිය.

ශ්‍රී ලංකාවට එල්නිනෝ තත්වයෙහි බලපෑම සාකච්ඡා කිරීමේ දී එය ප්‍රධාන වශයෙන් වර්ෂාපතන රටාව සහ උෂ්ණත්ව වෙනස්වීම් හරහා ප්‍රබල බලපෑමක් සමස්ත සමාජය මතම ඇති කිරීමට යොමු වනු ඇත. දේශගුණ විශ්ලේෂකයන්ට අනුව ජූලි සහ අගෝස්තු කාලයේ වර්ෂාපතනය අඩුවීම හේතුවෙන් වියළි කාලගුණික තත්වයක් ඇතිවිය හැකිය. එසේම ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලයේ අධික වර්ෂාව සහ ගංවතුර අවදානම් ඉහළ යා හැකි අතර 2027 මුල් මාසවල උෂ්ණත්වය ඉහළ යාමක් අපේක්ෂා කර ඇත. මෙලෙස වරින්වර සිදුවන කාලගුණික වෙනස්කම් හමුවේ දේශීය කෘෂි කර්මාන්තය දැඩි අභියෝගවලට මුහුණ පෑමට සිදුවන බව ඉතාමත් පැහැදිලිය.

තවමත් සංවර්ධනය වෙමින් පවතින කෘෂි කර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය වී ඇති ශ්‍රී ලංකා ආර්ථිකය මෙවැනි තත්ව හමුවේ දැඩි අර්බුදවලට මුහුණ පාන අතර වර්ෂාපතනය අඩුවීම සහ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් යල කන්නයේ වී නිෂ්පාදනය අඩුවිය හැකිය. එළවළු. පලතුරු, තේ සහ පොල් වැනි වගාවලට ද බලපෑම් ඇතිවිය හැකිය. 2025 වර්ෂයේ අපනයන සංයුතිය සලකා බැලීමේ දී 2024 වසරට සාපේක්ෂව සියයට 10.7ක වර්ධනයක් සනිටුහන් කරමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට කෘෂිකාර්මික අපනයන ආදායම 2025 වසරේ දී එ.ජ. ඩොලර් බිලියන 3 ඉක්ම වූ අතර, පොල් ආශ්‍රිත නිෂ්පාදිත සහ තේ මෙම වර්ධනය සඳහා ප්‍රබල පිටිවහලක් විය.

තේ කර්මාන්තය ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ආදායම් මාර්ගයක් වන අතර එය ලංකාවේ දෙවැනි ප්‍රධානතම අපනයන භාණ්ඩ කාණ්ඩය වේ. එහෙත් උෂ්ණත්වය ඉහළ යාම සහ වර්ෂාපතන රටා වෙනස්වීම තේ නිෂ්පාදනයට සහ එහි ගුණාත්මකභාවයට බලපෑම් ඇති කළ හැකිය. එසේම පොල් නිෂ්පාදනයට ද ප්‍රමාණවත් ජලය නොමැති වීම හේතුවෙන් ඵලදාව පහළ යා හැකි අතර එය දේශීය ආහාර මිලට සහ අපනයන ආදායම්වලට ඍජුවම බලපානු ඇත.

එල්නිනෝ වැනි තත්වයක් හරහා උක්ත අංශ කෙරෙහි අයහපත් බලපෑම් ඇති කරන බැවින් දේශීය ආර්ථිකය කෙරෙහි ඍණාත්මක බලපෑම් ඇති කිරීමට සමත් වේ. විශේෂයෙන් වියළි කලාපවල වාරි ජල හිඟය බරපතළ ප්‍රශ්නයක් බවට පත්විය හැකි අතර එය ආහාර සුරක්ෂිතතාවට සෘජුව බලපානු ඇත. ලෝක ආහාර වැඩසටහන (WFP) පෙන්වා දෙන ආකාරයට බලශක්ති අර්බුද සහ එල්නිනෝ තත්ව එකට පැමිණිවිට සංවර්ධනය වෙමින් පවතින රටවල ආහාර මිල, දුප්පත්කම සහ පෝෂණ ගැටලු‍ තවත් උග්‍ර විය හැකිය. එසේම බෝවන රෝග තත්ව ද ශීඝ්‍රයෙන් ඉහළ යාම හරහා සෞඛ්‍ය ගැටලු‍ රාශියකට මුහුණ පෑමට සිදුවන බව අනාවරණය කර ඇත.  

