IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


74 වැනි ජාතික නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරේ

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදී යටත් විජිත පාලනයෙන් මිදී උත්තරීතර නිදහස ලැබ වසර 74 ක් සපිරීමේ අභිමානවත් ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන්, කොළඹ, නිදහස් චතුරස්‍රයේ පිහිටි ‘ජාතියේ පියා’ යන විරුදාවලිය ලද ඩී.එස් සේනානායක මහතාගේ පිළිරුව අභියස දී ඉතා අභිමානවත් හා චාම් අයුරින් අද (4) පෙරවරුවේ පැවැත්විණි.

“අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක්, සෞභාග්‍යමත් මව්බිමක්’ යන්න මෙවර නිදහස් දින සැමරුම් තේමාව විය.

ජනාධිපතිවරයා උත්සව භූමියට සම්ප්‍රාප්ත වූයේ පෙරගමන් රථ, පෙරගමන් යතුරුපැදි හා අශ්වාරෝහකයින් සහිත රිය පෙරහැරකිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමන් යුද හමුදා සේවයේදී ක්‍රියාන්විත රාජකාරීවල යෙදෙමින් ලබාගත් වීර පදක්කම් ද සිය කමිසයේ පැළඳ සිටියේය.

ඉන්පසු මඟුල් බෙර වාදන මධ්‍යයේ ජනාධිපතිවරයා ජාතික ධජය නැංවූ අතර අනතුරුව පාසල් සිසු සිසුවියන් 45 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජාතික ගීය ගායනා කළේ නිදහස් දින අභිමානය තව තවත් ඔප්නංවමිනි.
ඉන්පසු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයා ප්‍රධාන පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබූ අතර එම පීඨිකාව ද ඉතා අලංකාරවත්ව ඉදිකර තිබිණි.

ඉන්පසු පාසල් ශිෂ්‍යාවන් 15 දෙනෙක් එක්ව ජයමංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගාථාත් ගායනා කළහ.

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ විරුවන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කිරීම අනතුරුව සිදුකෙරිණි.

ඉන්පසු ත්‍රිවිධ හමුදාව විසින් ජනාධිපති උත්තමාචාර පවත්වා ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම සිදුවූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජාතිය අමතා අදහස් දැක්වූයේ එම ආචාර වෙඩිමුරවලින් අනතුරුවය.

ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවල ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්‍ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය එක්ව ජාතියේ අභිමානය විදහා දැක්වෙන අයුරින් පවත්වන නිදහස් දින ආචාර පෙළපාලිය හා ඊට සමගාමීව පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනය ආරම්භ විය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් හා සෙබළුන් 3377 ක්, නාවික හමුදා නිලධාරීන් හා සෙබළුන් 919 ක්, ගුවන් හමුදාව නියෝජනය කරන 804 ක්, ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරන 336ක්, විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් 220 ක්, සිවිල් ආරක්‍ෂක බලකාය නියෝජනය කරමින් 437ක් සහ ජාතික ශිෂ්‍යභට බලකායේ 259ක් ඇතුළුව 6500ක පිරිසක් මෙවර ආචාර පෙලපාලියට එක්ව සිටියහ.  

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති සුජීව සෙනරත් යාපා මහතා පෙළපාලියේ ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේය.

මෙම ආචාර පෙළපාලිය නිදහස් චතුරස්‍රය ඉදිරිපිටින් ගමන් ගත්තේ ශ්‍රී ලංකා මාතෘභූමියේ මුරදේවතාවුන්ගේ අභිමානය හා ශක්තිය මැනවින් ලොවට විදහා පාමිනි.

ජාතික හා හමුදා ධජවලින්, ත්‍රිවිධ හමුදා තූර්ය වාදක කණ්ඩායම්වලින්, මෙන්ම අශ්වාරෝහක කණ්ඩායම්වලින් විචිත්‍රවත් වූ පෙළපාලියට සන්නාහ සන්නද්ධ රථ, නාවික යාත්‍රා, ගුවන් හමුදා ප්‍රහාරක යානා, ආරක්‍ෂක උපකරණ ආදියෙන් මහත් අභිමානයක් ලැබිණි.

මෙවර පෙළපාලියට දේශීයව නිෂ්පාදනය කෙරුණු යුද හමුදා සන්නද්ධ  රථද ඇතුළුව සන්නද්ධ රථ 111ක් ද ඇතුළත් විය.

ගුවන් හමුදා කණ්ඩායම් ආචාර පෙලපාලියේ ගමන් කරද්දී නිදහස් චතුරස්‍රයට ඉහළ අහසේ ගුවන් හමුදා ප්‍රහාරක යානා ද ගමන් කළ අතර ගුවන් හමුදා ප්‍රහාරක යානා 26ක් හා නියමුවන් 50ක් ඊට එක්විය.

