මෙවර කිවිදා දැක්ම ලියන්නට සිතුවේ ආර්ථිකයේ මතු වෙමින් තිබෙන අවිනිශ්චිතතාව ගැනය. මේ දිනවල රටේ බොහෝ අය ජීවත් වන්නේ අමාරුවෙනි. එක පැත්තකින් විදුලිය, ගෑස්, ජලය වැනි අත්‍යවශ්‍ය සේවාවල මිල අහස උසට වැඩිවී තිබේ. අනෙක් පැත්තෙන් ආහාර සහ බෙහෙත් මිල වැඩිවී තිබේ. තවත් පැත්තකින් රැකියා වෙළෙඳපොළ අඩුය. මේ සියල්ල හමුවේ පීඩා විඳිමින් සිටින ජනතාව හමුවේ ආණ්ඩුව කියන්නේ සියල්ලම ඉතාමත් හොඳින් සිදුවන බවය.

ජනාධිපතිවරයා කියන්නේ කිසි දේකට බය වෙන්න එපා කියලාය. ඒත් එතුමාට ආර්ථිකය පිළිබඳව තේරෙනවා කියා සිතුවොත් මිස රටේ පෙනී යන තත්වය අනුව කිව හැක්කේ අනාගතය එතරම් හොඳ නැති බවයි. ඒ නිසා ආර්ථිකය ගැන යම් සාකච්ඡාවක් කිරීම ඉතාමත් වැදගත්ය. ආර්ථිකයක් තක්සේරු කිරීමේ දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර හතරක් තිබේ. ඒවා වන්නේ මූල්‍ය ක්ෂේත්‍රය, රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රය, යථාර්ථ ආර්ථික ක්ෂේත්‍රය සහ විදේශ මූල්‍ය ක්ෂේත්‍රයයි.

 

මූල්‍ය ක්ෂේත්‍රය

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතළම අර්බුදයක් වූයේ උද්ධමනයයි. ජනතාවගේ ආදායම් වැඩි නො​වෙද්දී භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යාම නිසා ජීවන තත්වය දැඩි ලෙස පිරිහුණි. මෙම තත්වය පාලනය කිරීමට මහ බැංකුව දැඩි මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කළේය.

අද උද්ධමනය අඩු වී තිබෙන බව සත්‍යයකි. එහෙත් ජනතාවට දැනෙන්නේ මිල අඩුවීමක් නොවේ. ඔවුන්ට දැනෙන්නේ තවමත් ජීවන වියදම දරාගත නොහැකි තත්වයකි. උද්ධමනය අඩුවීම යනු මිල වැඩිවන වේගය අඩු වීම මිස මිල ගණන් පෙර මට්ටමට පැමිණීම නොවේ.

ආණ්ඩුව සහ මහ බැංකුව මෙම සංඛ්‍යාත්මක සාර්ථකත්වය පිළිබඳව උද‌​ෝගයෙන් කතා කළ ද ජනතාවගේ සාප්පු බිල්පත් වෙනස් වී නැත. මධ්‍යම පන්තියේ පවුල්වල ඉතිරි කිරීම් අවසන් වී ඇත. විශ්‍රාමිකයන්ගේ ආදායම් ප්‍රමාණවත් නොවේ. වැටුප් ලබන පිරිස් තම ජීවිත රටාව පහත හෙළමින් සිටිති.

තවත් ප්‍රශ්නයක් වන්නේ ණය වෙළෙඳපොළේ ඇති මන්දගාමී බවයි. ව්‍යාපාරිකයෝ අලු‍ත් ආයෝජන කිරීමට බිය වෙති. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් තවමත් අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකිව සිටී. එබැවින් මූල්‍ය ස්ථාවරත්වය යථාර්ථ ආර්ථික ක්‍රියාකාරීත්වයකට පරිවර්තනය වී නැති බව පැහැදිලිය.

