IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ෂේක්ස්පියර් හා භර්තෘහරි

මතක හා මතය


මිනිසාගේ ජීවන දසා පිළිබඳ සනාතන සත්‍ය විවරණයක් විලියම් ෂේක්ස්පියර් කිවිඳුන්ගේ සුඛාන්ත නාට්‍යයන්ගෙන් (comedies) එකක් වන 'As you like it' නාට්‍යයෙහි හමුවෙයි. මේ ලිපිය මගින් ඔබ වෙත ඉදිරිපත් වන්නේ ඒ විශ්ව විවරණයයි.

ෂේක්ස්පියර් කිවිඳුන් තම දෘශ්‍ය කාව්‍ය වැඩි වශයෙන් ලියා ඇත්තේ එළිසම රහිත, සම්මත විරිතින් මුක්ත, පාද නියමයෙන් (පද පේළි ගණනින්) තොර, ස්වාධීන පද්‍ය රීතියකිනි.

නාට්‍යවල එන චරිතවල මුවට නගා ඇති භාව භාෂණවලට මෙන්ම ගීතවලටද මේ පද්‍ය රීතිය උරුම වෙයි.එය ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ blank verse නමිනි. free verse යනුද එහිම පර්යාය පදයකි.

'නිසඳැස්' යන අර්ථ ශූන්‍ය පදය වනාහි ඉංග්‍රීසි blank verse යන්නෙහි නියම අරුත වටහා නොගත්තන් නිසා භාවිතයට විත් පලපැදියම් වුණු සාවද්‍ය වහරකි. ඉංග්‍රීසි blank verse යන නමින් හැඳින්වෙන්නේ එළිසම රහිත, පාද නියමයෙන් තොර පද්‍ය රචනා ගණයයි. ජී බී. සේනානායකයන් අනුගමනය කළේ මේ ඉංග්‍රීසි පැදි ගණයයි. ඔහු ඒවා හැඳින්වීමට සිංහල නමක් නිපදවන්නට ගියේ නැත. මාර්ටින් වික්‍රමසිංහයන් පාලි ථේරී ගාථා සිංහල පැදියට පරිවර්තනය කළේ සේනානායකයන් අනුව යමිනි. එළිසම රහිත, පාද නියමයෙන් තොර පැදි පාලි සාහිත්‍යයේ ඉතා සුලබය. ඒවාට අයත් කවි ලකුණු මුලින්ම විමසුමට ලක් කළේද මාර්ටින් වික්‍රමසිංහයන් මය.

ගඩ්ඩරිකා ප්‍රවාහය මෙන් වත්මන් තරුණ කවි පරපුරට අයත් සුකවි කුකවි දෙපිරිසෙන්ම වැඩි දෙනෙකු 'නිසඳැස්' අඩයාලමෙන් වැඩි වශයෙන්ම ලියන්නේ එළිසම රහිත,පාද නියමයෙන් තොර, කාව්‍ය රචනා මිස අන් කිසිවක් නොවේ. එනම් ඉංග්‍රීසි blank verse ය. එහෙත් ඒ සියල්ලම කිසියම් ඡන්දසකට වැටෙන බව ඔවුහු නොදනිති. එනිසාම ඒවා 'නිසඳැස්' අඩයාලමෙන්ම හඳුන්වති.

එහි මාත්‍රා ගණන ප්‍රස්තාර කර බැලුවහොත් 'සඳැස' හොයා ගත හැකිය. එහෙත් එය පුරාණයේ සිට නොපැමිණි, අසම්මත,නව සඳැසක් වනු කවර අරුමයක්ද!

'එළු සඳස් ලකුණ' කළ භද්‍ර හිමියන්

තම කෘතියෙහි ලා ම එය අවධාරණය කර ඇත්තේ මේ ගීයෙනි.


"කෙළ සුවහස් විරිත්-සඳස්

ලකුණු දනු එළුවේ

එබඳුත් හොත් කිවියරන්-

නොවිරිත් නමැයි කොවිරිත්."


"හෙළ බසෙහි කෝටි සිය දහසක් විරිත් සහිත සඳස් ලකුණු ඇති බව දැන ගන්න.කවි බඳින කවියන්ට කොයි විරිතද විරිතක් නොවන්නෙ!"


මෙය අපේ අදීන කාව්‍ය සම්ප්‍රදාය හෙළි කරන මනා සාක්ෂියක් නොවේද?


