IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අල්පේශාඛ්‍යයෝ සහ මහේශාඛ්‍යයෝ

මතක හා මතය

සිංහල භාෂාව හා ව්‍යාකරණය මෙන්ම පාලි හා සංස්කෘත මිශ්‍ර පැරණි ගද්‍ය පද්‍ය සිංහලයද එසේම ඉංග්‍රීසියද ව්‍යක්ත ලෙස හදාරා නොමැතිකම නිසා උපන් හීනමානය සඟවා ගැනීම සඳහා අනවශ්‍ය ඉංග්‍රීසි පද සහ අපභ්‍රංශ සංස්කෘත පද බහුල ලෙස වහල් කර ගැනීම අද මෙරට විචාරක වේශයෙන් වැජඹෙන එක්තරා අල්පශ්‍රැත. පිරිසකගේ නව පන්නයක් බවට පත්ව ඇත. විශේෂයෙන් සාහිත්‍ය හා දේශපාලන විෂය පථයට අදාළව සුලබ ලෙස දැකිය හැකි මේ නව පන්නය වූකලී රටක අධ්‍යාපන පරිහානියක අනිවාර්ය දුර්විපාකයකි.
'මහේශාඛ්‍ය' සහ 'අල්පේශාඛ්‍ය' යන වචන දෙක ඔබ අසා ඇතත් එම පද යුගලයේ නිරුක්ත්‍යර්ථය නැතහොත් පද සිද්ධිය අනුව ඉන් ගම්‍යමාන අර්ථය ඔබ දනිතියිද යන්න ඉඳුරා සැක සහිතය. එය පළමුව වටහා ගනිමු.

'මහේශාඛ්‍ය' යන්න නිපදිනුයේ
'මහා + ඊශ + ආඛ්‍ය' යන තෙපදයෙනි. එහි පදරුත වන්නේ
'මහා ඊශ නමැති' යනුයි. 'ඊශ' යනු ප්‍රධාන , අධිපති , ශ්‍රේෂ්ඨ යන අර්ථයන්හි වැටේ. මහා ශ්‍රේෂ්ඨ , මහානුභාව සම්පන්න යනු අර්ථයි.
'අල්පේශාඛ්‍ය' යනු 'අල්ප ඊශ
නමැති' යන පදරුත දෙන්නකි. අප්‍රධාන , බලවත් නොවන , උසස් නොවන යනු එහි අර්ථයි.
. මේ පද යුගලයේ නිරුක්ත්‍යර්ථය අද අපේ රටේ සකල විධ ක්ෂේත්‍රයන්ටම අතිශය අන්වර්ථ වේ යැයි මම උදක්ම විශ්වාස කරමි. බැලු බැලූ අතෙහි අල්පේශාඛ්‍යයන්ම මහේශාඛ්‍ය ලීලාවෙන් විරාජමාන වන හෙයිනි.
වැලිවිට සරණංකර සංඝරාජ ස්වාමීන් වහන්සේ විසින් දුකසේ දල්වන ලද ශාස්ත්‍රාලෝකයේ මහිමයෙන් මෙරට පහළ වුණු ගිහි පැවිදි පඬිවර පරපුරට දෙවර්ගයක ප්‍රාචීන උගත්තු අයත් වූහ. එයින් එක් කොටසක් පිරිවෙන්වලින් පාලි , සංස්කෘත භාෂා ගැඹුරට හදාරා නිපුණත්වයට පත් අය ලෙස හැඳින්විය යුතුය. අනික් කොටස ඒ භාෂා දෙක නොහදාළද පුරාතන සම්භාව්‍ය සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍ය පොතපත නිරන්තර පරිශීලනයෙන් තම පාලි සංස්කෘත වචන කෝෂය හෙවත් මිශ්‍ර සිංහල වචන කෝෂය සුපෝෂිත කරගත් පිරිසකි. මේ උභය ප්‍රාචීන භාෂා ප්‍රගුණ කළාවූද , එසේම එකී ද්විභාෂික වචන කෝෂයෙන් සජ්ජිත මිශ්‍ර සිංහලය අතැඹුල සේ දත්තාවූද ලේඛකයන් විසින් එක සේ පාලි සංස්කෘත වචන ප්‍රස්තෝචිත පරිදි තම ලේඛනයේදී භාවිතයට ගැනීම සාම්ප්‍රදායික සිරිතක් බවට මෙරට මුල් බැස ගති. මෙහිදී එක් වැදගත් කරුණක් ඉඳුරා ප්‍රකටව පෙනුණි.