තම ජීවිතයේ වැඩි කාලයක් රටේ ආරක්‍ෂාව වෙනුවෙන් කැප කළ සේවා මුක්ත භටයින් හා යුද්ධයේදී විවිධ ආබාධයන්ට ලක්වූ රණවිරුවන් රැගත් රථ තුනක් ද මෙවර ආචාර පෙළපාලියට එක්කර තිබිණි.

ආචාර පෙලපාලිය අවසානයේ පැවති සංස්කෘතික සංදර්ශනය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය නර්තන කණ්ඩායම, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘතික මධ්‍යස්ථානය, මන්මුනේ උතුර, අක්කරෙයිපත්තු, සංස්කෘතික මධ්‍යස්ථානයන් මෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත් සභා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ නියෝජනය කරමින් නර්තන හා වාදන ශිල්පීන් 431 දෙනෙක් සහභාගී වී සිටියහ.

දේශීය සංස්කෘතික උරුමය විදහා දැක්වෙන් අයුරින් ඉදිරිපත් කෙරුණු මෙම සංස්කෘතික සංදර්ශනයේ නර්තන නිර්මාණය කර තිබුණේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කරුණාරත්න බණ්ඩාර මහතා විසිනි.

එම සංස්කෘතික සංදර්ශනයෙන් අනතුරුව උත්සවයේ කටයුතු නිමාවට පත්විය.

මෙවර කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නිදහස් දින සැමරුම සෞඛ්‍යාරක්‍ෂිත විධිවිධාන යටතේ සංවිධානය කර තිබිණි.

උළෙලේ මඟුල් බෙර වාදනය හා සක් පිඹීම සඳහා රාජ්‍ය නර්තන කණ්ඩායමේ ශිල්පීහු එක්ව සිටියහ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (10)

74 වැනි ජාතික නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරේ

Shan Friday, 04 February 2022 05:26 PM

බම්බුවේ අභිමානය... රට කාපු අයට සැලියුට් ගහන එකේ තියෙන අභිමානය කුමක්ද? මීට වැඩිය හොඳයි සුද්දා රට පාලනය කළා නම්... එහෙනම් අපේ මිනිස්සුන්ට එංගලන්තයේ යන්න ඕනෑ නැහැ. ලංකාවත් එංගලන්තෙ වගේනේ..!

:       64       21

Jagath Friday, 04 February 2022 08:26 PM

බංගලිදේශයෙනුත් ඩොලර් ඉල්ලලා හිඟාකාපු අපිට මොන අභිමානයක්ද?

:       48       18

ජූඩ් Saturday, 05 February 2022 10:54 AM

මට මතකයි කාගම සිරිනන්ද හාමුදුරුවෝ දවසක් කිව්වා "ලෝකෙන්ම ණයට අරන් කන ජාතියකට කොහෙද අභිමානයක්" කියලා...

:       37       18

Rohana Saturday, 05 February 2022 11:46 AM

සමරන්න තරම් නිදහසක් ජාතියට තියෙනවද?

:       31       15

Siri Saturday, 05 February 2022 01:14 PM

රෝමය ගිනි ගනී...! නීරෝ වීණාව වයයි..!

:       35       17

fairoos Sunday, 06 February 2022 01:12 PM

ත්‍රිවිධ හමුදාවේ පෙළපාලිය නම් ලස්සනයි. දේශපාලකයින් නැතුව සමරන්න තිබුණා.

:       3       7

Rohitha Sunday, 06 February 2022 06:17 PM

ණයට සල්ලි අරන් මේ අය අභිමානය සමරනවා. ලැජ්ජාවක් නැද්ද මේ අයට? කාගේ සල්ලිද මේ නාස්ති කරන්නේ...? පවුල් කීයකට මේ සල්ලි වලින් කන්න දෙන්න තිබුණද?

:       2       8

ganegoda Sunday, 06 February 2022 06:38 PM

පවුල් බලයෙන් පීඩිත රටකට මොන නිදහස් දිනයක්ද?

:       1       9

sugath Monday, 07 February 2022 01:29 PM

එදිනෙදා ණයට ජීවත්වෙන අපි සැබවින්ම නිදහස්ද...?

:       0       4

sharm warn Monday, 07 February 2022 02:06 PM

ණයට තෙල් ඉල්ලගෙන ගුවන්යානා සංදර්ශන තියලා, කෝටි 13කුත් නාස්ති කරලා අහවල් අභිමානයක්ද තිබුණේ..? ගෝඨාභයට නම් ඒක අභිමානයක් වගේ... පෙනෙන්න ඇති. අපිට නම් ලැජ්ජාවේ බැරුව, රූපවාහිනියත් වහලා දාලා හිටියා... වෙන කිසි අවුරුද්දක් නොකරපු දෙයක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 451 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site