(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට ඇමෙරිකාව ගරු කරන බවත් ඉරාන යුද නෞකා දෙකක් වන අයිරිස් ඩෙනා සහ අයිරිස් බුෂර් නෞකාවල නාවිකයන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් තිබෙන බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශිකා ටැමී බෲස් විදෙස් මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් ප්‍රකාශ කළාය.

නාවිකයන් සම්බන්ධව පමණක් නොව අයිරිස් බුෂර් නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන්ද අවසන් තීරණයක් ශ්‍රී ලංකාව ගැනීමට හැකි බව ඇය පෙන්වා දුන්නාය.

අයිරිස් ඩෙනා නෞකාව පසුගිය 4 වැනිදා ඇමෙරිකානු සබ්මැරීනයකින් එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් මුහුදුබත් විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව ඉරාන නාවිකයන් 32 ක් බේරාගෙන තිබූ අතර තවත් මළ සිරුරු 84ක් සොයාගෙන තිබිණි.

එසේම අයිරිස් බුෂර් නෞකාව එන්ජින් දෝෂයක් වාර්තා වීම හේතුවෙන් ත්‍රිකුණාමල වරායට රැගෙන යාමට කටයුතු කළ අතර එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ නාවිකයන් 219 ට ශ්‍රී ලංකාව රැකවරණය සැපයූවේය.

ඇමෙරිකානු සබ්මැරීනයෙන් මිසයිල ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් මුහුදුබත් වූ අයිරිස් ඩෙනා නෞකාව ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ නිරායුදව සිටි බවට ඉරානය සිදුකරන ප්‍රකාශය අසත්‍යයක් බවත් එම නෞකාවට ප්‍රහාර එල්ල කිරිමට නීත්‍යානුකූල අයිතියක් ඇමෙරිකාව තිබූ බවත් ඇමෙරිකානු හමුදාවේ ආසියා - ශාන්තිකර අණදෙන මූලස්ථානය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.