එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන විසින් ඉකුත් දිනෙක දී ප්‍රසිද්ධ කරන ලද වාර්තාවකට අනුව ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 13 ක පිරිසක් ආහාර අනාරක්ෂිතභාවයට නැතිනම් තුන් වේල සපයා ගත නොහැකි අර්බුදයකට මුහුණ දී සිටින බව දැක්වේ.

ආහාර අනාරක්ෂිතභාවය මෙරටට අනන්‍ය වූ ප්‍රශ්නයක් බවට කාලයක සිට පත් ව තිබුණි. ඊට හේතුව, චීනය සමග රබර් සහල් ගිවිසුම අස්සන් කළ දා සිට ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සිදු වූ බැවිනි.

මෙම ගිවිසුම අස්සන් කළ අවස්ථාවේ මෙරට වෙළෙඳ අමාත්‍යවරයාට චීන රජයේ බලධාරීන් පැවැසුවේ රජයක පරම වගකීම විය යුත්තේ ජනතාවට තුන් වේල කෑමට ආහාර සැපයීම බව ය. එදා සිට අද වනවිට දශක ගණනාවක් ගත වී ඇතත් ලංකාවේ තුන් වේල කන්න දිය හැකි ආර්ථිකයක් නිර්මාණය වී නැත. ඊට ප්‍රධාන හේතුව, ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් යැයි කීව ද මෙරට ආර්ථිකයට කෘෂි අංශයේ දායකත්වය සියයට 8 කට සීමා වී තිබීම ය. මේ සියලු‍ තත්ව හමුවේ ආහාර අනාරක්ෂිතභාවය යනු අපේක්ෂා කළ නොහැකි අර්බුදයක් නොවේ.

වසර 2022 ආර්ථික අර්බුදය උද්ගත වූ අවස්ථාවේදීත් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයක් ඇති විය. ශ්‍රී ලංකාවේ අර්බුදයක් නිසා ආහාර අනාරක්ෂිතභාවයක් මතු වන අවස්ථාවල අපට ලෝකයේ විවිධ රටවලින් සහන ලබාගැනීමට පිළිවන. එහෙත් ගෝලීය අර්බුදයක් හේතුවෙන් ආහාර අනාරක්ෂිතභාවයක් ඇති වුව හොත් ඒ ආකාරයේ සහන ලබාගැනීම දුෂ්කර වේ. ඊට හේතුව, ලෝකයේ බොහෝ රටවල් අඩු වැඩි වශයෙන් ආහාර පිළිබඳ අර්බුදයකට මුහුණ දෙන නිසා ය. මෙම වාර්තාවේ සඳහන් තුන් වේල සපයා ගත නොහැකි පිරිස ඉදිරියේ දී තවත් ඉහළ යා හැකි ය. ඒ, උද්ගත විය හැකි එල්නිනෝ කාලගුණ තත්වයක් පිළිබඳව අනාවැකි පළ කර ඇති හෙයිනි. මෙම වසරේ ජූලි අගෝස්තු සිට ලබන වසරේ මුල් කාර්තුව දක්වා එම එල්නිනෝ තත්වය පැවැතිය හැකි බවට කාලගුණ අංශ විසින් පුරෝකථනය කරනු ලැබ ඇති අතර ඒ හේතුවෙන් අපට ඉදිරියේ දී ජල ප්‍රශ්නයකට ද මුහුණ දීමට සිදු වනු ඇත.

අධික වියළි කාලගුණ තත්වයක් උද්ගත වුවහොත් වගාවලට අවශ්‍ය ජලය නිසි පරිදි සැපයීමට නොහැකිවීමෙන් වගා හානි වීමේ ප්‍රතිශතය වැඩිවීමට පිළිවන. එසේ ම ආහාරවල මිල මට්ටම් විශාල වශයෙන් ඉහළ යෑමට ඉඩ ඇත. දැනටත් ගොවීන්ට නිසි පරිදි පොහොර නොලැබේ. එහි ප්‍රතිඵලයක් ලෙස වගා කටයුතුවල ඵලදායීතාව සැලකිය යුතු අගයකින් පහළ යයි. අස්වනු අලෙවි කරගැනීමේ ප්‍රශ්නයකට ද ගොවීහු මුහුණ දෙති. මෙපරිදි ඉදිරියේ දී උද්ගත විය හැකි අහිතකර තත්වය හමුවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතුව තිබිණි. මන්ද, මෙය හදිසි අවශ්‍යතාවක් වන හෙයිනි. වෙනත් රටවල් මේ වෙද්දීත් ආහාර සුරක්ෂිතතාව අරබයා ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. ලංකාව දැන්වත් ඒ සඳහා සූදානම් නොවුණහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවෙන් කියන ආහාර අනාරක්ෂිතතාව මීට වඩා බරපතළ අර්බුදයක් දෙසට ගමන් ගැනීමට හැකියාව පවතී.

