(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඒකාබද්ධ ජාන සම්පත් හුවමාරුව සහ ඉහළ අස්වැන්නක් ලබා දෙන ලවණතාවට ඔරොත්තු දෙන වී ප්‍රභේද නිපදවීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වී වගාවේ ඵලදායීතාව වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින්, ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ වියට්නාම කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා වන අවබෝධතා ගිවිසුමකට 2025-05-05 දින එළඹ තිබේ. 

එම ගිවිසුම යටතේ ' ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඒකාබද්ධ ජාන සම්පත් හුව මාරුව සහ දෙමුහුන් කරණය තුළින් ඉහළ අස්වැන්නක් සහ ලවණතාවට ඔරොත්තු දෙන වී ප්‍රභේද නිපදවීම' යන නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය එකඟතාව පළ කරනු ලැබ ඇත. 

දෙරට අතර වී ප්‍රභේදවල ජාන ප්ලාස්ම ද්‍රව්‍ය හුවමාරු කිරීම, ඒකාබද්ධ අභිජනන සහ දෙමුහුන් කරණ වැඩසටහන් පැවැත්වීම, දේශීය තත්ත්වයන් යටතේ ඉදිරි අභිජනන පෙළපත් ඇගයීම සහ තෝරා ගැනීම, ක්ෂේත්‍ර අත්හදා බැලීම් ස්ථාපිත කිරීම, පර්යේෂණ නිලධාරින් පුහුණු කිරීම සහ දැනුම හුවමාරු කර ගැනීම යන ක්‍රියාකාරකර්ම එකී ව්‍යාපෘතිය යටතේ සිදු කිරීමට අපේක්ෂිතය. 

ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.