මීට අමතරව එල්නිනෝ තත්වය බලශක්ති ක්ෂේත්‍රයට ද විශාල බලපෑමක් ඇති කළ හැකිය. ශ්‍රී ලංකාවේ විදුලිබල නිෂ්පාදනයෙන් සැලකිය යුතු කොටසක් ජල විදුලිය මත රඳා පවතින අතර නියඟ හේතුවෙන් ජලාශ මට්ටම් පහළ ගියහොත් ජල විදුලි නිෂ්පාදනය අඩුවිය හැකිය. ඩීසල් සහ ගල් අඟු‍රු මත රඳා පැවැත්ම වැඩිවිය හැකිය. එමගින් විදුලි නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් ඉන්ධන ආනයන පීඩනය වැඩිවීමත් සිදුවිය හැකිය. එසේම වර්තමාන මැදපෙර දිග යුද ගැටුම් හමුවේ ඉන්ධන මිල ඉහළ යන පරිසරයක් තුළ එල්නිනෝ තත්වය හමුවේ ඇති විය හැකි මෙවැනි ප්‍රතිඵල ශ්‍රී ලංකා ආර්ථිකය මත ඇති දැඩි පීඩනයක් ඇති කරනු ඇත. එය සමස්ත ප්‍රජාව දැඩි අපහසුතාවකට පත් කිරීමටත් ඔවුන්ගේ අනාගත අරමුණුවලට බාධා ඇති කිරීමටත් ඉහළ අවකාශයක් පවතී.

මේ වනවිටත් ශ්‍රී ලංකාව ඉන්ධන ආනයන විදේශ විනිමය හිඟය සහ ණය පීඩනයකට මුහුණ දී සිටින බැවින් මෙම තත්වය ආර්ථිකයට තවත් බරක් එක් කළ හැකිය. විශේෂයෙන් ඉහළ උෂ්ණත්වය හේතුවෙන් වායුසමීකරණ සහ සිසිලන උපකරණ භාවිතය වැඩිවීම නිසා විදුලි ඉල්ලු‍ම ද ඉහළ වාර්තාගත මට්ටම්වලට ළඟා විය හැකිය. දැනටමත් රජය විසින් රජ්‍ය ආයතනවල විදුලිය භාවිතය අවම කිරීමටත් බලශක්තිය ඉතිරි කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ලැබ ඇති අතර එය මෙවැනි පසුබිමක ප්‍රසංශනීය වේ.

විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකාවේ දැනට පවතින බලශක්ති අර්බුදයට ප්‍රධාන හේතු අතර ගල් අඟු‍රු සැපයුම් ගැටලු‍ ඉන්ධන පිරිවැය සහ විදුලි ඉල්ලු‍ම ඉහළ යාම ඇතුළත් වන අතර එල් නිනෝ හේතුවෙන් නියඟ තත්ව තවත් උග්‍ර වුවහොත් විදුලිබල පද්ධතියට දැඩි පීඩනයක් එල්ල විය හැකිය. එසේම මෙවැනි කාලගුණික වෙනස්කම් නිරන්තරයෙන් ඇති වීම හරහා බලශක්ති භාවිතය අවම කිරීමට වරින් වර විදුලි කප්පාදු කිරීමේ අවදානමක් ද මතුවිය හැකිය. එය ආර්ථිකයේ නිෂ්පාදන ක්‍රියාවලිය මත ඍණ බලපෑම් ඇති කරනු ඇත.

