මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ, සිංහබාහු, රත්නාවලී, හස්තිකාන්ත මන්තරය යන නාට්‍යවල වත්මනෙහි ප‍්‍රධාන භූමිකා රංගනයෙහි නිරත වන්නේ ඔහුය. ඒ සම්මානනීය රංග ශිල්පියා සනත් විමලසිරි ය. රංගන භූමිකාවේ දී ඔහුට  ඕනෑම චරිතයක් ඔට්ටුය. නමුත් එකී චරිත සියල්ල රංගනයට පමණක් සීමා වූ චරිතය. සැබෑ ජීවිතයේ දී ඔහුගේ භූමිකාව ඊට වඩා වෙනස්ය. ඔහුගේ සැබෑ ජීවිතයේදී ඔහු කෙසේ විය හැකිද?

 

 

සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කළ ”චායා” නාට්‍ය සිරස ඔස්සේ විකාශය වන මොහොතක, එහි නිලංග ලෙස රඟපාන සනත් සමග කෙරෙන මෙම පිළිසඳරේ දී ඔබට ඒ ගැන දැනගත හැකි වේවි.

 සනත් ඔබ වෘත්තියෙන් ගුරුවරයෙක්. තවමත් එහි නිරත වෙනවද?
ඔව් තවමත් ගුරු වෘත්තියේ යෙදෙනවා. ඒත් වසර එකොළහක් පමණ මා සේවය ලබා දුන්නේ කොළඹ ප‍්‍රධාන පෙළේ විදුහලකටයි. එයින් ඉල්ලා අස්වුණා.

 


 ඇයි ඉල්ලා අස්වුණේ?
පසුගිය වසර දෙකක පමණ කාලයේ සිට ගුරුවරයකු ලෙස මගේ සේවය ලබා ගත්තෙ නැති තරම්. ගුරුවරයකු සිටින්නෙ උගන්වන්නයි. මේ විදියට යම් යම් දේ සිදුවන අතරේ එතැනින් අස්වුනොත් හොඳයි කියලා හිතුවා. අඩුම තරමින් නාට්‍ය හා රංග කලාව සහ සෞන්දර්යය විෂයය උගන්වන ගුරුවරයකුට ” ඕළු නෙළාලා මාල ගොතාලා” කියන්නවත් අවස්ථාවක් තිබෙන්න එපායැ.

 


 එතකොට තවම උගන්වනවා කිව්වෙ?
මහරගම විද්‍යාකර බාලිකාවේ විදුහල්පතිනිය ප‍්‍රමුඛ ගුරු මණ්ඩලය නාට්‍ය හා රංග කලා අංශයෙන් මගෙන් උපරිම ප‍්‍රයෝජන ලබාගන්නවා. සරලවම කිව්වොත්, මගේ සේවයට ගරු කරනවා. මම සමාජයට යහපත මිස කාටවත් වැරදි කරලා නැහැ. මේ ලෝකයේ හැම දෙයක්ම සිද්ධ වෙන්නෙ විශ්ව ශක්තියට අනුවයි. මාත් මගේ උපරිම සේවය එම විදුහලට ලබාදෙනවා.

 


 රඟපෑම සහ ගුරු වෘත්තිය දෙකම කරන්නෙ කොහොමද?
කාලය බෙදා හදාගෙන හැකි විදියට කරනවා. ඒත් වෙලාවකට මට හිතෙන්නෙ ගුරු වෘත්තියෙ යෙදෙන කලාකරුවකුට ලැබෙන සහයෝගය අඩුයි. රාජ්‍ය සේවයේ නිරතව සිටින්නෙ ඉගෙන ගත්ත මිනිස්සු නම් ඔවුනට කලාව අකැපද කියන ප‍්‍රශ්නය මතු වෙනවා. ඔවුනට කලාවට ලබාදිය යුතු දායකත්වය ලබාදීමට ලැබෙන අවස්ථා අඩුයි. කලාකරුවා කියන්නෙ සමාජය යහපත කරා ගෙනයන කෙනෙක්. නමුත් වර්තමානයේ එය සියයට සීයක්ම වෙනවද දන්නෙ නැහැ. ඒත් මම හිතන්නෙ සමස්තයක් ලෙස කලාකරුවාගෙන් සමාජයට සිදුවන්නෙ ලොකු යහපතක්. 

 


 මනමේ, සිංහබාහු, රත්නාවලී වැනි මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය විෂය නිර්දේශවලට පවා ඇතුළත් නේද?
ඔව්, ශ්‍රී ලාංකීය සමාජයේ ආධ්‍යාත්මය බඳුවූ ඒ නාට්‍යවලට දායක වෙනවා. එවැනි නාට්‍යයකවත් අගය නොදැනෙනවා නම් එයින් අදහස් කරන්නෙ ළමයින්ට අවශ්‍ය දේ අහිමිකිරීමක් ලෙසයි. ඇත්තටම රාජ්‍ය සේවයේ නිරත කලාකරුවන් මුහුණ දෙන මේ ප‍්‍රශ්නය අතිගරු ජනපතිතුමාගේ අවධානයට යොමුවේ නම්, එය යහපතක්. අපි කලාවේ යහපතට මිස අයහපතට වැඩ කරලා නැහැ. තාන්න-මාන්න ඉල්ලලත් නැහැ.

 


 ගුරුවරයකු ලෙස ඔබ රඟපාන ටෙලිනාට්‍ය චරිත ගැන සෑහීමකට පත්වෙන්න පුළුවනිද?
බැහැ. මම සතුටින් කළ චරිත අතීතයේ දී වගේම වර්තමානයේදීත් තිබුණා. නමුත් සියල්ල හරි කියන තැන නැහැ.

 


ගුරුවරයකුට රඟපෑමේදී සීමාවක් තිබිය යුතුද?
ගුරුවරයකුට නොවෙයි,  ඕනෑම කලාකරුවකුට සීමා තිබිය යුතුයි. යම්කිසි පිටපතක් ඉල්ලා සිටින දේ චරිතයෙන් ලබාදිය යුතු නම් එතැනට ගුරුවරයාද ඇමැතිද කියන එක බලපාන්නෙ නැහැ. නළුවකු ලෙස රංගනයට අදාළ දේ කළ යුතුයි. ගුරුවරයා යනු සැබෑ ජීවිතයේ දී පරපුරකට අලූත් මාවතක් විවර කරදෙන චරිතයක්. ලෝකයට ඥාණයෙන් පිරි දරුවන් බිහි කරන කෙනෙක්. ඒ නිසා ගුරුවරයාට සාමාන්‍ය ජීවිතයේ දී පවා සීමා තිබිය යුතුයි. නමුත් චරිත රංගනය යනු වෙනස් අංශයක්.

 


 ළමයින් ගුරුවරයා රඟපාන චරිතය අනුකරණය කරනවා නම්?
මෙතෙක් රඟපෑ චරිත දෙස බලන්න. මම ඒ  ඕනෑම චරිතයකින් අවසානයේ ප‍්‍රකාශ කරලා තියෙන්නෙ සමාජයට යහපත් පණිවුඩයක්. චරිත තෝරා ගැනීමේ දී මම ඒ ගැන හිතනවා. දීර්ඝ නාට්‍යවලදී නම් එය තේරුම්ගන්න කොටස් ගණනාවක් යාවි. නමුත් නරක චරිතයකින් හෝ එහි යථාර්ථය සමාජයට පෙන්වාදිය හැකි නම් එය යහපතක්.

 


 මෑතකදී ඔබ තවත් විභාගයක් සමත් වුණා නේද?
පරිපාලන අංශයේ විභාගයට මුහුණ දුන්නා. ලංකාවෙන්ම 12 වැනියා ලෙස පාස් වුණා. හැබැයි ඉතිං මේ දක්වා සම්මුඛ පරීක්ෂණයකටවත් මට කැඳවීම් ලැබී

 

නැහැ.

 


 ඔබගෙ බිරිඳත් ගුරුවරියක් නේද?
ඔව්, ඇයත් ගුරුවරියක්.

 


 දු දරුවන්?
ලොකු දුව ලසේයා අනුලා බාලිකාවේ ඉගෙන ගන්නවා. දෙවැනි දුව නේලී ලීඞ්ස් පෙරපාසලට යනවා.

 


 සනත් ඔබ ගැන ඔබට හිතෙන්නෙ කොහොමද?
දෙමාපියන්ට, බිරිඳට, දරුවන්ට වගේම සමාජයට යහපත් චරිතයක් කියලා හිතෙනවා.