එනම් පාලි සංස්කෘත භාෂා ප්‍රගුණ නොකළ , එහෙත් පුරාතන මිශ්‍ර සිංහල වාග් ව්‍යවහාරය ළැදි සිතින් ආශ්‍රය කළ , ලේඛක පිරිසද ස්වකීය ලේඛන කාර්යේදී නියම වචනාර්ථ මෙන්ම අක්ෂර වින්‍යාසයද දැනගෙනම පාලි සංස්කෘත වචන භාවිතයට ගත් බවයි.
බටහිර ආකෘතියේ පළමු විශ්ව විද්‍යාලය ඇරඹීමෙන් අනතුරුව මහා ප්‍රාචීන ප්‍රඥා ප්‍රදීප දෙකක් වන් විද්‍යාලංකාර විද්‍යෝදය දෙපිරිවෙන විශ්වවිද්‍යාල බවට පෙරළී කලක් යන තුරුම යට කී පාලි සංස්කෘත මිශ්‍ර භාෂා භාවිතය ශාස්ත්‍රීය ශික්ෂණයකින් යුක්තචම පැවතුණි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් පාලි සංස්කෘත භාෂා ප්‍රගුණ කිරීමට අභිරුචියක් දැක්වූ පිරිස ගිහි විද්‍යාර්ථීන් අතර පමණක් නොව පැවිදි විද්‍යාර්ථීන් අතරද එන්න එන්නම විරලව යෑම ඇරඹුණි. එසේ සිදුවෙද්දී පාලි සංස්කෘත මිශ්‍ර සිංහලෙන් රචිත පුරාතන ගද්‍ය පද්‍ය ග්‍රන්ථ පරිශීලනය කෙරෙහි උනන්දු වන විද්‍යාර්ථීන්ද හීනව යෑම කවර අරුමයක්ද? මාතර යුගයේ ප්‍රකට කවියෙක් වූ බැදිගම රතනපාල හාමුදුරුවන් කීවාක් මෙන්, 

"සිඳු සිඳෙනා කල ඇළ කියනුම
කිමෙක?"
මුහුද හිඳෙනා කල ඇළ ගැන කවර
කතාද?

