ලෝක බැංකුව 2026 ජුලි 01 වැනිදා සිට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන (Upper Middle Income Country) ලෙස වර්ග කර තිබේ. ඒ සමගම තවත් රටවල් පහක් ද එම කාණ්ඩයට ඇතුළත් කර ඇත. 2022 වර්ෂයේ දී රට බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ගතවූ වර්ෂ තුනේ දී ශ්‍රී ලංකාව ඒ ආකාරයට ඉහළ මැදි ආදායම් රටක් ලෙස නම් කිරීම පසුගිය වසර කිහිපයේ දී ආර්ථික වශයෙන් ඉතා අවදානම් තත්වයක සිට අත් කරගත් සාර්ථකත්වය පැහැදිලි කරන්නක් ලෙස හැඳින්විය හැකිය.

සෑම වසරකම ජුලි 01 වැනිදා ලෝක බැංකුව ඊට පළමු වර්ෂයේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන ඒ ඒ රටවලට හිමි ආර්ථික කාණ්ඩය ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව අඩු ආදායම්, පහළ මැදි ආදායම්, ඉහළ මැදි ආදායම් සහ ඉහළ ආදායම් යන කාණ්ඩ හතරට රටවල් වර්ග කරනු ලබයි.

වර්ගීකරණය සඳහා යොදා ගනු ලබන්නේ ඒක පුද්ගල දළ ජාතික ආදායමයි. බොහෝ විට ආර්ථික වර්ධනය පිළිබඳව ඇගැයීම් කිරීමේ දී ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය භාවිත කරන නමුදු ලෝක බැංකුව රටවල් ආදායම් අනුව වර්ගීකරණයේ දී ඒක පුද්ගල දළ ජාතික ආදායම යොදා ගනී. දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේ දී රටින් බැහැර දී උපයන විදේශ ප්‍රේෂණ ආදිය ඇතුළත් නොකරන නමුදු දළ ජාතික ආදායම ගණනය කීරීමේ දී රටින් බැහැරව ශ්‍රී ලාංකිකයන් විසින් එවනු ලබන එවැනි ආදායම් සියල්ල එකතු කරනු ලැබේ. 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 4,670ක් විය. එම වසරේ ඉහළ මැදි ආදායම් රටක් ලෙස නම් කිරීම සඳහා අවශ්‍ය අවම ආදායම ඩොලර් 4,636ක් විය. ඒ අනුව ඩොලර් 36කින් එම මට්ටම ඉක්මවා යෑම හේතුවෙන් ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයට අයත් වන රටක් ලෙස නම් කර තිබේ.

1948 සිට 1997 දක්වා වසර 45ක කාලය තුළ ශ්‍රී ලංකාව පැවැතියේ අඩු ආදායම් රටක් හෝ දුප්පත් රටක් ලෙසය. එසේ වුව ද 1997 වසරේ දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඉහළ යැම නිසා එය ප්‍රථම වරට මැදි ආදායම් රටක් ලෙස වර්ග කරනු ලැබීය. ඊට වසර 22කට පසු 2019 වසරේ ජුලි 01 වැනිදා ශ්‍රී ලංකාව ප්‍රථම වරට ඉහළ මැදි ආදායම් රටක් ලෙස වර්ග කෙරිණි. එම මට්ටමේ පැවැතීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ ඉතා කෙටි කලක් පමණි. 2020 වසරේ දී බලපෑ කෝවිඩ් වසංගතය, සංචාරක පැමිණිම අඩුවීම, විදේශ ප්‍රේෂණ අඩුවීම වැනි හේතු නිසා යළිත් වරක් පහළ මැදි ආදායම් රටක් බවට පත්විය.

2023 වසරේ දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 3,530 දක්වා පහත වැටුණ අතර 2024දී එය 3,760 දක්වා යළිත් ඉහළ ගියේය. 2024 වර්ෂයේදී මෙම ඉහළ යෑම කෙරෙහි හේතු කිහිපයක් ආධාර විය. 2023 වසරේ අග භාගයේ සිට රුපියලේ අගය ඉහළ යෑම එයට ප්‍රධාන හේතුවක් විය. එසේම සියයට 5ක ආර්ථික වර්ධනයක් 2024 සහ 2025 වසරවල දී ලබා ගැනීමත්, රටට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ යෑමත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැඩි කොන්දේසි පිළිගැනීමට සිදුවීමත්, ඒක පුද්ගල දළ ජාතික ආදායමේ ඉහළ යෑම සඳහා හේතු විය.