මහ බැංකුව ස්වාධීන කරන්නට යැයි කියා 2023/24 වර්ෂවල ගෙනා නව මහ බැංකු පනත සහ ආර්ථික පරිවර්තන පනත මගින් රටේ ආර්ථිකයේ මුල්‍ය අංශය තනිකරම ජනතා පරමාධිපත්‍යයෙන් එළියට ගෙන ගොස් තිබෙන බව මෙහිදී ප්‍රකාශ කිරීම අවශ්‍යය. මහ බැංකුවේ අධිපතිවරයා වැඩ කරන්නේ ජනතාවට හා ආණ්ඩුවට උඩින් සිටින මහ ලොක්කකු මෙනි. විටෙක ඔහු කියන්නේ ආර්ථිකයේ තත්වය අවිනිශ්චිත බවය. ඊට පසුව පවසන්නේ එතරම් අවිනිශ්චිත නැති බවය. මෙවැනි ප්‍රකාශ කළ හැකි රජයට අදාළ නැති ආයතනයක් බවට මහ බැංකුව පත්කිරීම ඉතාමත් තීරණාත්මක ප්‍රතිඵල ගෙන දිය හැකි තත්වයක් බව මගේ අදහසය.

 

රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රය

රටේ ආර්ථික අර්බුදයට මූලික හේතුවක් වූයේ දීර්ඝ කාලයක් පුරා පැවැති රාජ්‍ය මූල්‍ය විනයක් නොමැති වීමයි. අද ආණ්ඩුව බදු ආදායම් වැඩි කරමින් අයවැය හිඟය පාලනය කිරීමට උත්සාහ කරයි.

එහෙත් ප්‍රශ්නය වන්නේ මෙම බදු ප්‍රතිපත්තිවල බර වැඩිපුරම වැටී ඇත්තේ කා මතද යන්නයි. ආදායම් බදු, වැට් බදු සහ අනෙකුත් වක්‍ර බදු මගින් බර දරන්නේ සාමාන්‍ය ජනතාවය. විශාල ධනපතියන්ට වඩා වැටුප් ලබන පිරිස් බදු ගෙවන රටක් බවට ශ්‍රී ලංකාව පත්වෙමින් තිබේ.

විදුලිය, ජලය සහ ඉන්ධන මිල ඉහළ දැමීම ද රාජ්‍ය ආදායම් වැඩි කිරීමේ කොටසක් බවට පත්ව ඇත. මේ නිසා රාජ්‍ය ගිණුම් යහපත් වුව ද ජනතාවගේ ගිණුම් බිඳ වැටෙමින් තිබේ.

ආණ්ඩුවේ තර්කය වන්නේ මෙය අනිවාර්ය කැප කිරීමක් බවයි. එහෙත් ප්‍රශ්නය වන්නේ මෙම කැපකිරීම් සාධාරණ ලෙස බෙදී යනවා ද යන්නයි. ආර්ථික අර්බුදයේ බර වැඩිපුරම දරන්නේ සාමාන්‍ය ජනතාව නම්, ආර්ථික ප්‍රතිසාධනයේ ප්‍රතිලාභ ද ඔවුන්ට ලැබිය යුතුය. හොඳ භාණ්ඩාගාරයක් සහිත දුප්පත් ජනතාවක් සිටින රටක් හැදීමේ කිසිදු තේරුමක් නැත.

 

යථාර්ථ ආර්ථික ක්ෂේත්‍රය - (Real Economic Sector)

ආර්ථිකයක සැබෑ සෞඛ්‍යය මැන බැලිය යුත්තේ යථාර්ථ ආර්ථික ක්ෂේත්‍රය දෙස බලමිනි. කර්මාන්ත, කෘෂිකර්මාන්තය, සේවා අංශය, රැකියා සහ ආදායම් යන කරුණු එහි මූලික දර්ශක වේ.

අද ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගැටලු‍ව වන්නේ ආර්ථික වර්ධනය සංඛ්‍යා ලේඛනවල තිබුණත් ජනතාවගේ ජීවිතවල නොපෙනීමයි. බොහෝ දෙනාට ආදායම් ප්‍රමාණවත් නැත. පවුල්වල වියදම් ඉහළ ගොස් ඇත. දරුවන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වියදම් දරා ගැනීම අපහසු වී ඇත.

රැකියා වෙළෙඳපොළ තවමත් දුර්වලය. නව රැකියා නිර්මාණය වීම සීමිතය. විශේෂයෙන් තරුණ පරම්පරාව අතර අනාගතය පිළිබඳ විශ්වාසය පහළ ගොස් ඇත. අද උපාධිධාරියකුගේ ප්‍රධාන අරමුණ රැකියාවක් ලබා ගැනීම නොව විදේශගත වීම බවට පත්ව ඇත. වෛද්‍යවරු, ඉංජිනේරුවරු, තොරතුරු තාක්ෂණ වෘත්තිකයෝ සහ දක්ෂ කාර්මික ශිල්පීහු රට හැර යමින් සිටිති. මෙය සාමාන්‍ය සංක්‍රමණයක් නොවේ. මෙය මානව ප්‍රාග්ධනය ගලා යාමකි. රටේ අනාගත සංවර්ධනය ගොඩ නැගිය යුතු පිරිසම රට හැර යන විට එය දිගුකාලීන ආර්ථික අනතුරකි.

