
(රෝෂන් තුෂාර)
සිරිලිය ගිණුමේ මුදල් අවභාවිතා කර නොමැති බැවින් ,තමන් නොකළ වරදකට අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබාගත හැකි වන පරිදි ඕනෑම කොන්දේසියක් යටතේ පූර්ව ඇපයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්තී රාජපක්ෂ මහත්මිය ගොණු කළ පෙත්සමේ කරුණු තහවුරු කිරීම මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරිය හමුවේ අද (06) සිදුකිරීමට නියමිතය.
මෙම පෙර ඇප ඉල්ලීමේ පෙත්සමේ වගඋත්තරකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා නම් කර ඇත.
ශිරන්තී රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් නීතිඥ රංසි බාවා නීතීඥ සමාගම මෙම ඇප අයදුම අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර රාජපක්ෂ මහත්මිය රෝගී තත්ත්වයන් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට විදේශගත වී ඇති බව එම පෙත්සමේ සඳහන් කර ඇත.
ඇසක ඇති වූ සංකූලතාවයක් නිසා අක්ෂි ශල්‍යකර්මයක් සඳහා විදේශගත වූ පෙත්සම්කාරියට ඔක්කාරය, කලාන්තය ,හිස කරකැවීම හා හෘද රෝගී තත්ත්වයන් තිබෙන බවත්, අධික රුධිර පීඩනය, රුධිරයේ කොරෙස්ටරෝල් හා දියවැඩියා රෝගයෙන් පෙළෙන බැවින් විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු පෙත්සම්කාරිය එම ප්‍රතිකාර වලින් අනතුරුව ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කර ඇත. පෙත්සම්කාරියට සැප්තැම්බර් 24 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට 16 වෙනි දින විදේශගතවීමේදී නොතිසියක් ලද මුත්, පෙත්සම්කාරියගේ නීතිඥවරයා විසින් තවත් සති දෙකක කාලයක් ලබා දෙන ලෙසට පොලිසියෙන් ඉල්ලුම් කර ඇති බව සඳහන් කර ඇත.
සිරිලිය ගිණුමේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කරමින් අපරාධමය වරදක් සිදුකර ඇති ශිරන්තී රාජපක්ෂ මහත්මිය ඇප ලබාදිය නොහැකි වරදවල් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සූදානමක් ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා සලකා බැලීමෙන් පසුව මෙම ඇප අයදුම ඉදිරිපත් කරන බව පැමිණිල්ල මගින් කරුණු ඉදිරිපත් කර ඇත.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව කටයුතු කරමින් සිටියදී 2006 වසරේදී ආරම්භ කරන ලද සිරිලිය සවිය ගිණුමේ සියලූම ගිණුම් වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති එම පෙත්සමේ සඳහන් කර සිටිනුයේ රාජපක්ෂ මහත්මිය අපරාධමය වරදක් සිදුකර නොමැති බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd