(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් පවත්වන ලද විශේෂ පරිගණක පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකරන ලද සිය දෙනෙකුට සහතිකපත් ප්‍රදානය කිරීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සාක්ෂරතාවය (IT Literacy) ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම පාඨමාලාව පැවැත්විණි.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කීවේ රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුගත වෙමින් සෞඛ්‍ය ක්ෂේත්‍රය ද  අදියරෙන් අදියර ඩිජිටල් පරිවර්තනය ලක් කිරීමට කටයුතු කරන බවයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයන් හට ඊට අදාළ පරිගණක සාක්ෂරතාවය ප්‍රගුණ කිරීම සදහා  දැනුම ලබා දීම ඉතාම කාලෝචිත ක්‍රියාවක් බවත්, එම පුහුණුව අත්‍යවශ්‍ය බව ඔහු කීය.

සෞඛ්‍ය වෘත්තිකයන් පරිගණක දැනුමින් සවිබල ගැන්වීමෙන් විධිමත්, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබා දීමට හැකියාව ලැබෙන බව අවධාරණය කළ විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා  සියලු සෞඛ්‍ය වෘත්තිකයන්ට තමන්ගේ වෘත්තියට අදාලව පරිගණක දැනුම ලබා දෙන බව සඳහන් කළේය.