මිනිසාගේ ජීවන අවධි ෂේක්ස්පියර් කිවිඳුන් බෙදා දක්වන්නේ දශක දශකයකට නොව වයස සප්තකයකටය. (The Seven Ages Of Man).තම As you like it නාට්‍යයේ දෙවැනි අංකයේ හත් වැනි දර්ශනයේ එන Jaques (ජැකී)නමැති චරිතයේ මුවට ෂේක්ස්පියර් කිවිඳුන් නගා ඇති මිනිසාගේ වයස සප්තකය පිළිබඳ ඒ විවරණය මම මෙසේ ඔබ වෙනුවෙන් සිංහලයට නගා දක්වමි.


මුළු ලොවම කරළියකි

නළුවෝය සියලු දන

ඔවුහු ඉන් පිටවෙතී

නැවත එහි පිවිසෙතී


එකෙක් තම වාරයෙදි

රඟපාති නන් චරිත

ඔහු රඟන ජවනිකා

දිවියෙ සත් අවදියකි


පළමුව බිලිඳෙකි

කිරි වමනය කොට

උංගෑ කියනා

කිරි මව් දෑතේ


ඉන් පසු කොඳුරා

අඬනා සිසුවෙකි.

දිලෙන උදය වැනි

මුහුණක් හිමි ඔහු

ගොළුබෙලි ගමනින්

නොසතුටු සිතකින්

පොත් බෑගය ගෙන

පාසල වෙත යයි.


අනතුරුව එයි පෙම්වතෙක්. පෙම්වතියගේ දෙබැම ගැන ඔහු

කවි කතාවක් ගොතා දුක්බර

සුසුම් ලයි උදුනක් ලෙසින්.


ඉක්බිති සෙබළෙක් එළඹෙයි. දිවියෙකුගේ රැවුළැති ඔහු

අමුතු අමුතු දිවුරුම්දෙයි.

නන් ගරු බුහුමන් ලබනට ඊරිසියාවෙන් සැරසෙයි.

සැණින් සටන් වදිනා ඔහු

යසස් ලොබින් වෙඩි නොතකයි.


ඊළඟට විනිසුරුවෙකී.

රවුම් හැඩයේ බඩකි ඔහු හට

තියුණු වූ නෙත් යුවළකී.

නැණැති කියමන්

අලුත් නිදසුන්

ඇති චරිතයක්

රඟයි ඔහු.


කෙසඟ ශරීරයක් දරන

සෙරෙප්පු දෙපයේ පලඳින

විකට කෝලමෙකු වෙත දැන්

හය වැනි අවදිය පැමිණෙයි.


කන්නාඩියකි නහය මත්තේ

පසුම්බියකි පසෙක ඇත්තේ

තරුණ කල දැමු මේස් කුට්ටම

කෙට්ටු කෙණ්ඩේ රැඳී නැත්තේ.


ඔහුගෙ වැඩිහිටි පිරිමි කටහඬ

ළමා හඬකට හැරී යන්නේ.

සිහින් සරකින් ඇසෙන එය දැන්

නළාවක නාදයක් වැන්නේ.


අරුම පුදුම දේ සිදුවුණ

මේ ජීවිත කතන්දරේ

අවසන් වන ජවනිකාව,

දත් නොමැති, ඇස් නොමැති,

රස නොමැති,කිසිත් නැති

මතක අමතකව ගිය

බිලිඳු විය වෙයි දෙවැනි.


මහා කවි කාලිදාසයන්ගෙන් පසුව භාරතීය කවියන්ගේ නිර්මාණ නෛපුණ්‍යය ප්‍රකාශ වෙන කාව්‍ය ග්‍රන්ථ ස්මාරක තුනක් ඇත.ඒ භර්තෘහරිගේ ශතක පොත් ත්‍රිකයයි.විවිධ වෘත්තවලින් ප්‍රේම ජවනිකා නිරූපිත 'ශෘංගාර ශතකය', උපේක්ෂාව චිත්‍රිත 'වෛරාග්‍ය ශතකය' හා ප්‍රඥාව වර්ණිත 'නීති ශතකය' එකී ග්‍රන්ථයෝ වෙති. ආංගල දේශයේ පහළ වුණු කවිරාජ ශිරෝමණී විලියම් ෂේක්ස්පියරයන් තම කාව්‍ය ලෝචනයෙන් විලෝචනය කොට As you like it නමැති තම සුඛාන්ත නාට්‍යයෙහි ලා නිරූපිත ජීවන ජවනිකා භාරතීය කවීන්ද්‍ර භර්තෘහරි චිත්‍රණය කර ඇත්තේද විස්මයාවහ සමීපත්වයකිනි. එය වූකලී ගම්භිර ජීවන පරිඥානයේ විශ්ව සාධාරණත්වය විදහා පාන්නකි.