අන්තර් ජාතික වශයෙන් අපේ රට පරම සම්භාවනාවට පාත්‍රවීමට හේතු භූත වූ ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර ඥාන ධාරාව කෙරෙහි මෙරට විද්‍යාර්ථීන් අතර පැවති ගෞරවය හා තත් ශාස්ත්‍රෝද්ග්‍රහණය උදෙසා ඔවුන් තුළ පැවති උද්‍යෝගය මරු කතරක සිඳී යෑම ඇරඹුණේ සාහිත්‍යය සහ ඉතිහාසය පාසල් විෂය මාලාවෙන් පිට මං කිරීමත් සමග යැයි කීම කවර වරදද? පාසල් විෂය මාලාවට සාහිත්‍යය විෂය ඇතුළුව තිබුණු කාලයේ පැරණි සිංහල සම්භාව්‍ය සාහිත්‍යයට අයත් ගද්‍ය පද්‍ය කෘති හැදෑරීමේ භාග්‍යය පාසල් ශිෂ්‍ය ජනයාට උදාව පැවතුණි. අධ්‍යාපනඥයන් විසින් එම කෘති අතරින් තෝරා ගත් විශිෂ්ට ග්‍රන්ථ පාඨ ග්‍රන්ථ ලෙස නිර්දිෂ්ට කරන ලද හෙයිනි. එකල සාහිත්‍යය විෂය හැදෑරූ ශිෂ්‍යයන්ට එය මහත් පල මහානිසංස ගෙන දෙන භාග්‍යෝදයක් වුණි. ඒ කෙසේද? පාලි සංස්කෘත භාෂාවන්ට අයත් විවිධ විචිත්‍ර වචන සහිත ඕජෝ ගුණ සම්පන්න ප්‍රාණවත් මිශ්‍ර සිංහල භාෂා සාහිත්‍ය ව්‍යවහාරය ගුරුන් ඇසුරෙන් හැදෑරීමට ඉන් මග පෑදුණු හෙයිනි. ශිෂ්‍යයන්ගේ වචනාර්ථ අවබෝධය, වාක්කෝෂ පෝෂණය හා ලේඛන චාතුර්ය කෙරෙහි එකී සම්භාව්‍ය ග්‍රන්ථ පරිශීලනය මහත් සේ බල පෑ බව ඉඳුරා පැවසිය හැකිය. සිංහල භාෂාවේ රම්‍යත්වය, ප්‍රබලත්වය හා නිර්මාණාත්මක භාවිතය පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් පාසල් අවධියේම අත්පත්කරගැන්මට ශිෂ්‍යයන්ට උදාව තිබුණු එම පරම භාග්‍යය සාහිත්‍ය විෂය අහෝසි කිරීමත් සමගම ඔවුන්ට අහිමිව ගියේය. අනතුරුව පාසල් පද්ධතියෙන් බිහිවුණු ශිෂ්‍ය පරපුර බහුල වශයෙන් සාහිත්‍ය රස විහීන භාෂාන්ධයන් බවට පත්වීම කවර අරුමයක්ද?
වත්මන් පරපුරට අයත් ලේඛක , විචාරක හා සන්නිවේදක ගණයාගෙන් වැඩි දෙනෙකු තම නවකතා, කෙටිකතා, කවි, විචාර, නිවේදන ආදියෙහිදී භාවිතයට ගන්නා රස හීන, ව්‍යඤ්ජනාර්ථ නොනඟන සිංහලයෙන් ඉඳුරා පසක් වනුයේ ඉහත කී භාෂා පරිහානියේ අනිෂ්ට විපාකයයි. තමන් දන්නා සිංහලයෙන් අතිශයින් තෘප්තව ලේඛන කාර්යේ , විචාර කාර්යයේ හා හාෂණ කාර්යයේ යෙදෙනු විනා , අත්‍යන්ත අතෘප්ත ලෙස සිංහලය නැවත නැවත හදාරමින් , තමාම නිපදවා ගත් අනන්‍ය ශෛලියකින් යුතුව විසිතුරු ලෙසත් නිර්මාණාත්මක ලෙසත් එය භාවිතයට ගැනීමට ඔවුහු තුන් සිතකින් වත් නොසිතති. සිංහල බසෙහි රම්‍යත්වය හා ප්‍රබලත්වය පමණක් නොව ඊටම ආවේණිකව සුඛනම්‍ය ලෙස එහි ගැබ්ව පවත්නා නිර්මාණාත්මක ලක්ෂණයද ඔවුන්ට විෂක් මෙන් අවිෂයව ඇත. එය අල්පශ්‍රැත භාවයේ පරම ප්‍රකාශනයකි.
