(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා වරාය අධිකාරියට භාණ්ඩ සැපයීමේ ටෙන්ඩරය පිරිනැමේදී මුලාකරමින් රුපියල් ලක්‍ෂ 32 කට අධික මුදලක් වංචා කළේ යැයි කියන සිද්ධියක් පිළිබඳව වරාය අධිකාරියේ ප්‍රධානියකුට සහ ඔහුගේ ලේකම්වරිය ඇතුළු වරාය අධිකාරියේ නිලධාරීන් පිළිබඳව විමර්ශනයක් කර සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා බොරලැස්ගමුවේ ව්‍යාපාරිකයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කර තිබේ.
කොළඹ ඩාර්ලි පාරේ පිහිටි වරාය අධිකාරියේ ප්‍රධානියගේ කාර්යාලයේ නිලධාරියකුගේ මැදිහත්වීමෙන් එම කාර්යාලය තුළදී මෙම ලක්‍ෂ 32 කට අධික මුදලේ වංචාව ක්‍රියාත්මක වූ බවත් මෙම සිද්ධිය පිළිබඳව පැමිණිළි කළ අවස්ථාවේදී වරාය ලොක්කා තමන් මුණගැසීම පවා ප්‍රතික්ෂේප කළ බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.
අධ්‍යක්‍ෂවරයාගේ කාර්යාලයේ චෝදනා එල්ල වන නිලධාරියා අවස්ථා තුනකදී ලක්‍ෂ 6 ක මුදලක් ලබාගත් බවත් ඔහු සම්බන්ධ කළ වරාය අධිකාරියේ යැයි කියන නිලධාරිනියකගේ පෞද්ගලික ගිණුමකට අවස්ථා හයකදී රුපියල් ලක්‍ෂ 16 කට අධික මුදලක් (රුපියල් 1,697,600) බැරකළ අතර තවත් රුපියල් 368,000 ක මුදලක් වරාය මුදල් කොට්ඨාසයට ගෙවූ බවත් පැමිණිල්ලේ සඳහන් වේ.
අදාල පැමිණිල්ලේ පිටපත් ජනාධිපතිවරයාට, වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා සහ වරාය අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පාර්ශව 7 කට ද යොමුකර තිබේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ ගණක හේමචන්ද්‍ර මහතාගෙන් මෙම චෝදනාව පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවයි.