(සුජිත් හේවාජුලිගේ)

ඕස්ට්‍රේලියාවට ගෙවූ ඩොලර් ලක්ෂ 25ක මුදල පරිගණක හැකර්වරුන්  වංචනිකව ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධයක් මතු කිරීමට සමගි  ජන බලවේගය සහ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ  ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.

පාර්ලිමේන්තුව ලබන මස 5 වැනිදා රැස්වේ.

මෙය භාණ්ඩාගාරය මහදවල් කොල්ල කෑමක් බවත් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මීට සෘජුව වගකිව යුතු හෙයින් ඔවුන් එම තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බවත් සමගි  ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා   ලංකාදීපයට පැවසීය.

මේ සම්බන්ධයෙන් දිගින් දිගටම හඩ නැගීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර  ඕස්ට්‍රේලියානු ණය මුදල හැකරුන් වංචනික ලෙස ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්  රජයේ පාර්ශ්වයෙන්ද පාර්ලිමේන්තුවේදී  කරුණු දැක්වීමක් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.