IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සරස්වතී දේවී වන්දේ.....

ජගන් මෝහිනී මධුර භාෂිණී

චාරු දේහිනී කමලවාසිනී

සරස්වතී දේවී වන්දේ

සරස්වතී දේවී වන්දේ..........

කම්පිත කංචන මාලා කූජිත කිංකිණි නූපුර ජාලා

පාද සරෝජේ කටී තටාකේ චංචල නර්තන ලීලා

මීන මකර පංකජ රූපාකුල අංකික කුංකුම රේඛා

පූර්ණ කුම්භමිව පීන පයෝධර පූරිතාමෘත ධාරා

භාග්‍ය සාධන පුණ්‍ය මූර්තිධර සුරකුල වර අභිරූපා

දේහි දේහි වරදායක හස්තේ ශුභ මංගල මූද්‍රා

 

පද රචනය - චන්ද්‍රරත්න මානවසිංහ

සංගීතය - ඩබ්ලිව්. ඩී. අමරදේව

ගායනය - ඩබ්ලිව්. ඩී. අමරදේව

 

අපගේ ගීත සාහිත්‍යයේ ශ්ලේෂ ප‍්‍රසාද මාධූර්ය සුකුමාරතා ආදී වූ ගුණයන්ගෙන් පෝෂිත සරස්වතී අභිනන්දන ගීතයක අඩුව එවක සිටි නිර්මාණකරුවන්ට සංගීතඥයින්ට මෙන්ම රසවතුන්ටද දැනුනු බව රහසක් නොවේ.අභිනන්දන යන වදනින් සතුටු කිරිම පිණිස ගුණ ගැයීම, ප‍්‍රශංසා කිරීම යන අරුත්ද ලැබේ. මෙයින් කෙරෙනුයේ සරස්වතිය සතුටු කිරීමකි.

මාර්ග සංගීතයෙහි හා රාගධාරී උසස් සංගීතයෙහි මාතෘභූමිය වූද සරස්වතී දිව්‍යාංගනාවන් කෙරෙහි මහත් භක්තියෙන් වන්දනා කරන්නා වූද ආසක්ත ජන බහුල භාරතයෙහි පවා මෙතරම් උත්තම භාෂා ව්‍යවහාරයකින් ලියැවුණු හා ගැයුණු සරස්වතී අභිනන්දන ගීතයක් වෙත් දැයි මා තුළ තිබූ සැකය මෑතකදී පැවති විද්වත් ජන සම්භාෂණයකදී ඉන්දියාවේවත් මෙතරම් භාෂා ප‍්‍රයෝගයෙන් උසස් වූ කර්ණ රසායන සරස්වතී වන්දනා ගීයක් නැතැයි අවධාරණය වීමෙන් සාක්‍ෂාත් වූයේය.

“රාධා පද්මා ච යා දේවී දුර්ගාදේවී සරස්වතී” යනුවෙන් ශක්තී හෙවත් ස්ත‍්‍රීත්වය ආරම්භයේදී අවස්ථා පහක්ව සාහිත්‍යයේ දැක්වෙයි. මූල ප‍්‍රකෘති ඊශ්වරී ලෙස එය හැඳින්වේ. එහිදී ශාස්ත‍්‍ර ඥාන ප‍්‍රදානය කරන්නා වූ වචනයට අධිපති මූල ප‍්‍රකෘති ඊශ්වරී ලෙස ගැනෙනුයේ සරස්වතී දේවියයි. ඒ බව,

වාගාධිෂ්ඨාත‍්‍රී යා දේවී ශාස්ත‍්‍ර ඥාන ප‍්‍රදා සදා

කෘෂ්ණ කණ්ඨෝද්භවා යා ච සා ච දේවි සරස්වතී

යනුවෙන් බ‍්‍රහ්ම වෛවර්ත ප‍්‍රකෘති ඛණ්ඩයේ දැක්වෙයි. එනයින් ඊශ්වර වාදයට අනුව ද තාන්ත‍්‍රික වාදයට අනුවද ස්ත‍්‍රී තත්ව මූලය හෙවත් ප‍්‍රකෘතිය ශාස්ත‍්‍ර ඥාන කලා ශිල්පාදිය ප‍්‍රදානයටත් වචනයටත් අධිපති වශයෙන් ආරෝපණය කර ඇත. දේව පූජාවන්හි දී පළමුවෙන්ම සරස්වතිය පිදිය යුතු බව එහි දක්වා තිබේ.

ශ‍්‍රී කෘෂ්ණයන් විසින් නිර්මාණය කරන ලද සරස්වතිය පළමුව පිදීමෙන් අඥානයකුට වුවද පඬිවරයකු විය හැකියි යනු මෙහි භාවාර්ථයි. ඇය මූර්තිමත් වන්නේ සියලූ ශාස්ත‍්‍ර ඥාන කලා ශිල්ප ප‍්‍රදානය කරන්නාවූ මූල ප‍්‍රකෘතික දිව්‍යාංගනාව වශයෙනි. මෙසේ වූ කල මානවසිංහයන් සිය වදන් පෙළහර පා රසායනය කළ සරස්වතියම අමරදේවයන් ස්වකිය සංගීත හා ගායන කෞශල්‍යය මෙහෙය අභිවාදනය කලහ. මේ ඒ අභිවාදනයයි.

මුළුමනින්ම සංස්කෘත භාෂාවෙන් ප‍්‍රබන්ධ කර ඇති මෙම ගීතය ආරම්භ වන්නේ ජගන් මෝහිනී යන වදනින්ය. මේ ජගත් + මෝහිනී යන දෙපදය සන්ධි ගන්වා උපයාගත් වදනකි. පසු පදයේ පළමු ”ම” ආකාරය නිසා පෙර පදයේ ”ත්” යන්න එම වර්ගයේම නාසික්‍ය එම අකුර වන ”න” අකුර ආදේශව ජගන් මෝහිනී යැයි සිද්ධ වේ. ජගත් යනු මුළු මහත් විශ්වයයි. ජගන් මෝහිනී යැයි ගන්නා කල එහි පර්යාය ති‍්‍රපුර සුන්දරිය දක්වා විහිදේ. ඇය විශ්වයේ මහා මායාව වන්නීය. එසේම රූපලාවන්‍ය සම්පන්න සුන්දරියම වේ. විශ්වය මෝහනයට සහ මායාවෙහි ගන්වන අභිරාම වූද සුකෝමල වූද මනෝරම්‍ය වූද චිත්තාකර්ෂණීය වූද කාන්තා රූපය තුළ විශ්වයේ රහස්‍යය ද ශක්තිය ද ප‍්‍රකෘතිය ද සෞන්දර්ය ද කුළු ගැන්වීමෙන් මුළු ලොවම ආශ්වාදනීය මායාවකින් මුසපත් කරන්නීය. යන හැඟීමක් මෙම පද යෙදුමෙන් ගම්‍ය වන බව පෙනේ.

නෙළුමෙහි වාසය කරන්නීනුයි පද්මිණී නමද කමලාසනී නමද කමලනී ආදී බොහෝ නම් ඇය ලබයි. එමෙන් කල්පිතදායිනී යැයි කමලිනිය භාෂා ශාස්ත‍්‍රයෙහි ඉසිරු වෙයි. ඉන් අදහස් කරනුයේ කල්පිත හෙවත් නිර්මාණ දානය කරන්නීයකි. එවැනි වූ සරස්වතී දේවියම වන්දනා වේවා යැයි ගීතයේ පූර්වාර්දයෙන් කියවේ.

කම්පිත කංචන මාලා කූජිත කිංකිණි නූපුර ජාලා

පාද සරෝජේ කටී තටාකේ චංචල නර්තන ලීලා

මේ ගී පද ඇසෙත්ම එහි ශබ්ද මාධූර්යය හා ගායන විලාසය විසින් අප ගෙනයනු ලබන්නේ සැබවින්ම අතිශය සුන්දර ඒ කාන්තා ශරීරය අභියසටය. අනුරාගයෙන් තොර විරල වූ ආස්වාද රතියෙහි අප බැඳලන්නට එම පද ලාලිත්‍යය සමත් වෙයි. කම්පිත හෙවත් සැලෙන රන් මාලාවන් කුඩා මිනි බැඳි පාදාභරණ හෙවත් නූපුර ජාලා මධුර නාද නගන බවත් මින් ධ්වනිත වේ. සරස්වතියගේ මෙම පා අබරණින් නැගෙන නද කූජනයක් සෙයින් කවියා දකී. කූජනය යනු කොවුලනටම අනන්‍යවූ මිහිරි නද හැඬවීමකි. ගීත ගෝවින්දකාර ශ‍්‍රී ජයදේවයෝද ”නිකර කරම්බිත කෝකිල කූජිත” යැයි පද යෝජනයෙන් කූජනය කොවුලනටම පවරති.

සරස්වතියගේ පාදාභරණයෙන් ඉතා මධුර වූ නාදයක් නැගෙතියි කවියා ඇය උසස් වරණනාවකට බඳුන් කරයි. එවන් වූ පාද නැමති පද්මය කටිය හෙවත් කාන්තා ලාලිත්‍යයෙහි අග‍්‍රස්ථානය හඟවන උකුල නමැති පෙකුණෙහි සැලෙන ඉසියුම් නැටුම් විලාසයක් පායි. කාන්තා නර්තනය භාරතීයයෝ උමාවට හෙවත් පාර්වතියට අයත් කලහ. ලොව මැවීමෙදීත් නැසීමේදීත් ඊශ්වර ස්වකීය තාණ්ඩවය නටන කළ ඊශ්වර පත්තිනිය හෙවත් පාර්වතිය කාන්තා ලාලිත්‍යය පාමින් සිය ලාස්‍ය නැටුම නටන්නීය. ලාස්‍යය තාලලයාශ‍්‍රය නෘත්‍යයකැයි භාෂාන්තරයන්හි දැක්වේ. අභිරාම කාන්තාව වශයෙන් මූර්තිමත්වන සරස්වතියද රඟන්නේ ලාස්‍ය ස්වරූපයේ නැටුමක් බව ලීලා යන අතිශය භාවෝත්පන්න වදනින් කවියා හඟවයි. මෙහි දක්වන නැටුම් විලාශය සුන්දර කාන්තා සිරුරකින් ඉල්ප වෙතියි කවිසමයේම එන එහෙත් ශෘංගාරයෙන් මුළු මනින්ම තොරවූ භාව භාව පූරිත අපිස් හැඟීමක් උපදවන්නට සමත්වෙයි.

මීන මකර පංකජ රූපාකුල අංකික කුංකුම රේඛා

පූර්ණ කුම්භමිව පීන පයෝදර පූරිතාමෘත ධාරා

මෙම මීන පදය මත්ස්‍ය වාචකය. මත්ස්‍යාක්‍ෂිය කාන්තාවන්ගේ ඇස්වලට කවි සමයේදී උපමා කරයි. දිව වෙසඟනවූ උරුවිසිය හා ඇගේ යෙහෙළිණි අප්සරාවන් දිය නාමින් සිටි විටෙක ඔවුන්ගෙන් වැටුණු රේතස නෙළුමෙහි පතිත වීමෙන් වශිෂ්ඨාදී මුනිවරුන්ද එයම පෙළොවෙහි පතිත වීමෙන් අගස්ත්‍යාදී සෘෂිවරුන්ද එයම ජලයෙහි පතිත වීමේන් මත්ස්‍ය ගනය ද උපන්නැයි නාරසිංහ පුරාණයෙහි උත්පත්ති කතාවක් දැක්වෙයි. විලෙහි පිපි නෙළුමෙහි වසන සරස්වතිය සත‍්‍රීත්වයේ ප‍්‍රකෘතිය වශයෙන් ගන්නා හින්දු දේව වාදය හා ස්ත‍්‍රීරේතස පිළිබඳ සාහිත්‍ය ඉතිහාසයේ දැක්වෙන නා නා විධ පුරාවෘතයන් නිසා සංකේත මවන්නියක් වන්නීය. මීන රූපය තාන්ත‍්‍රීකයන්ගේ පංච ම කාරයන්ගෙන්ද එකක් වේ. මත්ස්‍යයන් අතරින් වඩාත් ශ්‍රේෂඨ යැයි සංස්කෘත සාහිත්‍යයේ දැක්වෙන මකර හෙවත් මොහොර - මෝරා මත්ස්‍ය රූපයද මෙහි දක්වා ඇත.

පංකජ යනුවෙන් සුදු නෙළුම් අදහස් කෙරේ. සුදු නෙළුම් සහ සරස්වතිය අතර ඇත්තේ සමවායී සම්බන්ධයකි. මෙවන් වූ රූපයන්ගෙන් ආකුල හෙවත් ගැවසී ගත් යන අරුත සමඟ අංකනය වූ කොකුම් රේඛාවක් කියැවෙති. කුංකුම රේඛාව ස්වභාවයෙන්ම රතු පැහැතිය. මින් කියැවෙන්නෙ සරස්වතිය හිඳිනා ජල තලෙහි පුන් පියුම අවට ගැවසෙන මත්ස්‍යාදීන්ද නැතහොත් මීන මකර පංකජාදී රූපයන් අංකනය හෙවත් ලකුණු කළ රත් පෑ කුංකුම රේඛාවන් දෝ හෝ යි අවබෝධ කළ යුතුය. මෙහි පාද සරෝජේ කටී තටාකේ මීන මකර ගණයා රමණය කරන බව පැහැදිලිය. එසේම බෙහෙවින් රත් පැහැ කුංකුම වර්ණය හෙවත් රතු පාට පිළිබඳව දේව කතා අතරට සිත දිව යයි. ඉන්දීය පැරණි දේව කතාවනට අනුව නම් දිව්‍යංගනාවන් කුංකුම වර්ණයැති ස්වකීය රේතස ස්නානයේදී දියෙහි වගුරුවා අපිතෲක වූ දරුවන් ඉපැද්දූ බව සඳහන් වේ.

ගුණය සාධා දෙනුයේ සරස්වතියයි. පුණ්‍ය මූර්තිධර යැයි ගැන්මෙන් පින යනු කුමක්දැයි හැඟවීම පිනිස කළාවූ නිමැවුමක් බඳු යැයි ගම්‍යමාන වේ. දිව්‍ය කුලයෙහි අභිරූපවත් කාන්තාවක් වන්නට මහා පිනක්ම තිබිය යුතුය. එවැනි පුණ්‍යවන්ත අභිරාමෝත්තම අභිරූපී සරස්වතියගේ වර දායක මුද්‍රව දක්වන අතින් ශුභ මංගල තත්වයන් ලබා දෙන්නැයි කරන ඉල්ලීමක් මෙයින් කෙරේ. මංගල යන වදන පිළිබඳ නිර්වචනයක් සාහිත්‍යයේ දැක්වෙයි.

 

එම ගීතය පහතින්  රසවිඳිය හැකිය

 

 



අදහස් (2)

සරස්වතී දේවී වන්දේ.....

ජයත් Monday, 08 February 2016 01:48 PM

අංක එකයි (අ)

:       1       23

අ. ලියනගේ Thursday, 30 January 2020 03:05 PM

ස්තුතියි, මේ ගීයේ එන සමහර සංස්කෘත වචනාර්ථයන් බොහෝ කල් සෙව්වෙමි. සවිස්තරාත්මක ව්‍යක්ත භව්න් අර්ථය පැහැදිලි කිරීම ගැන බෙහෙව්න් සතුටු වූනෙමි.

:       0       51

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site