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් ලෙස වර්ග කිරීමෙන් ආර්ථිකයට සහ රටට වාසිදායකවන තත්වයක් ඇතිවේ. ආර්ථික වර්ධනය ඉහළ යෑම නිසා ආයෝජකයන්ගේ මෙන්ම ආධාර හා ණය ලබාදෙන ආයතනවල හා රටවල ආකර්ෂණය දිනා ගැනීමට හැකිවේ. අඛණ්ඩව ආර්ථිකය වර්ධනය වන තත්වයක් ඇති වන්නේ නම් ඉන් අදහස් වන්නේ ඒ සඳහා වූ සුදුසු පරිසරයක් රට තුළ නිර්මාණය වී තිබීම යන්නයි. ඒ අතරම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් මේ දක්වා පවත්වාගෙන එනු ලැබූ ශ්‍රේණිගත කිරීමට වඩා වෙනස් වූ ඉහළ ශ්‍රේණි ශ්‍රී ලංකාවට ලබාදීමට ඉඩ ඇත. එවැනි තත්වයක් තුළ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ පවතින පොලී අනුපාතයට වඩා අඩු අනුපාතයකට ණය ලබා ගැනීමට හැකියාව ලැබේ.

එසේ වුව ද, යම් යම් අවාසි සහගත තත්වයන්ට මුහුණ දීමට ද ඉහළ මැදි ආදායම් රටක් ලෙස වර්ග කිරීම නිසා සිදුවේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ දියුණු රටවල් සංවර්ධන ආධාර සහ ණය ලබාදීමේ දී අනුගමනය කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වෙනස්කම් ඇතිවේ. අඩු ආදායම් සහ පහළ මැදි ආදායම් ලබන රටවලට වඩා වෙනස් වූ කොන්දේසි එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බල පැවැත්වේ. ආපසු නොගෙවිය යුතු පරිත්‍යාග ශ්‍රී ලංකාවට නොලැබෙනු ඇත. එසේම ණය ආපසු ගෙවීමේ කාල සීමාව කෙටි කාලයකට සීමා වීම ද, සහන පොලී අනුපාත වෙනුවට වෙළෙඳපොළ පොලී අනුපාත යටතේ අරමුදල් ලබා ගැනීමට ද සිදුවේ. එවැනි තත්වවලට රටට මුහුණ දීමට සිදුවන අවාසි දායක ප්‍රතිඵල වේ. ඒ අතරම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී එකඟ වූ කොන්දේසිවලට අනුව ආර්ථික වර්ධනය ඉහළ යන විට ශ්‍රී ලංකාවට ලැබෙන ණය කපා හැරීමේ ප්‍රමාණය ද අඩුවනු ඇත.

1997 දී ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් රටක් ලෙස වර්ග කිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් සහ සමහර රටවලින් ලැබුණු ආධාර සහ සහන ණය බොහෝ සේ අඩුවී ගියේය. ඒ හේතුවෙන් ඒ ඒ අවස්ථාවල දී පැවැති ආණ්ඩුවලට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් ස්වෛරීත්ව බැඳුම්කර මගින් ණය ලබා ගැනීමට සිදුවිය. පාස්කු ප්‍රහාරය සහ කෝවිඩ් වසංගතයෙන් පසු ක්ෂණිකව ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි තත්වයක් ඇති වූයේ ඒ ආකාරයට ඉහළ පොලී අනුපාත යටතේ කෙටිකාලීන ණය මුදල් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවීම නිසාය. කෙසේ වුව ද රට බංකොළොත්භාවයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සහ ආර්ථිකය කළමනාකරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර ආයතනවලින් සහන ණය සහ ආධාර ලැබෙමින් පවතී.

2019 දී ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් ලෙස වර්ගීකරණය කිරීමේදී සහ මේ වසරේදී ශ්‍රී ලංකාව නැවත වරක් එම තත්වයට පත්වීමේ දී ආර්ථික තත්වය පිළිබඳ සමහර වෙනස්කම් දක්නට ලැබේ. 2019දී රටේ දරිද්‍රතා රේඛාවට පහළින් සිටි ජනතාවගේ අනුපාතය සියයට 11.3ක් වැනි අවම මට්ටමක පැවතුණි. එහි සරල අදහස වන්නේ දුප්පත්කමෙන් පෙළෙන ජනතාවගේ ප්‍රමාණය සියයට 11.3 දක්වා වූ පහළ මට්ටමක පැවැතියේය යන්නයි. එසේ වුව ද කෝවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා රටේ දරිද්‍රතා මට්ටම 2025 දී සියයට 22.7 දක්වා ඉහළ ගොස් තිබේ. එහි අදහස වන්නේ රටේ ඒක පුද්ගල ආදායම ඉහළ ගොස් තිබුණ ද අඩු ආදායම් ලබන කොටස්වලට ආදායම් බෙදී යාමක් සිදු නොවන බවයි.