 

කෘෂිකර්මාන්තය සහ නිෂ්පාදනය

අපේ ආර්ථිකය නිෂ්පාදනයට වඩා පරිභෝජනය මත පදනම් වූ ආර්ථිකයක් බවට පත්ව ඇත. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇත. ගොවියාට සාධාරණ මිලක් නොලැබේ. පාරිභෝගිකයාට අඩු මිලකට භාණ්ඩ නොලැබේ.

අතරමැදි වෙළෙඳ ජාල පමණක් ශක්තිමත් වෙමින් සිටී. දශක ගණනාවක් තිස්සේ පැවැති මෙම ව්‍යුහාත්මක ගැටලු‍වට කිසිදු ආණ්ඩුවක් තිරසාර විසඳුමක් ලබා දී නැත. කර්මාන්ත අංශයේ තත්වය ද එතරම් යහපත් නොවේ. නව කර්මාන්ත බිහි වීම සීමිතය. දේශීය නිෂ්පාදන වර්ධනයට වඩා ආනයන මත යැපීම දිගටම පවතී.

 

විදේශ මූල්‍ය ක්ෂේත්‍රය - (External Sector)

විදේශ සංචිත වැඩි වීම නතර වී තිබීමත්, සංචාරක කර්මාන්තය යම් කඩා වැටීමකට ලක්වීමත්, විදේශ ශ්‍රමික ප්‍රේෂණවල බරපතළ අවිනිශ්චිත වර්ධනයක් පෙන්නුම් කිරීමෙන් පෙනෙන්නේ තවමත් රට තිබෙන්නේ විදේශ මූල්‍ය පැත්තෙන් ඉතාමත් අවිනිශ්චිත තැනක බවය. මේ සියල්ල තාවකාලික සාධක මත පදනම් වූවක් ද යන්න විමසා බැලිය යුතුය. අපනයන ව්‍යුහය තුළ විශාල වෙනසක් වී නැත. අප තවමත් තේ, ඇඟලු‍ම් සහ විදේශ ශ්‍රමික ආදායම් මත රඳා පවතී. ලෝකයේ නව ආර්ථික කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් තාක්ෂණය, ජෛව තාක්ෂණය සහ නවෝත්පාදන කර්මාන්ත ඔස්සේ ඉදිරියට යද්දී ශ්‍රී ලංකාව තවමත් පැරැණි අපනයන ව්‍යුහයක සිරවී සිටී.

විදේශ ආයෝජන සම්බන්ධයෙන් ද අපේක්ෂිත ප්‍රගතියක් නොපෙනේ. ආයෝජකයන්ට අවශ්‍ය වන්නේ ස්ථාවර නීති පද්ධතියක්, දේශපාලන විශ්වාසයක් සහ පුරෝකථනය කළ හැකි ප්‍රතිපත්ති පරිසරයකි. මේවා සම්බන්ධයෙන් තවමත් ප්‍රශ්න තිබේ.

 

පසුගිය ආණ්ඩුවේ කැපවීම සහ වර්තමාන ආණ්ඩුවේ අඩුපාඩුව

මෙහිදී තවත් කරුණක් සඳහන් කළ යුතුය. මගේ අදහස නම් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා පසුගිය ආණ්ඩුව පෙන්වූ උනන්දුව, කැපවීම සහ ප්‍රතිපත්තිමය අවධානය වර්තමාන ආණ්ඩුව තුළ එම මට්ටමින් දක්නට නොලැබෙන බවයි. මා පසුගිය රජය සම්බන්ධ අයකු නොවන නමුත් ඒ අය සමහර ක්ෂේත්‍රවල ලබා ගත් සීමිත වර්ධනයවත් ලබා ගැනීමේ හැකියාවක් මේ ආණ්ඩුව පෙන්වන්නේ නැති බව මගේ අදහසය.