කවීන්ද්‍ර භර්තෘහරීන් විරචිත ශතක ශ්ලෝකය මෙසේය.


ක්ෂණම් බාලෝ භූත්වා ක්ෂණමපි

යුවා කාමරසික:

ක්ෂණං චිත්තෛර් හීන: ක්ෂණමපි ච සම්පූර්ණ විභව:

ජරාජීර්ණෛරංගෛර් නට ඉව වලී මණ්ඩිත තනුර්

නර: සංසරාන්තේ විශති යමධානීයවනිකාම්


" මොහොතකට මිනිහා ළදරුවෙකි. මොහොතකට කාම රසික තරුණයෙකි. මොහොතකට ධනයෙන් හීන වූවෙකි. මොහොතකට ධනයෙන් පිරුණෙකි. ජීවිතය අවසානයේදී මහලුව දිරූ අත් පා හා රැළිවලින් සැරසුණු සිරුරද ඇතිව නළුවෙකු මෙන් මරණයේ ජවනිකාව පිටුපසට යයි."

අපි දැන් බෞද්ධ සාහිත්‍යයේ විස්තර වන 'දශක දශකය' දෙසට හැරෙමු. පළමුව මේ පාලි ගාථාවට සිත දෙන්න.


මන්දෝ ඛිඩ්ඩා ච වණ්ණා ච

බලා පඤ්ඤා ච හායනා

පබ්භාරා ච පවංකා ච

මෝමූහා සයනා දස


මෙය වූකලී 'දශක දශකය' කවරේද යන්න විස්තර කරන ගාථාවකි. 'දශක දශකය' යනු මිනිසෙකුගේ මුළු ආයුෂ ප්‍රමාණය සියයක් ලෙස සලකවමින්, එය දහය දහය බැගින් වෙන් වෙන් වශයෙන් ගෙන ඊට අයත් ස්වභාවය පිළිබඳ යථාර්ථ විවරණයක් ඉදිරිපත් කිරීමකි.

එය වනාහි බෞද්ධ දර්ශනයට පාදක වුණු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය අතරින් අනිත්‍ය ලක්ෂණය මුල් කරගත් තථ්‍ය විග්‍රහයකි. යට දැක්වුණු පාලි ගාථාවේ සරල තේරුම මෙසේය.


"මන්ද, ඛිඩ්ඩ, වණ්ණ, බල, පඤ්ඤා, හායන, පබ්භාර, පවංක,

මෝමූහ, සයන යනු (මිනිසාගේ ජීවිතයේ) දසා දහයයි."


දැන් ඒ දසා දහය විස්තර වශයෙන් දැන ගනිමු.


(1) මන්ද = උපන් දා සිට පළමු දස වසර (10 විය)

(2) ඛිඩ්ඩ = ක්‍රීඩාවෙන් ගත වෙන දස වසර ( 20 විය)

(3) වණ්ණ= හැඩට රුවට ගතවෙන දස වසර ( 30 විය)

(4) බල = සිරුරු බල පවතින දස වසර (40 විය)

(5) පඤ්ඤා = නුවණින් මුහුකුරා ගිය දස වසර (50 විය)

(6) හායන= පිරිහෙමින් යන දස වසර

( 60 විය)

(7) පබ්භාර = කෙළින් ඉන්න වලංගු නැති වන දස වසර (70 විය)

(8) පවංක = වක ගැහෙන, කුදු ගැහෙන දස වසර (80 විය)

(9) මෝමූහ = සිහි කල්පනාව නැති වන දස වසර (90 විය)

(10) සයන = සයනයට හෙවත් ඇඳට වැටෙන දස වසර (100 විය)


මුල-අග එළිවැට රැකම කවි ලියන කියන කවියෙකු හැටියට ප්‍රකට, කොළඹ යුගයේ අතිශය ජනප්‍රිය කවියකු වන,හක්මන බැන්ටිස් රණවීර කිවිඳුන්,මිනිසාගේ දුර්දසාව ගැන ලියූ චිත්තාහ්ලාද ජනක දාර්ශනික සතර පද පැදියකින් මගේ මේ විවරණය හමාර කරමි.


යම් මිනිහෙකු කරා ආවොත් දුර්  දයිවේ

බොම්හයි මුවට ගත් ඇල්වතුරත් හයිවේ

යම්හයි කියා පියවර තැබුවොත් දොයිවේ

නම් පටිපාටියෙන් ලත් ජූනිත් මැයිවේ



අදහස් (0)

ෂේක්ස්පියර් හා භර්තෘහරි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1668 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1408 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 501 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site