සාමාන්‍ය තත්වවලදීත් අපට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් බොහෝ ප්‍රමාණයක් ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකින් ආනයනය කරනු ලැබේ. මැද පෙරදිග යුද ගැටුම් තීව්‍ර වුවහොත් බොහෝ රටවල් ආහාර අපනයනය කිරීම සීමා කිරීමට ඉඩ ඇති අතර එවැන්නක් වුවහොත් ලංකාවට දරාගත නොහැකි පීඩනයක් ඇති වේ. ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන අතරවාරයේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු ය. ආහාර සුරක්ෂිතතාව ගැන කතා කිරීමේ දී වගා සංග්‍රාම අපගේ සිහියට එයි. එය ලංකා දේශපාලනයේ අවඥාවට ලක් වූ යෙදුමකැයි කිවහොත් එහි වැරැද්දක් නොමැත. හේතුව, විවිධ ආණ්ඩු යටතේ මහා වගා සංග්‍රාම යැයි පවසමින් ජනතාව අතර නොයෙක් පැළ හා බීජ බෙදීම පමණක් සිදු වූ නිසා ය. එයින් එහාට ඒ ගැන සොයා බැලීමක් සිදු නොවිණි. ඒ වෙනුවට කළ යුත්තේ සංකල්පය වශයෙන් එය ක්‍රියාත්මක කිරීම ය.

කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමේ දී ඉන්දියාව ක්ෂේත්‍ර තුනක් දියුණු කළේ ය. ඒවා වන්නේ බීජ නිෂ්පාදනය, ජල කළමනාකරණය සහ පොහොර නිෂ්පාදනය යි. ලංකාවට අවශ්‍ය කෘෂි බීජ ආනයනය කරනු ලැබේ. ආනයනික බීජ නුසුදුසු යැයි ගොවීහු කාලයක සිට චෝදනා කරති. ඉන්දියාව මෙරටට එවන බීජ ඉහළ ඵලදායීතාවෙන් යුතු ඒවා නොවේ. පළමු හා දෙවැනි පරම්පරාවල බීජ ඉහළ ඵලදායීතාවක් සහිත වුව ද ලංකාවට එවන්නේ ඊට වඩා පහළ දුර්වල ඵලදායීතාවක් සහිත පරම්පරාවල  බීජ ය. මේ සන්දර්භයේ මෙරට පිහිටි කෘෂි පර්‌යේෂණ හා බීජ නිෂ්පාදන ආයතනවල වගකීම විය යුත්තේ නිපදවිය හැකි බීජ වර්ග හඳුනාගෙන ඒ සඳහා කඩිනමින් යොමු වීම ය. වැසි වසිද්දී බොහෝ ප්‍රදේශ යට වන අතර වැසි රහිත කාලගුණ තත්ත්ව පවතින විට අධික රස්නයක් දැනේ. මෙයින් හැඟෙන්නේ අහසින් වැටෙන ජලය කළමනාකරණය කිරීමට අප අපොහොසත් වී ඇති බව ය. එමෙන් ම ශ්‍රී ලංකාව රටට අවශ්‍ය පොහොර නිෂ්පාදනය කිරීමට ද අසමත් ය. බීජ නිෂ්පාදනය, ජල කළමනාකරණය සහ පොහොර නිෂ්පාදනය කිරීමට යොමු නොවී කෘෂිකර්මාන්තය නගා සිටුවීමට කවර ක්‍රියාමාර්ග ගනු ලැබුව ද ඒවා ඵල රහිත වේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, ලංකාවේ දරිද්‍රතා රේඛාවට පහළින් සිටින පිරිසට තවත් පිරිසක් අලු‍තින් එකතු වී සිටිති. මහ බැංකුවේ දත්තවලට අනුව මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 5003 දක්වා වැඩි වී තිබේ. එය සැබෑවක් වුව ද මිනිසුන්ගේ මිල දී ගැනීමේ හැකියාව වැඩි වී නොමැත. ඒ වෙනුවට සිදු වී තිබෙන්නේ මිල දී ගැනීමේ හැකියාව අඩු වී තිබීම ය. ඊට හේතුව, භාණ්ඩවල මිල ගණන් විශාල වශයෙන් වැඩි වී තිබීම ය. උද්ධමනය අඩුවීම ගැන කවර සංඛ්‍යා දත්ත ඉදිරිපත් කළ ද භාණ්ඩ මිල සෑහෙන අගයකින් ඉහළ ගොස් තිබේ. භාණ්ඩ මිල ඉහළ ගිය ද ජනතාවගේ ආදායම් වැඩි වී නැති බැවින් මැදි ආදායම් ලබන්නෝ ඉබේම අඩු ආදායම්ලාභීන් බවට පත් වෙති. එහි ප්‍රතිඵලයක් ලෙස දුප්පත්කම ක්‍රමයෙන් වැඩි වේ. ආර්ථික විද්‍යා සිද්ධාන්ත අනුව, රටක් සංවර්ධනය වීමේ දී මධ්‍යම ආදායම් ලබන ප්‍රමාණය ඉහළ යා යුතු ය. එහෙත් දැන් ලංකාවේ සිදුවෙමින් තිබෙන්නේ මැදි ආදායම් ලබන ප්‍රමාණය අඩු ආදායම් ලබන ගොඩට තල්ලු‍වෙමින් යෑමකි.