මෙම පසුබිම තුළ වහලමත සවි කරන සූර්ය බල පද්ධති   (Rooftop Solar) වැනි පුනර්ජනනීය බලශක්ති විසඳුම්වල වැදගත්කම අවධාරණය කළ හැකිය. එම පද්ධති කෙටි කාලයක් තුළ පහසුවෙන් පුළුල් කළ හැකි අතර දිවා කාලයේ විදුලි ඉල්ලු‍ම අඩු කිරීමට ද උපකාරී වේ. මීට අමතරව බැටරි බලශක්ති ගබඩා පද්ධති (Battery Energy Storage Systems-BESS) සූර්ය බලශක්තිය රාත්‍රී කාලයට ගබඩා කර තැබීමට භාවිත කළ හැකිය. එබැවින් ලෝකයේ බොහෝ රටවල් ඒ පිළිබඳ අවධානය යොමු කරමින් පවතින අතර දැනටමත් ශ්‍රී ලංකා රජය 2030 වන විට විදුලිබල නිෂ්පාදනයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගැනීමේ ඉලක්කයක් ස්ථාපනය කර ඇත. එහි මුල් පියවර වශයෙන් බැටරි බලශක්ති ගබඩා පද්ධති: (BESS) ව්‍යාපෘති 12ක් ස්ථාපිත කිරීමට ගිවිසුම් ගත වී ඇති අතර එහි ප්‍රථම බැටරි ගබඩා දැනටමත් කොළඹ වරාය වෙත පැමිණ ඇත. එමගින් දහවල් කාලයේ දී සුළගින් සහ අව්වෙන් වැඩිපුර නිපදවන විදුලිය අපතේ නොයවා මෙම බැටරි පද්ධති තුළ ගබඩා කර විදුලි ඉල්ලු‍ම අධික රාත්‍රී කාලයේ දී හෝ පුනර්ජනනිය විදුලි උත්පාදනය අඩු අවස්ථාවල දී නැවත ජාතික පද්ධතියට එක්කර භාවිත කිරීමට අවකාශය ලබා දෙයි. රජය විසින් ක්‍රියාවට නංවනු ලබන මෙවැනි ප්‍රතිපත්ති එල් නිනෝ වැනි අවදානම් හමුවේ ඉතා වැදගත් වන අතර සූර්ය සහ සුළං බලශක්තිය පුළුල් කිරීමෙන් ඉන්ධන ආනයන පිරිවැය අඩු කර බලශක්ති ආරක්ෂාව ශක්තිමත් කළ හැකිය.

කෙසේ වෙතත් ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර විදුලි ජාල නවීකරණය (Grid modernization) වහල මත සූර්ය බල පද්ධති සවි කිරීම අනුමත කිරීම බැටරි ශක්ති ගබඩා ආයෝජන ජාලයට විදුලිය සැපයීම සඳහා ගෙවීම් ගාස්තු ප්‍රතිපත්ති වැනි දෑ සුදුසු පරිදි සකස් කර ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. එසේ නොවූවහොත් ශ්‍රී ලංකාවට ඉදිරි වසරවල දී විදුලි අර්බුද සහ ඉහළ බලශක්ති පිරිවැයවලට මුහුණ දීමට සිදුවිය හැකිය. වර්තමානයේ මුහුණ පා ඇති ආර්ථික ගැටලු‍ තවදුරටත් පුළුල් වනු ඇති අතර සාමාන්‍ය ජන ජීවිතය තුළ දැඩි පීඩනයක් ඇති කරනු ඇත.