පසුගිය පාලනය ජනප්‍රිය නොවන තීන්දු ගැනීමට පවා සූදානම් වූයේ රට බංකොලොත්භාවයෙන් ගොඩ ගැනීමේ අත්‍යවශ්‍යතාව හඳුනාගෙනය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, රාජ්‍ය මූල්‍ය විනය නැවත ස්ථාපිත කිරීම සහ වෙළෙඳපොළට යම් විශ්වාසයක් ලබා දීම සඳහා ක්‍රියා කිරීම එහි කොටස් විය. එහෙත් ඒ ආණ්ඩුව කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන දේ ඒ ආකාරයෙන් ම සිදු කිරීමය.

වර්තමාන ආණ්ඩුව බලයට පැමිණියේ ජනතාවට සහන ලබා දෙන බවට සහ ආර්ථිකයට නව දිශාවක් ලබා දෙන බවට වූ බලාපොරොත්තු මතය. එහෙත් මේ දක්වා ඔවුන්ගේ ප්‍රධාන උත්සාහය වී ඇත්තේ පෙර ආණ්ඩුව ආරම්භ කළ වැඩ සටහන් දිගටම පවත්වාගෙන යාම මිස, නව වර්ධන උපාය මාර්ගයක් ඉදිරිපත් කිරීම නොවන බව පෙනේ. මා ඉහතින් කී ආකාරයෙන් පසුගිය ආණ්ඩුවේ ආකෘතිය පවත්වාගෙන යන්නටවත් තවම හැකියාවක් ලැබී නැත.  ආර්ථිකය ස්ථාවර කිරීම සහ ආර්ථිකය වර්ධනය කිරීම යනු එකිනෙකට වෙනස් කාර්යය දෙකකි. පළමුවැන්න සඳහා යම් ප්‍රගතියක් තිබිය හැකි නමුත් දෙවැන්න සඳහා අවශ්‍ය දැක්ම, ප්‍රතිපත්ති නායකත්වය සහ ක්‍රියාශීලීත්වය තවමත් ප්‍රමාණවත් ලෙස දක්නට නොලැබේ.

රටක් අර්බුදයෙන් ගොඩ එන්නේ සංඛ්‍යා ලේඛන යහපත් වීමෙන් පමණක් නොවේ. ඒ සඳහා නායකත්වය, තීරණ ගැනීමේ ධෛර්යය සහ අනාගතය පිළිබඳ පැහැදිලි දැක්මක් අවශ්‍යය. ඒ සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව තවමත් ජනතාව අපේක්ෂා කළ මට්ටමේ විශ්වාසයක් ගොඩ නැගීමට සමත් වී නැති බව මගේ අදහසයි.

 

ආර්ථික අර්බුදයද? නැත්නම් විශ්වාසයේ අර්බුදයද?

අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින්නේ ආර්ථික අර්බුදයකට පමණක් නොවේ. එය විශ්වාසයේ අර්බුදයකි. තරුණයා රට ගැන විශ්වාස නොකරයි. ව්‍යාපාරිකයා ආයෝජනය ගැන විශ්වාස නොකරයි. වෘත්තිකයා අනාගතය ගැන විශ්වාස නොකරයි. ජනතාව දේශපාලන පද්ධතිය ගැන විශ්වාස නොකරයි. ආර්ථිකය යනු සංඛ්‍යා ලේඛනවල එකතුවක් පමණක් නොවේ. එය බලාපොරොත්තුව, විශ්වාසය සහ අනාගතය පිළිබඳ හැඟීම මත පදනම් වන සමාජ ක්‍රියාවලියකි.

 

අවසාන වශයෙන්: ස්ථාවරත්වය සහ සමෘද්ධිය අතර වෙනස

මේ අනුව ආර්ථිකයේ ක්ෂේත්‍ර හතරම සලකා බැලූ විට පෙනී යන්නේ රට අර්බුදයේ අගාධයෙන් යම් ප්‍රමාණයකින් ඉවතට පැමිණ ඇති නමුත් තවමත් ශක්තිමත් ආර්ථිකයක් කරා ළඟා වී නැති බවයි. මූල්‍ය ක්ෂේත්‍රයේ යම් ස්ථාවරත්වයක් ඇත. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ යම් ප්‍රගතියක් ඇත. විදේශ අංශයේ ද යම් සහනයක් පෙනේ. එහෙත් ආර්ථිකයේ හදවත වන යථාර්ථ ආර්ථිකය පවතින්නේ බරපතළ දුර්වල තැනකය. මේ තත්වය පුපුරා යන්නට නියමිත ගිනි කන්දක් බවට පත්වෙමින් තිබෙන බව මගේ නිරීක්ෂණයයි.

 

(***)