එයින් උද්ගත විය හැකි ඊළඟ අර්බුදය නම්, බදු ගෙවන ජනතාවගේ මුදලින් නඩත්තු කරන පිරිස තවත් ඉහළ යෑම ය. අස්වැසුම ප්‍රතිලාභීන් ප්‍රමාණය ඉහළ යෑමෙන් එය තේරුම් ගත හැකි ය. පවතින තත්වය හමුවේ වැඩ කරන කෙනකුට පවුල් හතරක් පමණ නඩත්තු කිරීමට සිදු වේ. එහි සරල අදහස වන්නේ වැඩ කරන කෙනකු තමන්ගේ පවුලට අමතරව රටේ තවත් පවුල් හතරක් නඩත්තු කිරීම සඳහා ආදායම් ඉපැයිය යුතු බව ය. වැඩ කරන ජනතාව විශාල බදු ප්‍රමාණයක් ගෙවමින් සමාජයේ සෑහෙන පිරිසක් නඩත්තු කරති. මෙය චක්‍රයකි. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ මධ්‍යම පාන්තිකයන් දුප්පතුන් බවට පත්වීම ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස් වැනි සහ හය වැනි සමාලෝචනවල දී අස්වැසුම වැඩසටහන තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට එම ආයතනය එකඟතාව පළ කර තිබීමෙන් පැහැදිලි වන්නේ ද දුප්පතුන් බවට පත්වන පිරිස වැඩිවෙමින් තිබෙන බව ය.

දුප්පත්කම වැඩි වූ විට සොරකම් ආදී සමාජ විරෝධී කටයුතුවල වැඩිවීමක් ද අපේක්ෂා කළ හැකි ය. එනයින් ආහාර අනාරක්ෂිතතාව යනු කෑම නැතිකම පමණක් ම නොවේ. එයින් උදාවන සමාජ අසහනයක් ද තිබේ. ඒ කෙරෙහි ද අවධානය යොමු විය යුතු ය. මෙහිදී අපගේ අවධානය යොමු විය යුතු තවත් වැදගත් කරුණක් ඇත. එනම්, මීළඟ පරම්පරාවේ පෝෂණ හා සෞඛ්‍ය තත්වය යි. පාසල් මැරතන් තරග අතරවාරයේ දී දරුවන් මියයෑමේ සිද්ධි ගැන පසුගිය දිනවල මාධ්‍යයෙන් අසන්නට ලැබිණි. බොහෝ අවස්ථාවල අලු‍ත් අවුරුදු උත්සවවල මැරතන් තරගවලට ක්‍රීඩකයන් සහභාගී කරවන්නේ ද වෛද්‍ය පරීක්ෂණවලට බඳුන් කිරීමෙන් පසු ය. තරුණ පරම්පරාවේ සෞඛ්‍ය තත්ත්වය ඒ තරමට පිරිහී තිබේ. එමගින් රටේ ඵලදායීතාවට ද අහිතකර බලපෑම් ඇති කරනු ලබයි.