එල්නිනෝ අවදානම හමුවේ ලෝකයේ අනෙකුත් රටවල් දැනටමත් ඔවුන්ගේ ප්‍රතිපත්ති සහ අවශ්‍ය පූර්ව ආරක්ෂණ වැඩපිළිවෙළ සකස් කර ඇති පසුබිමක ඒ පිළිබඳව ද අවධානය යොමු කිරීම වැදගත්ය. ඉන්දියාව සලකා බැලීමේ දී ඔවුන් මේ වනවිටත් විශාල සූදානමකින් පසුවන අතර ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව (IMD) ජල සම්පත් අංශ සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධව නියඟ අවදානම් ජල කළමනාකරණය සහ ආහාර සුරක්ෂිතතා සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටියි. එසේම වියළි කාලගුණයට ඔරොත්තු දෙන බීජ, ජල සංරක්ෂණ වැඩසටහන් ගොවීන්ට කෙටි පණිවුඩ හරහා කාලගුණ අනතුරු ඇඟවීම් සහ පුනර්ජනනීය බලශක්ති ආයෝජන ඉන්දියාව පුරා වේගයෙන් පුළුල් කරමින් සිටියි. මීට අමතරව පිලිපීනය, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවල් ද පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති දේශගුණික අවදානම් රක්ෂණ ක්‍රම, දේශගුණ රක්ෂණ යෝජනා ක්‍රම සහ හදිසි ආහාර ගබඩා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යොමු වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම රටවල් පූර්වාදර්ශයට ගත හැකිය. ජල කළමනාකරණය. කෘෂිකාර්මික ප්‍රතිසංවිධානය දේශගුණයට යෝග්‍ය කෘෂිකර්මාන්තය ආහාර ගබඩා සහ ඒවා කළමනාකරණය වැනි ක්ෂේත්‍රවල ආයෝජනය පුළුල් කිරීමත් විශේෂයෙන් ගොවීන් සඳහා කෘෂි රක්ෂණ, දේශගුණික තොරතුරු සහ තාක්ෂණික උපදේශන ලබාදීම වැදගත් වන අතර එය කාලීන ආවශ්‍යතාවකි.

මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කර ඇති ශ්‍රී ලංකාවේ ජාතික දේශගුණික මූල්‍ය උපාය මාර්ගය 2025-2030 ප්‍රකාශය හරහා ද තිරසාර සංවර්ධන මුල පිරීම් සඳහා මූල්‍යකරණයට පහසුකම් සැලසීම සහ රට තුළ දේශගුණික අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම අරමුණු කරගත් ප්‍රතිපත්ති රාමුවක් සපයා ඇත. මේ හරහා ජාත්‍යන්තර අරමුදල් සමග ඒකාබද්ධ වෙමින් රට දේශගුණික වෙනස්වීම්වලට මුහුණ දීමට සුදානම් කිරීමත්, ආර්ථික වශයෙන් ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමත් පිළිබඳ අවධානය යොමු කර ඇත. එහි දී උපාය මාර්ග 12ක් පිළිබඳ අවධානය යොමු කර ඇති අතර ආපදා අවදානම් රක්ෂණය දේශගුණික ක්‍රියාමාර්ග සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සඳහා සහනාධාර වැනි දෑ එල්නිනෝ හමුවේ මුහුණ දීමට වඩාත් වැදගත් වේ.

ඒ අනුව පැහැදිලි වනුයේ එල්නිනෝ යනු හුදෙක් කාලගුණික සංසිද්ධියක් පමණක් නොවන අතර එය ආහාර, ජලය, බලශක්තිය, සෞඛ්‍යය සහ සමස්ත ආර්ථිකය සමග සම්බන්ධ වූ බහුමාන අර්බුදයකි. විශේෂයෙන් 2022 ආර්ථික අර්බුදයෙන් පසු තවමත් ස්ථාවරත්වය සොයන ශ්‍රී ලංකාවට මෙවැනි දේශගුණික කම්පන ඉතා බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකි ය. එය පොදු මහජනතාවට අභියෝගාත්මක කාල සීමාවක් නිර්මාණය කරනු ඇත. එබැවින් විද්‍යාත්මක දේශගුණ දත්ත ආර්ථික සැලසුම් කෘෂිකාර්මික ප්‍රතිසංවිධාන පුනර්ජනනීය බලශක්ති ආයෝජන සහ ප්‍රාදේශීය වශයෙන් සම්බන්ධ කරගත් ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කිරීමත් අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමත් අත්‍යවශ්‍ය වනු ඇත.

 

(***)