(අංජුල මහික වීරරත්න)

දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා තරුණයින් රවටා මුදල් වංචාකළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.

මේ සම්බන්ධයෙන්  කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාට ලද තොරතුරක් අනුව කාර්යංශ විමර්ශන අංශය උපාය දූතයින් දෙදෙනකු මාර්ගයෙන්  කරුණු සොයා බලා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු උපාය දූතයන්ට පවසා ඇත්තේ මාතර, රාහුල හන්දිය, කියුරෝ උසස් අධ්‍යාපන ශාලාවේදී මේ පිළිබඳව හදුන්වාදීමේ වැඩසටහනේදී භාෂාව පුහුණු කිරීමෙන් පසු රජය මගින් ලබාදෙන දකුණු කොරියා රැකියා සඳහා තරුණයින් යොමුකරන බවයි.ඊට ලියාපදිංචිය සඳහා රුපියල් 20,000 ක මුදලක් අවශ්‍ය බවත් පවසා තිබේ. එදින ලියාපදිංචිය ලබාගන්නා අයට කොරියානු භාෂාව හැදෑරීම සඳහා  රුපියල් 35,000 ක වවුචර් පතක්ද ලබාදෙන බව පවසා ඇත.

මෙම තොරතුරු මත ක්‍රියාත්මක වූ කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් ගාල්ල,  මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේය.

වංචාවල පදිංචි 49 වියැති සැකකරු මාධ්‍යවේදියකු ලෙස පෙනී සිට ඇතැයි ද  ගාල්ල ප්‍රදේශයේ භාෂා පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින්  එහි භාෂා පුහුණුව සදහා පැමිණෙන පිරිසද මේ සඳහා යොමුකර ඇති බව වැඩිදුර  විමර්ශනවලදී අනාවරණය වී ඇත.

රාජ්‍යන් - රාජ්‍යන් අතර ක්‍රියාත්මක වන කොරියානු රැකියා වැඩසටහන, කාර්යාංශය වෙනත් කිසිඳු ආයතනයක් සමග එක්වී කටයුතු නොකරන බවද කාර්යාංශය අවධාරණය කරයි. එබැවින් දකුණු කොරියානු රැකියා ලබාගැනීම සඳහා කිසිදු බාහිර පාර්ශවයකට මුදල් හෝ පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය ඉල්ලා සිටියි.