ප්‍රබන්ධ සාහිත්‍ය කෘතියක අධ්‍යාත්ම ප්‍රකාශන යානය වන භාෂාව නොතකා හැර එහි අන්තර්ගතය හා ආකෘතිය පමණක් වැදගත් කොට සැලකීමේ විචාර න්‍යායක් මෙකල මෙරට සම්මාන විනිශ්චය මණ්ඩලවල ඍෂිභාෂිතයක් බවට පත්ව ඇද්ද යන්න සැකයට භාජනය වෙයි. මක්නිසාද යත් , නිර්මාණාත්මක ලක්ෂණ ශූන්‍ය , ධ්වන්‍යාර්ථ හීන භාෂා භාවිතයට පරම නිදර්ශන කොට දැක්විය හැකි බොහෝ ප්‍රබන්ධ කෘති පසුගිය කාලයේ සම්මානයට පාත්‍රව ඇති හෙයිනි.
මේ අතර , ශබ්ද විද්‍යාවට පටහැනි අයුරින් අපභ්‍රංශ සංස්කෘත පාරිභාෂික පද නිපදවමින් අනවශ්‍ය ලෙස ඉංග්‍රීසි පද සිංහල වෙස් ගන්වමින් විචාරයෙහි නිරත විචාරක ගණයක්ද මෙකල පහළව ඇත. ඔවුන් තම සාහිත්‍ය හා දේශපාලන විචාර සඳහා උපයෝගී කොට ගන්නා සිංහල භාෂා භාවිතය පූර්වෝක්ත භාෂා පරිහානියට සාක්ෂාත් සාක්ෂියක් වැන්න. ක්‍රි:පූ: 04 වන සිය වසෙහිදී 'අෂ්ඨාධ්‍යාය' නම් මහා ව්‍යාකරණ ග්‍රන්ථය සම්පාදනය කළ , සංස්කෘත භාෂාවේ ආදි කර්තෘවර පාණිනී ආචාර්යවරයාත් නිපදවීමට බියවූ අමුතු සංස්කෘත වචන නිපදවා තම පාණ්ඩිත්‍යය විදහා පෑමට එකී විචාරක ගණයා නොබියව ඉදිරිපත්ව සිටිති. පාලි වචනයක් අලුතෙන් නිපදවීමට යන තැනැත්තා පාලියේද සංස්කෘත වචනයක් තැනීමට තැත් කරන තැනැත්තා සංස්කෘතයේද පද සාධන විධි සහ නෛරුක්තිකාර්ථ අතැඹුල සේ දත යුතුය.
මගේ ශිෂ්‍යයෙක් වරක් මගෙන් මෙම පැනය විචාළේය.
"සර් 'විෂය ක්‍රාන්ති බව' කියන්නෙ මොකක්ද?"
"එහෙම වචනයක් නං මං අහලා නෑ. සංස්කෘත භාෂාවෙ එහෙම වචනයක් යෙදෙයි කියලා හිතන්නත් බෑ. පදසිද්ධිය අනුවනෙ වචනයක අර්ථ දැක්වීම කරන්නෙ. මෙතන එහෙම කරන්ඩ බෑ. කොහෙද මේක යොදලා තිබුණෙ?"
"මේක යොදලා තිබුණෙ නවකතා විචාරයක. පත්තරේ පළ වෙලා තිබුණු. මෙන්න මෙහෙමයි ඒ වාක්‍යය ලියලා තිබුණෙ."
"එයින් කියැවෙන්නේ ආදරය
විෂයක්‍රාන්ති බවය. වචනවලින් කියා නිම කළ නොහැකි අති සුඛනම්‍ය විඳීමක් බවය."
මට කාරණය වැටහුණි. මෙහිදී සිදුව ඇත්තේ නවකතා විචාරකයා නැති සංස්කෘත වචනයක් නිපදවීමට යෑමක් නොවේ. අපගේ පුරාතන සම්භාව්‍ය මිශ්‍ර ගද්‍ය සිංහලයේ චිර භාවිත සංස්කෘත වාක්‍ ප්‍රයෝගයක් එකී සම්භාව්‍ය සිංහලය ව්‍යක්ත ලෙස ප්‍රගුණ නොකිරීම කරණකොටගෙන සාවද්‍ය ලෙස භාවිතයට ගැනීමකි. නිරවද්‍ය ව්‍යවහාරය විය යුත්තේ
'විෂයක්‍රාන්ති' යන්නක් නොවේ. 'වර්ණනා විෂයාතික්‍රාන්ත' යන ප්‍රයෝගයයි.