ආහාර ශක්තිය සහ ඵලදායීතාව නමින් ඉන්දියාවේ ක්‍රියාත්මක වන සංකල්පයක් ඇත. එයින් කියන්නේ ජනතාවට හොඳ ආහාර දිය යුතු බවත් එමගින් ජනතාවට ශක්තියක් ලැබෙන බවත් රටේ ඵලදායීතාව ඉහළ නැංවීමට එය අවශ්‍ය බවත් ය. එහෙත් ශ්‍රී ලංකාව ඒ ආකාරයේ දැක්මක් ඇතුව ආහාර හා පෝෂණය සම්බන්ධයෙන් ක්‍රියා කරනු නොපෙනේ. ඵලදායීතාව තිබෙන්නේ ආහාරවල බව මුලින් ම වටහා ගත යුතු ය. ආහාර හිඟවීම හෝ අනාරක්ෂිතභාවයට පත්වීම මගින් සෘජුවම නිෂ්පාදනයට හා ඵලදායීතාවට අහිතකර ප්‍රතිවිපාක ජනනය කරනු ලබයි. අවසානයේ දී ඒවා ආර්ථික හා සමාජ අර්බුද බවට පත් වේ. දරුවන්ගේ බුද්ධි මට්ටම වර්ධනය අඩුවීම ද සිදුවනු ඇත. එබැවින් මේ සියලු‍ දේවල් කෙරෙහි වහා අවධානය යොමු කළ යුතු ය.

වසර 2025 මුල් මාස හතරට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස හතරේ මෙරටේ අපනයනවල වැඩිවීම සියයට 0.04 කි. එහෙත් 2026 වසරේ අදාළ කාලයේ දී ආනයන වියදම් සියයට 25 කින් වැඩි වී තිබේ. එම ආනයන වියදම්වල ඉන්ධන ආනයනය සඳහා වැය වූ මුදල් තිබෙන බව සැබෑ ය. එහෙත් හාල් ඇතුළු ආහාර ද්‍රව්‍ය වෙනුවෙන් දරන ලද සැලකිය යුතු වියදමක් ද එහි අන්තර්ගත ය. ආහාර ආනයන වියදම් ඉහළ යෑම ද රුපියල ක්ෂයවීමට හේතුවකි.

මැද පෙරදිග යුද්ධය හා එතැයි අපේක්ෂිත එල්නිනෝ අපේ පාලනයෙන් තොර සංසිද්ධි වුව ද ඒවාට දැන් තියාම මුහුණ දීමට අවැසි සැලසුම් සකස් කළ යුතු ය. ආර්ථික කළමනාකරණය සම්බන්ධ වන්නේ එයටය. එහිදී රජයට පැවරෙන්නේ කළමනාකරුවාගේ භූමිකාව යි. පූර්ව දැනුම් දීම් කර ඇති බැවින් එල්නිනෝ හා එයින් උද්ගත විය හැකි අහිතකර බලපෑම් කළමනාකරණය රජයේ වගකීමකි. ජනතාව දැනුම්වත් කළ යුතු ය. ආහාර සුරක්ෂිතතාව ගැන සිතන්නේ නම් වගා කිරීමේ වැදගත්කම් ජනතාවට පහදා දීමෙන් ඔබ්බට ගොස් ඊට අදාළ වැඩසටහන් පිළිබඳ නිරන්තරයෙන් සොයා බැලීම ද වැදගත් ය. නිසි පරිදි පොහොර ලබාදීම, අස්වනු මීලදීගෙන ගබඩා කිරීම ආදී කටයුතු හරියාකාරව කළ යුතු ය. කළමනාකරණය වැදගත් වන්නේ එහිදී ය.

මෙවැනි වාතාවරණයක දී රජයට මෙන් ම ජනතාව ඇතුළත් සමාජයට පැවැරෙන වගකීම ද අමතක කළ නොහැකි ය. රජයේ කාර්යභාරය ගැන කතා කරන ප්‍රශ්න කරන බොහෝ අය සිටිය ද පුරවැසියාගේ කාර්යභාරය ගැන කතා කරන්නේ ඉතාමත් අඩුවෙනි. සියල්ල රජයෙන් ලැබෙතැයි අපේක්ෂා නොකර තනි තනි පුද්ගලයන් වශයෙන් කළ හැකි දේවල් පුරවැසියන් කළ යුතු ය. මෙවැනි තීරණාත්මක මොහොතක පුරවැසියාගේ කාර්යභාරය කුමක් ද යන්න මතක් කරදීම රජයේ වගකීමක් ද වෙයි. එල්නිනෝ තත්වය ගැන පැහැදිලි කර ඉදිරියේ දී ජලය විදුලිය ආදිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ වැදගත්කම ජනතාවට තේරුම් කර දිය යුතු ය. එසේම තමන්ට අවශ්‍ය හා වගා කළ හැකි දේවල් වගා කිරීම ජනතාවට කළ හැකි ය. ආහාර රැකගැනීමට රජය මැදිහත් විය යුතු ය.

(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)