මේ වනවිට “අස්වැසුම” ප්‍රතිලාභීන්ට ප්‍රතිපාදන ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් වෙන්කර තිබේ. එසේ වුව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ආණ්ඩුව එම මුදල් නිසි පරිදි අදාළ පුද්ගලයන්ට පමණක් ලැබෙන අයුරින් එය නියාමනය කළ යුතු අතර ලැබෙන අරමුදල් තුළින් එම පිරිස්වල ආර්ථික තත්වය ඉහළ නැංවීම සඳහා වූ වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මක කළ යුතුවේ. මෑතක දී ඒ දක්වා “අස්වැසුම” ප්‍රතිලාභ ලැබූ පවුල් 420,000කට පමණ එම ප්‍රතිලාභ අහිමි කර තිබේ. මේ ආකාරයට ඉදිරියේ දී අස්වැසුම ප්‍රතිලාභ තවදුරටත් සීමා කිරීමට සිදුවනු ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග අත්සන් කර ඇති ණය ගිවිසුම ලබන වසරේ මාර්තු මාසයේ දී අවසන් වේ. ඒ අනුව දරිද්‍රතාව පිටුදැකීම සඳහා අස්වැසුම වෙනුවෙන් වෙන්කළ මුදල් එම සංවිධානය සමග නව ගිවිසුමක් ඇතිකර නොගන්නේ නම් අහිමි වනු ඇත. එවිට අස්වැසුම සඳහා දේශීය අරමුදල් යොදා ගැනීමට සිදුවන අතර 2028 වසරේ සිට විදේශ ණය ආපසු ගෙවීම ද ආරම්භ කිරීමට සිදුවන නිසා දුගීභාවය පිටු දැකීම සඳහා අරමුදල් යෙදවීම ප්‍රබල ගැටලු‍වක් බවට පත්වනු ඇත.

ශ්‍රී ලංකාව නැවත වරක් ඉහළ මැදි ආදායම් රටක් බවට පරිවර්තනයවීම ආර්ථික වශයෙන් ඉතා හොඳ තත්වයක් වන නමුදු ඒ හා බැදුණු ගැටලු‍ පිළිබඳව ද අවධානය යොමුකළ යුතුව ඇත. 2025 වසරේ දී රටේ ඒක පුද්ගල ජාතික ආදායම ඉහළ යෑම සඳහා බො‌හෝ දුරට හේතු වූයේ 2024 වසරේ සිට රුපියලේ අගය ඉහළ යෑමයි. රටේ දළ ජාතික ආදායම ඩොලර් බවට පරිවර්තනය කරනු ලබන්නේ මුළු රුපියල් ආදායම ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණයෙන් බෙදීම මගිනි. ඩොලරය රුපියල් 350ක මට්ටමක පැවැති අවස්ථාවේ දී ලැබුණු ඒක පුද්ගල දළ ජාතික ආදායමට වඩා ඩොලරයක් රුපියල් 300 කදී ලැබෙන ඒක පුද්ගල දළ ජාතික ආදායම ඉහළ මට්ටමක පවතී.

2025 වසර අග භාගයේ දී පැවැති ඩොලරයක මිල මේ වසර තුළ දී සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබේ. ඉහළ මැදි ආදායම් රටක තත්වයට පත් වූ නමුදු ඒ සඳහා වූ අවම මට්ටම ඉක්මවා ගොස් ඇත්තේ ඩොලර් 44කිනි. ඉන් අදහස් වන්නේ 2026 වසරේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 45කින් අඩු වන්නේ නම් යළිත් වරක් එම තත්වය අහිමි වන බවයි. රුපියලේ අගය ස්ථාවර තත්වයක පවත්වා ගෙන යෑම පිළිබඳව ද මූලිකව අවධානය යොමු කළ යුතුව ඇත.

 

(***)