'වර්ණනා විෂය + අතික්‍රාන්ත'
එහි සරල තේරුම වන්නේ වර්ණනා කිරීමේ හැකියාව ඉක්මවා පවතින්නක් බවය. එනම් වර්ණනා කිරීමට අමාරු බවය.
මේ 'අතික්‍රාන්ත' යන්න පැමිණ ඇත්තේ සංස්කෘත 'අතික්‍රමණ' යන්නෙනි. එය නිපන්නේ 'අති ' පූර්ව 'ක්‍රම්' ධාතුවෙනි. එනම් ක්‍රියා මූලයෙනි. 'අතිශය වේගයෙන් , ඉක්මනින් , පසුකොට යන්නා වූ' යන අර්ථය ඉන් ප්‍රකාශ වෙයි. එහි පාලි ශබ්ද රූපය 'අතික්‍කමණ' යනුයි. එය 'අති' පූර්ව 'කමු' ධාතුවෙන් නිපන. අර්ථය සමාන වෙයි.
සිංහල වාග් ව්‍යවහාරයට 'ඉක්මන්' යන්න පැමිණ ඇත්තේ මේ පාලි රූපයේ බලපෑමෙනි. සිංහල පද වහරෙහි සමීපතම සම්බන්ධය ඇත්තේ පාලි රූපයට මිස සංස්කෘත රූපයට නොවේ. එහෙත් සිංහල 'ඉක්මන්' යන්න 'ශීඝ්‍රමාන' යන්නකින් පැමිණි බවට කළ අපභ්‍රංශ නිරුක්ති කථනයක් ගැන අසන්නට ලැබුණි. එය අශාබ්දික විවරණයකි. 'මාන' යනු කෘදන්ත ප්‍රත්‍යයකි. තත්සම ශබ්දවල හමුවන එය ධාතුවක් සමග යෙදෙන්නකි.
උදාහරණ:
ජීව් +ය + මාන = ජීවමාන
දෘශ් + ය + මාන = දෘශ්‍යමාන
ගම් + ය + මාන =ගම්‍යමාන

'ශීඝ්‍ර' යන්න ධාතුවක් නොවේ. 'ශීඝ්‍රමාන' යන්නක් හමුව ඇත්තේ මේඅල්පශ්‍රැත නිරුක්තිකරුවාට පමණක් විය යුතුයි. නැති 'ශීඝ්‍රමාන' යන්නකින් 'ඉක්මන්' සිංහල පදය පහළ කිරීමට ඉක්මන් වීම ශාස්ත්‍රීය නොහික්මීමකි.
සිංහලයේ 'ඉතින්' යන නිපාතය සංස්කෘත හෝ පාලි 'ඉත්ථම්' යන්නෙන් පැමිණි බව කියන නිරුක්ති කථනයක් ගැනද ඇසුවෙමි. සංස්කෘත පාලි දෙබසෙහිම 'ඉත්ථම්' පදය දෙන්නේ 'මෙසේ' යන අරුතයි. 'ඉතින්' යන්නෙහි 'මෙසේ' යන අරුතක් ඇත්තේ කෙසේද? සංස්කෘත පාලි 'යදි' යන නිපාතයෙන් 'ඉදින්' යන්න බිඳී අඝෝෂාදේශය වීමෙන් 'ඉතින්' යන්න පැමිණි බව දැනගැනීම වටී.



අදහස් (0)

අල්පේශාඛ්‍යයෝ සහ මහේශාඛ්‍යයෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site